lakbima.lk

වසර 9කට පසු ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව දිනයි

සිංගප්පූරුවේ පැවැති 11 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී සිංගප්පූරුව ලකුණු 69-50කින් පරාජය කරමින් 5 වැනි වරටත් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

2009 වසරේදී ආසියානු ශූරියන් වූ ශ්‍රී ලංකාව යළි වසර 9කට පසු ආසියානු ශූරතාව දිනා ගැනීමට සමත් විය.

2009 වසරේදීද ශ්‍රී ලංකාව සිංගප්පූරුව පරාජය කරමින් ආසියානු ශූරතාව දිනාගත් අතර, ඉන් පසු පැවැති තරගාවලි තුනේදී අවසන් තරගවලදී දෙවරක්ම ශ්‍රී ලංකාව සිංගප්පූරුව හමුවේ පරාජය ලැබූ අතර, පසුගිය වසරේදී මලයාසියාව හමුවේ පරාජය ලැබිය.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව මීට පෙර අවස්ථා 6කදීම ආසියානු ශූරතා අවසන් සටනේදී මුණ ගැසී ඇති අතර, ඉන් සිව් වරක්ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ලබන වසරේදී එංගලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට ආසියාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තේය.

ඊයේ (9දා) පැවැති අවසන් තරගයේදී පළමු කාර්තුව ලකුණු 16-16ක් ලෙස දෙපිලම සම ලකුණු ලබා අවසන් විය.

එම පළමු කාර්තුවේදී තර්ජනී සිවලිංගම් (ට්ඉ), හසිතා මෙන්ඩිස් (ට්ඒ), දුලංගි වන්නිතිලක (එඒ) ගයංජලී අමරවංශ (ඛි) නෞජලී රාජපක්ෂ (එච්), ගයනි දිසානායක (ට්ච්), චතුරංගි ජයසූරිය (ට්ම්) තරග වැදුණි.

නමුත් දෙවැනි කාර්තුවේදී විදින්නිය ලෙස ක්‍රීඩා කළ හසිතා මෙන්ඩිස් වෙනුවට අංශ ආක්‍රමණ කරන්නිය ලෙස ක්‍රීඩා කළ දුලංගි වන්නිතිලක ආදේශනය කරන ලදී. දුලංගි ක්‍රීඩා කළ ස්ථානයට (එඒ) තිළිණි වත්තේගෙදර යෙදවූ අතර, එකී මාරු කිරීම් සාර්ථක කරමින් දෙවැනි කාර්තුව (16-10)නිම වන විට ලකුණු 32-26ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවිය.

එම වාසිය තවදුරටත් වර්ධනය කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි කාර්තුව ලකුණු 18-12ක්ද ලෙසද, සිව්වැනි කාර්තුව ලකුණු 19-12ක් ලෙසද ජය ගත්තේය.

මේ අනුව ශ්‍රී ලංකාව 5 වැනි වරටත් ආසියානු ශූරතාව දිනාගත් අතර, මෙවන් දස්කමක් කර ඇති ආසියාවේ එකම රටද වෙයි.

ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු ශූරතාව දිනාගත්  2009 වසරේ පුහුණුකාරිනිය වූ තිලකා ජිනදාස මෙනවිය මෙවර කණ්ඩායමේද පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ අතර, ජයග්‍රහණයෙන් අනතුරුව ඇය “ලක්බිම” හමුවේ මෙසේ අදහස් දැක්වූවාය.

“මාව විශ්වාස කරපු සහ අවිශ්වාස කරපු හැමෝටම මම දෙන පිළිතුර තමයි මෙම ජයග්‍රහණය. අපි කණ්ඩායමක් හැටියට එකට කැපවුණා. සැලසුමකට වැඩ කළා. ශූරතාව හැර වෙන විකල්පයක් නැහැ යන හැඟීමෙන් තමයි අපි වැඩ කළේය. මගේ හිත හැම වෙලාවේම කිව්වේ මට ඒක කරන්න පුළුවන් කියලා. ජයග්‍රහණයේ රහස එයයි.” යැයි ඇය පැවසුවාය.

ජයග්‍රහණයෙන් පසු කණ්ඩායමේ නායිකාව වන චතුරංගි ජයසූරිය ‘ලක්බිමට’ හමුවේ මෙසේ පැවැසුවාය.

“අපි ලැබූ පුහුණුව ක්‍රමානුකූලයි. එක් සැලසුමකට අනුව වැඩ කළා. අපි හැම වෙලාවෙම හිතුවේ අපිට කරන්න තියෙන එකම දේ ශූරතාව ගේන එක විතරයි කියලා. මුළු කණ්ඩායමම ඒ වෙනුවෙන් කැප වුණා.” යැයි පැවැසුවාය.

මතෛක් පැවැති ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලින්හිදී යසා රාමචන්ද්‍ර මහත්මියගේ පුහුණුකාරිත්වය යටතේ දෙවරක්ද (1989, 1997), තිලකා ජිනදාස මහත්මිය යටතේ (2009, 2018) දෙවරක්ද, හයසින්ත් විජේසිංහ මහත්මිය යටතේ එක් වරක්ද (2001) ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.

(ශිරන්ති)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.