lakbima.lk

ගයන්තිකා තරග වදින මී. 800 අවසන් තරගය අද

ඉන්දුනීසියාවේ ජකාර්තාහි පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ කාන්තා මීටර් 800 අවසන් තරගය සඳහා ගයන්තිකා අබේරත්න අද (28දා) තරග බිමට පිවිසෙයි.
ගයන්තිකා අබේරත්න කාන්තා මීටර් 800 තෙවැනි මූලික වටයේ තරගයේදී මිනිත්තු 2.06.31ක කාලයක් වාර්තා කළරමින් තෙවැනි ස්ථානය දිනා ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තාය.
මෙම ඉසව්වේම පළමු මූලික වටයේ තරගයට  සහභාගි වූ නිමාලි ලියනාරච්චි මිනිත්තු 2.06.74ක කාලයක් වාර්තා කරමින් සිව්වැනි ස්ථානය දිනා ගත්තද එය අවසන් සටනට පිවිසීමට ප්‍රමාණවත් නොවීය.
ශ්‍රී ලංකාවේ තවත් පදක්කම් බලා‍පොරොත්තුවක් වූ බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු (කිලෝ ග්‍රෑම් 51 බර පන්තිය) ජපාන ක්‍රීඩිකාව හමුවේ තරග වට 4-1ක පරාජයක් ලැබුවාය.
ඉඳුනිල් හේරත් සහභාගි වන පිරිමි මීටර් 800 මූලික වටයේ තරගය සහ නිලානි රත්නායක සහභාගි වන කාන්තා මීටර් 3000 බාධක මතින් දිවීමේ අවසන් තරගය ඊයේ පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විටත් ආරම්භ වී නොතිබුණි.
මෙවර 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස චීනයේ එස්.යූ. බින්ග්ටියන් (තත්. 9.92) ද, වේගවත්ම ක්‍රීඩිකාව ලෙස බහරේන් රාජ්‍යයෙ ඊ. ඔඩිඔන්ග් ද (තත්. 11.30) තිළිණ ලැබූහ.
පිරිමි මී. 100 දෙවැනි ස්ථානය කටාර් රාජ්‍යයටද, තෙවැනි ස්ථානය ජපානයටද හිමිවූ අතර, කාන්තා දෙවැනි ස්ථානය ඉන්දියාවටද, තෙවැනි ස්ථානය චීනයටද හිමි විය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ රුමේෂිකා රත්නායක අද කාන්තා මීටර් 200 තරගයට සහභාගි වන අතර, එම ඉසව්වේ අවසන් පූර්ව තරගද අද පැවැත්වේ.
ක්‍රීඩා උළෙ‍ලේ 9 වැනි දිනය වූ ඊයේ (27දා) පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විටත් චීනය රන් පදක්කම් 80ක් දිනා ගනිමින් සිය ආධිපත්‍ය රැකගෙන සිටියේය.
චීනය කිසිවකුටත් ළඟා විය නොහැකි පරතරයක් රඳවා ගනිමින් ආරම්භයේ සිට මේ දක්වා පළමු තැන හිමිකරගෙන සිටින අතර, ඔවුන් රිදී පදක්කම් 60ක් සහ ලෝකඩ පදක්කම් 40ක්ද දිනාගෙන සිටියි.
ජපානය රන් පදක්කම් 42ක්, රිදී පදක්කම් 34ක් සහ ලෝකඩ පදක්කම් 54ක් සමගින් දෙවැනි ස්ථානයේ පසුවන අතර, දකුණු කොරියාව (රන් 28, රිදී 32, ලෝකඩ 40) තෙවැනි ස්ථානයේ පසුවෙයි.
සත්කාරක ඉන්දුනීසියාව රන් පදක්කම් 20ක්, රිදී 4ක් සහ ලෝකඩ 26ක් සමගින් සිව්වැනි ස්ථානයේ පසුවෙයි.
පදක්කම් සටහනේ ඉදිරියෙන්ම පසුවන දකුණු ආසියානු රට ලෙස ශ්‍රී ලංකාවේ ආසල්වාසී ඉන්දියාව රන් පදක්කම් 7ක්, රිදී 10ක් සහ ලෝකඩ 20ක් සමගින් 9 වැනි ස්ථානයේ පසුවන අතර, පාකිස්තානය ලෝකඩ පදක්කම් 2ක් දිනාගෙන සිටියි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.