lakbima.lk

ලෙඩ ඇඳේ ඉන්න තාත්තගේ සින්දුවල අයිතිය ඉල්ලා සමහරු කරදර කරනවා

“තාත්තාගේ අසනීප තත්ත්වය නිසා අපි දැන් හුඟක් මානසිකව වැටිලයි ඉන්නේ. එහෙම තියෙද්දිත්, තාත්තාගේ ගීත ඉල්ලලා කරදර කරන අයත් ගොඩාක් ඉන්නවා. ඒ හැමෝගෙන්ම මම ඉල්ලා සිටින්නේ තාත්තාගේ ගීත ඉල්ලලා තවත් නම් මට කරදර කරන්න එපා කියලයි. මොකද තාත්තා ලෙඩ වුණා කියලා ඔහුගේ ගීත වෙන කාටවත් පවරාදීමේ කිසිම බලා‍පොරොත්තුවක් අපිට නැහැ”

“රිද්ම” හරහා මේ ඉල්ලීම කරන්න කියලා අපෙන් ඉල්ලා සිටියේ ප්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේගේ එකම දියණිය වන වයංගා සිතාරි මුතුනමගේයි. “මේ දෙව් මැදුරේ” “සමාව ඉල්ලා” “වාරු නැගෙන සිත” “අවන්හලක ඉපදී” සහ “මහ සයුරේ ගැඹුරු දියේ” වැනි ජනප්‍රිය ගීත රැසක් ගීත ලෝලීන් වෙත තිළිණ කළ ෂෙල්ටන් මුතුනමගේ වසරක පමණ කාලයක් තිස්සේ රෝගාතුරව ප්‍රතිකාර ලබමිනුයි සිටින්නේ. රෝගී තත්ත්වය නැවත වරක් උත්සන්න වීම හේතුවෙන් පසුගිය දිනවල යළිත් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ ඔහු දැන් නැවතත් තමන්ගේ නිවසට පැමිණ සිටිනවා. ෂෙල්ටන් මුතුනමගේ අද සිටින තත්ත්වය ගැන වගේම ඔහුගේ ගීත ගැනත් ඔහුගේ දියණියට “රිද්මට” කියන්න බොහෝ දෑ තිබුණා.

තාත්තා නැවත වරක් රෝහල් ගත කරන්න සිද්ධ වුණා නේද?

ඔව්. මේ වතාවේ තාත්තාගේ ‍ලේ වල සීනි මට්ටම වැඩි වෙලා රුධිර පීඩනය අඩු වුණා. ඒ නිසා අපි රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරලා ප්‍රතිකාර ලබා දුන්නා. සතියක් විතර නේවාසිකව ප්‍රතිකාර ලබලා මීට දින කිහිපයකට කලින් තමයි තාත්තා ගෙදර ආවේ.

තාත්තාගේ අසනීප තත්ත්වය ගැන වෛද්‍යවරු දැන් මොනවාද කියන්නෙ?

තාත්තාගේ ආහාර ගැනීම පාලනය කරන්න අවශ්‍ය උපදෙස් වෛද්‍යවරු අපට දුන්නා. ‍ලේවල සීනි මට්ටම පාලනය කරන්න අපහසුවීම තමයි මුල ඉඳන්ම තාත්තාට තිබුණු ලොකුම රෝගී තත්ත්වය. සීනි මට්ටම වැඩි වුණාම තාත්තාට කරකැවිල්ල, ඇඟට පණ නැති වීම වගේ අපහසුතා ඇතිවෙනවා. දැනටත් තාත්තාට තනියම ඇවිදින්න එහෙම අපි ඉඩ දෙන්නේ නැහැ. මොකද වෛද්‍යවරු කිව්වා බැරි වෙලාවත් තාත්තා වැටුණොත් තත්ත්වය  බරපතළ වෙන්න පුළුවන් කියලා.

ෂෙල්ටන් මුතුනමගේ කියන ප්‍රවීණ ගායන ශිල්පියාගේ ගීත රස විඳපු හැමෝගෙම මේ වෙලාවේ ප්‍රාර්ථනාව වන්නේ ඔහුට ඉක්මනින් සුවය ලැබේවා කියන එකයි. එහෙම නේද?

අනේ ඔව්. ළඟම යාළුවෝ, නෑදෑයෝ වගේම කලා සංගම්වලිනුත් පසුගිය කා‍ලේ තාත්තා ඉක්මනින් සනීප කර ගන්න හුඟක් උදවු උපකාර කළා. තාත්තාට ආදරය කරන රසික රසිකාවියනුත් ෆේස් බුක් හරහා මගෙන් විමසීම් කරලා තිබුණා. තාත්තාගේ සුව දුක් විමසන්න එන්න පුළුවන් කියලා ඒ හැමෝටම අපේ ගෙදර දොරටු විවෘතයි. ඒ විතරක් ‍නෙවෙයි- 0777379338 දුරකථන අංකයට කතා කරලා ඕනෑම කෙනෙකුට තාත්තාගේ දුක සැප විමසන්න පුළුවන්. මොකද තාත්තා අපට විතරක් ‍නෙවෙයි ඔහුගේ රසික රසිකාවියන්ටත් අයිතියි. හැබැයි මේ වෙලාවේ හැමෝගෙන්ම මට ඉල්ලීමක් කරන්න තියෙනවා. ඒ තමයි තාත්තාගේ ගීත ඉල්ලමින් නම් මේ වෙලාවේ මට කරදර කරන්න එපා කියන එක.

ඔබ ඔය කියන්නේ මේ වේලාවේ ඔහුගේ ගීතවලින් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන පිරිසකුත් ඉන්නවා කියන එකද?

ඇත්තෙන් ඔව්. මම තමයි අපේ පවු‍ලේ එකම දරුවා. තාත්තාගේ ගීතවල බාරකාරත්වය තාත්තා මට ලිඛිතවම බාරදීලයි තියෙන්නේ. තාත්තාගේ අසනීප තත්ත්වයත් එක්ක අපට දැන් මුදල් අතිනුත් අපහසුතා තියෙනවා තමයි. හැබැයි එහෙම කියලා මුදලටවත් තාත්තාගේ ගීත වෙනත් අයට පවරා දෙන්න මම සූදානම් නැහැ. මේක තාත්තා බොහොම අමාරුවෙන් ආපු ගමනක්. මේ ගීත ගයලා තමයි තාත්තා දුක් මහන්සියෙන් හම්බ කරලා අපව ජීවත් කළේ. ඒ ගීත අපි හැමෝටම හුඟක් වටිනවා. හැබැයි සමහරු තාත්තා ජීවතුන් අතර සිටියදීම දැන් තාත්තාගේ සින්දු කියන්න කෙනෙක් නැහැනේ. ඒ නිසා ඒවා අපට දෙන්න කියලා මට නිතරම කරදර කරනවා. දැන් මට තියෙන ලොකුම ඉලක්කය තමයි කොහොම හරි තාත්තාව සනීප කරගන්න. ඒ නිසා ඔවුන්ට පිළිතුරු දෙන්න තරම්වත් වෙලාවක් මට නැහැ.

කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.