lakbima.lk

ඉන්දුනීසියාවේ ජකාර්තාහි පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ ශ්‍රී ලංකාවේ පදක්කම් බලා‍පොරොත්තු සුන්කර දමමින් ඉඳුනිල් හේරත්, ගයන්තිකා අබේරත්න සහ රුමේෂිකා රත්නායක පරාජයට පත්වූහ.

 ඉඳුනිල් හේරත් පිරිමි මීටර් 800 අවසන් තරගයේදී මි. 1.51.36 කාලයක් වාර්තා කරමින් 8 වැනි ස්ථානයට පත්වූ අතර, ගයන්තිකා අබේරත්න කාන්තා මීටර් 800 අවසන් තරගයේදී මි. 2.05.50ක කාලයක් වාර්තා කරමින් 6 වැනි ස්ථානයට පත් වූවාය.

ඉඳුනිල් පිරිමි මී. 800 මූලික වටයේදී මිනිත්තු 1.47.54ක කාලයක් සටහන් කර ගනිමින් ක්‍රීඩකයන් 27 දෙනකු අතරින් තෙවැන්නා ලෙස හොඳම කාලය වාර්තා කර ගනිමින් අවසන් සටනට සුදුසුකම් ලබා ගත්තේය.

ගයන්තිකා අබේරත්න කාන්තා මීටර් 800 මූලික වටයේ තරගයේදී මිනිත්තු 2.06.31ක කාලයක් වාර්තා කර ගනිමින් ක්‍රීඩිකාවන් 20 දෙනකු අතරින් 6 වැනියට හොඳම කාලය වාර්තා කර ගනිමින් අවසන් සටනට පිවිසුණි.

මේ අතර ඊයේ කාන්තා මීටර් 200 පළමු අවසන් පූර්ව තරගයට සහභාගි වූ රුමේෂිකා රත්නායක (තත්පර 24.05) 6 වැන්නා ලෙස තරගය නිමා කිරීම හේතුවෙන් අවසන් සටනට පිවිසීමේ අවස්ථාව ගිලිහී ගියේය.

ක්‍රීඩිකාවන් 16ක් සහභාගි වූ අවසන් පූර්ව වටයේදී රුමේෂිකාට හිමිවූයේ 10 වැනි ස්ථානයයි.

ඇය මීටර් 200 මූලික වටයේ සිව්වැනි තරගයේදී තත්පර 23.79ක කාලයක් සමගින් තෙවැන්නා ලෙස තරගය නිමා කරමින් අවසන් පූර්ව වටයට පිවිසුණි.

මීටර් 3000 බාධක මතින් දිවීමේ (කාන්තා) අවසන් තරගයට සහභාගි වූ නිලානි රත්නායක මිනිත්තු 9.54.65 කාලයක් වාර්තා කරමින් 6 වැනි ස්ථානයට පත්වූවාය.

මෙම ඉසව්වේ රන් පදක්කම බහරේනයේ වින්ෆේ‍රඩ් දිනාගත් අතර, රිදී පදක්කම අසල්වාසී ඉන්දියාවේ සුධා සිංටද, ලෝකඩ පදක්කම වියට්නාමයේ ත්‍රි ඔවාන්ටද හිමි විය.

කිලෝ ග්‍රෑම් 50 බර පන්තියේ කරාතේ 16 වටයේ කාන්තා තරගයට සහභාගි වූ දිනූෂා කුමාරි 8-0කින් ඉන්දුනීසියානු ක්‍රීඩිකාව හමුවේ පරාජය ලබූ අතර, පිරිමි කිලෝ ග්‍රෑම් 84 බර පන්තියේ 16 වටයට සහභාගි වූ කවිඳු ජයකොඩි 2-0කින් චීන ක්‍රීඩකයා හමුවේ පරාජයට පත්විය.

පිරිමි කිලෝ ග්‍රෑම් 60 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව තරගවලට සහභාගි වූ ප්‍රසන්න සඳරුවන් මලයාසියානු ක්‍රීඩකයා හමුවේ 3-1කින්ද, අකිහිරෝ ලොකුකළුගේ කසකස්ථාන ක්‍රීඩකයා හමුවේ 10-0කින්ද පරාජය ලැබිය.

පෙර අර්ධ අවසන් පූර්ව තරගවලදී ප්‍රසන්න සඳරුවන් 4-2කින් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයා පරාජය කරමින්ද, අකිහිරෝ ලොකුකළුගේ 6-2කින් ජපාන ක්‍රීඩකයා පරාජය කමින්ද අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුණි.

මූලික වටයේ සහභාගි වූ තරග 4න් දෙකක් ජය ගනිමින් දෙකක් පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා පිරිමි හොකී පිල මූලික වටයේ අවසන් තරගයේදී ලෝක ශූර ඉන්දියාව හමුවේ ගෝල 20-0ක පරාජයක් ලැබිය.

රිද්මයානුකූල ජිම්නාස්ටික් අවසන් තරගයට සුදුසුකම් ලැබිමේ වටයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ඇනා මේරි ලකුණු 35.6ක් හිමිකර ගනිමින් 24 වැනි ස්ථානයට පත්වූවාය.

ශ්‍රී ලංකාවේ පදක්කම් බලා‍පොරොත්තුවක් වන පිරිමි මීටර් 4*400 තරගය අද පැවැත්වේ. මෙම තරගයට අරුණ දර්ශන, අජිත් ප්‍රේමකුමාර, පසිඳු කොඩිකාර සහ කාලිංග කුමාරගේ සහභාගි වෙති.

ආසියානු ක්‍රීඩා උළෙ‍ලේදී සිය අධිපත්‍යය පතුරවමින් පෙරමුණ ගෙන සිටින චීනය ඊයේ පත්‍රය මුද්‍රණයට යන විට රන් පදක්කම් 96ක් රිදී 64ක් සහ ලෝකඩ 45ක් දිනාගෙන සිටි අතර, දෙවැනි ස්ථානයේ පසුවන ජපානය රන් 43ක්, රිදී 38ක් සහ ලෝකඩ 60ක් දිනාගෙන සිටියේය.

රන් පදක්කම් 32ක්, රිදී 38ක් සහ ලෝකඩ 45ක් දිනාගෙන සිටින දකුණු කොරියාව තවදුරටත් තෙවැනි ස්ථානය ආරක්ෂා කරගෙන සිටින අතර, සත්කාරක ඉන්දුනීසියාව රන් 24ක්, රිදී 19ක් සහ ලෝකඩ 29ක් සමගින් සිව්වැනි ස්ථානයේ පසුවෙයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.