lakbima.lk

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දින 5ක් මුළුල්‍ලේ පැවැති සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියෙහි සමස්ත ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත (ලකුණු 1440) සමත් විය. එහි දෙවැනි ස්ථානය මධ්‍යම පළාතට (ලකුණු 505) හිමි වූ අතර, තෙවැනි ස්ථානය වයඹ පළාතට (ලකුණු 376)හිමිවිය.

මෙම තරගාවලියේ ‍‍‍ජ්‍යෙෂ්ඨ බාලක සමස්ත ශූරතාව බම්බලපිටිය ශා. පීතර විදුහල (ලකුණු 165) දිනාගත් අතර, ලකුණු 187ක් හිමිකරගත් වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල

‍‍‍ජ්‍යෙෂ්ඨ බාලිකා සමස්ත ශූරතාව දිනා ගත්තේය. වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල ‍‍‍ජ්‍යෙෂ්ඨ බාලිකා ශූරතාව දිනාගත් 12 වැනි අවස්ථාව මෙය වන අතර, ශා. පීතර විදුහල 1994 වසරෙන් පසු දෙවැනි වරට ‍‍‍ජ්‍යෙෂ්ඨ බාලක ශූරතාව දිනා ගැනීම කැපී පෙනෙයි.

බාලක අනුශූරතාව පසුගිය වසරේ ශූරයන් වූ මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 88)ටද, තෙවැනි ස්ථානය වලල ඒ. රත්නායක (ලකුණු 76) විදුහලටද හිමිවිය. රත්නපුර සුමන බාලිකා විදුහල (ලකුණු 80) බාලිකා අනුශූරතාව දිනාගත් අතර, රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලට (ලකුණු 53) බාලිකා තෙවැනි ස්ථානය හිමි විය.

මෙවර කනිෂ්ඨ අංශයේ බාලක ශූරතාව කොළඹ රාජකීය විදුහල (ලකුණු 37) දිනාගත් අතර, අම්බලන්තොට හෙන්නාතොට විද්‍යාවර්ධන විදුහලට (ලකුණු 20) අනුශූරතාව හිමි විය.

ලකුණු 26ක් හිමිකරගත් කොළඹ මියුසියස් විදුහල කනිෂ්ඨ බාලිකා ශූරතාව දිනාගත් අතර, අනුශූරතාව නුග්ගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 20) සතු විය. මෙවර මිශ්‍ර පාසල් ශූරතා කුසලානද වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල (ලකුණු 263) දිනාගත් අතර, නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 71) අනුශූරතාවද, රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල (ලකුණු 58) තෙවැනි ස්ථානයද දිනා ගත්තේය.

සහාය දිවීමේ බාලක ශූරතාව ශා. පීතර විදුහල (ලකුණු 44) දිනාගත් අතර, ලකුණු 47ක් ලබාගත් වලල ඒ. රත්නායක මැදි විදුහලට බාලිකා ශූරතාව හිමිවිය. මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක සම්මානය කුරුණෑගල මලියදේව විදුහ‍ලේ පී.එම්. පසිඳු කොඩිකාර (අවු. 20න් පහළ මීටර් 400 - තත්. 47.54) දිනාගත් අතර, දක්ෂතම ක්‍රීඩිකා සම්මානය රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාස‍ලේ ආර්. රන්දි කුරේ (අවු. 20න් පහළ තුන් පිම්ම - මීටර් 12.74) දිනාගනු ලැබුවාය.

මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල යටතේ පැවැති මලල ක්‍රීඩා, කණ්ඩායම් ක්‍රීඩා සහ බර පන්ති ක්‍රීඩා ආශ්‍රිතව වසරේ අති විශිෂ්ට පාසල ලෙස කොළඹ විශාඛා විදුහල (ලකුණු 145) කුසලාන දිනාගත් අතර, ලකුණු 140ක් ලබාගත් කොළඹ රාජකීය විදුහලට එහි අනුශූරතාවද, ලකුණු 75ක් ලබාගත් කොළඹ ආනන්ද විදුහලට තෙවැනි ස්ථානයද හිමිවිය.

මෙවර ක්‍රීඩා උළෙ‍ලේදී නව තරග වාර්තා 46ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙනෙයි. ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා තිළිණ ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

සපුමල් වීදියබණ්ඩාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.