lakbima.lk

ආසියානු පැරා ක්‍රීඩා උළෙල

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙ‍ලේදී ඊයේ ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් දිනා දීමට නිර්මල බුද්ධික සමත් විය.  පිරිමි මීටර් 200 ඉසව්වේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන් නිර්මල බුද්ධික ඉන්ද්‍රපාල ඊයේ (10දා) පැවැති පිරිමි දුර පැනීම ටී. 42/61/63 ඉසව්වේදී මීටර් 5.37ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගත්තේය.

එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාවට (මී. 5.05) හිමිවූ අතර, ලෝකඩ පදක්කම ඉන්දුනීසියාවට (මී. 4.89) හිමි විය. මේ අතර ඊයේ (10දා) උදෑසන පැවැති පිරිමි උස පැනීම ටී. 46/44 ඉසව්වේදී මීටර් 1.76ක දක්ෂතාවක් දක්වමින් ලාල් පුෂ්පකුමාර ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. එම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාව (මී. 1.95) දිනාගත් අතර, රිදී පදක්කම ජපානය (මී. 1.89) සතුවිය. ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දුන් අමිල ප්‍රසන්න පෙරේදා රාත්‍රියේ පැවැති පිරිමි මීටර් 100 ටී. 42/63 ඉසව්වේදී නව ආසියානු පැරා වාර්තාවක් සමගින් තවත් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

එම ඉසව්වේදී තත්පර 12.56ක දක්ෂතාවක් දක්වමින් අමිල රන් පදක්කම දිනා ගනිද්දී එම ඉසව්ව තත්පර 12.87කින් අවසන් කළ උපුල් ඉන්දික චූල දාස සිය දෙවැනි රිදී පදක්කම දිනා ගත් අතර, සුරංග කීර්ති බණ්ඩාර තත්. 12.92 කින් තරගය නිමා කරමින් ලෝකඩ පදක්කමද ශ්‍රී ලංකාවට දිනා දුන්නේය.

පිරිමි මීටර් 100 ටී. 45/46/47 අවසන් තරගයට සහභාගි වූ ප්‍රදීප් සෝමසිරි (තත්. 11.58) 8 වැනි ස්ථානයට පත්වූ අතර, පිරිමි මීටර් 100 ටී. 44/62/64 ඉසව්වට සහභාගි වූ නුවන් ඉන්දික සිව්වැනි ස්ථානයටත් (තත්. 11.98), දුමීර මධුරංග අල්විස් 5 වැනි ස්ථානයටත් (තත්. 12.04) පත් වූහ. අජිත් ප්‍රසන්න කුමාර ඊයේ පිරිමි මීටර් 100 ටී. 44/62/64 ඉසව්වේ මූලික වටයේදී 6 වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් අවසන් තරගය ගිලිහී ගියේය.

කාන්තා මීටර් 100 ටී.45/46/47 ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ කුමුදු ප්‍රියන්කා දිසානායක හත්වැනි ස්ථානයට (තත්. 14.58) පත් වූ අතර, කාන්තා හෙල්ල විසිකිරීම එෆ්. 57 ඉසව්වේදී තිසාරා ජයසිංහ 9 වැනි ස්ථානයට (මීටර් 13.13) පත් වූවාය. මේ අනුව ඊයේ පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විට ශ්‍රී ලංකාව රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනාගෙන සිටියේය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.