lakbima.lk

මළගෙදරක නිදිවරමින් දුක බෙදාගන්නට එන හිතමිතුරන්ගේ පාළුව කාන්සිය මකන්නේ කැරම් බෝඩ් එක සහ කඩදාසි කුට්ටමය. මළගෙදරක මතු නොව රාත්‍රිය නිදිවරමින් පිරිසක් එක්ව සිටින තැනක කැරම් පෙත වරදින්නේ නැත. කැරම් අපිට මතක තිබෙන්නේ මළගෙවල්වල පාළු මකන ක්‍රීඩාවක් ලෙස මිස ජාත්‍යන්තර ක්‍රීඩාවක් ලෙස නොවේ. කැරම් අතක් අවසානයේ හිමිවන තෑග්ගක්ද නැත. දිනුවා හෝ පැරදුණා කියා ගහමරාගන්නේද නැත. කැරම් ඉතා අහිංසක ක්‍රීඩාවක් ලෙස සෑහෙන කලක පටන් අප සමාජයේ ප්‍රචලිතව තිබෙයි.

එහෙත්, කැරම් යනු එතරම් සරල ක්‍රීඩාවක් නොවන බව ලෝකයටම ඔප්පු කර පෙන්වන්නට ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම පසුගිය සතියේ සමත් විය. ඒ පසුගිය අගෝස්තු 24 දා කොරියාවේ චුන්චොන්හිදී පැවැති ලෝක කුසලාන කැරම් ශූරතාවලියේ ශූරයන් වෙමිනි. අවසන් තරග වටයේදී 2-1ක් ලෙසින් වූ තියුණු තරගයකින් දිනා ශ්‍රී ලංකාවේ නම තවත් ලෝක කුසලානයක් ඉදිරියේ ලියන්නට අපේ සිංහ කොල්ලන් සමත් විය. එපමණක් නොව අවසන්  තරගයේදී තරග වට 3-0ක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්වූයේ සමස්ත තරගාවලියේ අනුශූරතාව දිනාගනිමිනි.

ලෝක කුසලානය ලක්මවට හිමිකර දෙන්නට ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට නායකත්වය දුන්නේ සෙලාන් බැංකුව නියෝජනය කළ චමිල් දර්ශන කුරේය. ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ නිශාන්ත ප්‍රනාන්දු, කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කළ මොහොමඩ් ෂහීඩ් හිල්මි හා ශ්‍රී ලංකා ගුවන් හමුදවේ උදේෂ් චන්දිම පෙරේරා කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වූහ.

අනුශූරතාව හිමිකරගත් කාන්තා කණ්ඩායමට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ යෂිකා රාහුබද්ධය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජෝශප් රොෂීටා,  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චලනි ලක්මාලි ලියනගේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ මධුකා දිල්ශානි රණවීර කණ්ඩායම නියෝජනය කළ සෙසු ක්‍රීඩිකාවෝ වූහ.

මේ වසර කැරම් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට වාසිදායී වසරක් විය. ලෝක කැරම් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිව තිබුණි. 2002 සිට මේ දක්වා පැවැති ලෝක කුසලාන තරග හතරෙහිම ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම පරාජය කර මෙවර ශූරයන් වීමට හැකි වීමද ශ්‍රී ලංකා කණ්ඩායම ලද මහඟු ජයකි. එසේම ශ්‍රී ලංකාව මතෛක් ජාත්‍යන්තර කැරම් ශූරතා පහක් හිමිකරගෙන තිබුණද ලෝක කුසලාන කැරම් ශූරතාවක් හිමිකරගත් ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

2008 වසරේ ප්‍රංශයේ පැවැති පස්වන ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව, 2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවැති හයවන ලෝක කැරම් ශූරතාවලියේදී නිශාන්ත ප්‍රනාන්දු දිනාගත් පිරිමි කේවල ශූරතාව, 2014 වසරේදී මාලදිවයිනේ පැවැති හතරවන ලෝක කුසලාන කැරම් ශූරතාවලියට සමගාමීව පවත්වන ලද ස්විස් ලීග් ලෝක කැරම් ශූරතාවලියේදී චමිල් කුරේ විසින් දිනාගන්නා ලද ශූරතාව, 2016 වසරේ එංගලන්තයේ පැවැති හත්වන ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව හා එම ශූරතාවට සමගාමීව පවත්වන ලද ස්විස් ලීග් ලෝක කැරම් ශූරතාවලියේදී චමිල් කුරේ විසින් දිනාගන්නා ලද ශූරතාව ශ්‍රී ලංකාව ලබාගත් ජාත්‍යන්තර කැරම් ජයග්‍රහණ අතර වෙයි.

ජාත්‍යන්තර කැරම් සම්මේලනය මගින් සංවිධානය කළ පස්වැනි ලෝක කුසලාන කැරම් ශූරතාවලියේ මෙවර සත්කාරකත්වය දැරුවේ කොරියානු කැරම් සම්මේලනයයි. ලෝක කුසලාන කැරම් ශූරතාවලිය පැවැත්වෙන්නේ වසර 4කට වරකි. ශ්‍රී ලංකා කැරම් සම්මේලනය හා ජාතික කැරම් තේරීම් කමිටුව එක්ව ශ්‍රී ලංකාවේ කැරම් ශ්‍රේණිගත කිරීම්වල සිටින දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු මෙම තරගාවලියට ඉදිරිපත් කර තිබේ. මේ සංචාරයට ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති පරාක්‍රම බස්නායක, කළමනාකරු ලෙස උප සභාපති බ්‍රින්ඩ්ලි වික්‍රමසිංහ සහ ප්‍රධාන විනිසුරු ලෙස තරග ‍ලේකම් අමිතා වික්‍රමසිංහද සහභාගි විය.

රටවල් 22 ක් නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සමග තරග වැද ශූරයන් සහ අනුශූරයන් ලෙස ලෝක ඉතිහාසයේ ලංකා නාමය ලියන්නට සමත් වූ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා බලධාරීන්ගේ නිසි අවධානයක් හිමිව තිබූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. මීට පෙරද ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් හිමිකරගත් කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව පෙනේ. කැරම් ක්‍රීඩාව උදෙසා ජාතික වශයෙන් ස්ථිර ගොඩනැගිල්ලක් හෝ නොමැති තැනකට පත්ව තිබිමද මහත් කනගාටුවට කරුණකි. පදක්කම් දිනාගත නොහැකි ක්‍රීඩා ඉසව් වෙනුවෙන් කෝටි ගණනින් මුදල් නාස්ති කරන පසුබිමක දිගින් දිගටම රටට කීර්තියක් ගෙන එමින් ලෝක කුසලානයද හිමිකර දුන් කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අවශ්‍ය සත්කාරකත්වය වහා හිමි විය යුතු බව අවධාරණය කළ යුතුය.

මිහිරාන් කරුණාරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.