lakbima.lk

18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල පසුගියදා (18දා) ඉන්දුනීසියාවේ ජකාර්තාහි පලම්බන්ග් නගරයේ පිහිටි ග්ලෝරා බන්ග් කාමෝ ක්‍රීඩාංගණයේදී උත්සවශ්‍රීයෙන් ආරම්භ විය.  මෙවර ක්‍රීඩා උළෙලට රටවල් 45ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්  12,000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.  ක්‍රීඩා 45ක් වෙනුවෙන් තරග ඉසව් 465කට ක්‍රීඩාක ක්‍රීඩිකාවෝ තරග වදින අතර, ශ්‍රී ලංකාව ක්‍රීඩා 30ක් වෙනුවෙන් තරග බිමට පිවිසී සිටියි.

නැටුම් ගැයුම් සහ මල්වෙඩි සංදර්ශනවලින් සමන්විත වූ සමාරම්භක උළෙ‍ලේදී ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ යතුරු පැදියකින්  ප්‍රේක්ෂකයන්ට ආචාර කරමින් ප්‍රධාන වේදිකාවට පැමිණීම සුවිශේෂී සිදුවීමක් විය. පසුගිය කාල සීමාව තුළ එරට පැවැති ත්‍රස්ත තර්ජන හේතුවෙන් ක්‍රීඩා උළෙල දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ පැවැත්වේ. ක්‍රීඩා උළෙ‍ලේ සමාරම්භක දිනයේදී තරග ඉසව් නොපැවැත්වුණු අතර, ඊයේ (19දා) සිට තරග ඉසව් පැවැත්වුණි.

මේ අනුව ඊයේ පැවැති ටෙනිස් 64 දෙනාගේ වටයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ තිවංක ශ්‍යාමල් දිසානායක සහ අනීකා සෙනෙවිරත්න 32 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්හ. පිරිමි කේවල ඉසව්වේදී තිවංක දිසානායක තරග වට 2-0කින් මාලදිවයින ක්‍රීඩකයා පරාජයට පත් කළ අතර, කාන්තා කේවල ඉසව්වේදී අනිකා සෙනෙවිරත්න තරග වට 2-0කින් මොංගෝලියානු ක්‍රීඩිකාව පරාජය පත් කිරීමට සමත් වූවාය.

මේ අනුව තිවංක දිසානායක ජපාන ක්‍රීඩකයා සමගද, අනිකා සෙනෙවිරත්න චීන ක්‍රීඩිකාව සමගද අද (20දා) තරග බිමට පිවිසෙති. ඊයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුම කේවල සහ කණ්ඩායම් තරග ඉසව් සඳහා සහභාගි වුවද දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට අ‍පොහොසත් විය. ටෙනිස් මිශ්‍ර යුගළ මූලික වටයේදී තිවංක දිසානායක සහ මේරියන් කුරේරා උස්බෙකිස්තානය හමුවේ වට 2-0කින්ද, යසිත රංගන ද සිල්වා සහ අනිකා සෙනෙවිරත්න ඕමානය හමුවේ වට 2-0කින්ද පරාජය ලැබිය.

යසිත රංගන ද සිල්වා පිරිමි ටෙනිස් මූලික වටයේදී ලෙබනන් ක්‍රීඩකයා හමුවේ තරග වට 2-0ක පරාජයක් ලැබිය. කාන්තා කබඩි කණ්ඩායම් තරග ඉසව්වේදී ශ්‍රී ලංකාව තායිලන්තය හමුවේ ලකුණු 41-15කින් පරාජය ලැබූ අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති පිරිමි කණ්ඩායම් තරග ඉසව්ව ඊයේ පත්‍රය මුද්‍රණයට යන විටත් ආරම්භ වී නොතිබුණි.

පිරිමි වෙරළ වොලිබෝල් ඉසව්වේදී ශ්‍රී ලංකාවේ අසංක ප්‍රදීප් සහ මලින්ත යාපා කසකස්තානය හමුවේ තරග වට 2-0ක පරාජයක් ලැබිම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්ව යාමට සිදුවිය. මැතිව් අබේසිංහ පිරිමි මීටර් 200 නිදහස් ආර පිහිනුම් ඉසව්වේදී ඔහු විසින්ම පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් වුවද තරගාවලියෙන් ඉදිරියට යාමට නොහැකි විය.

මැතිව් අබේසිංහ මී. 200 නිදහස් ආර තෙවැනි මූලික වටයේදී මිනිත්තු 1.50.97ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් 6 වැනි ස්ථානයට පත්විය. මේ අනුව මීට වසර දෙකකට පෙර ඔහු විසින්ම පිහිටුවා තිබූ (මිනිත්තු 1.52.14) වාර්තාව බිඳ වැටුණි. මෙම තරග ඉසව්වේම දෙවැනි මූලික වටයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ආර්.සී. නුගවෙල මිනිත්තු 1.56.01ක කාලයක් සටහන් කරමින් පළමු ස්ථානය දිනා ගත්තද තරගයට සහභාගි වූ ක්‍රීඩකයන්ගේ සමස්ත කාල ගණනය කිරීම් අනුව ඔහුටද ඉදිරියට යාමට නොහැකි විය.

කිලෝ ග්‍රෑම් 57 බර පන්තියේ පිරිමි මල්ලව‍පොර අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වූ ඩිවෝෂන් චාර්ල්ස් ප්‍රනාන්දු තරග තරග වට 2-0කින් ඉන්දුනීසියානු ක්‍රීඩකයා හමුවේ පරාජය ලැබිය. ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ එකම වූෂූ ක්‍රීඩිකාව වන මලීෂා මධුමාලි කිලෝ ග්‍රෑම් 52 බර පන්තියේ 16 දෙනාගේ වටයේදී චීන තායිපේ ක්‍රීඩිකාව සමග ඊයේ රාත්‍රී තරග වැදීමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් අද (20දා) කේවල ඉසව් සඳහා තරග බිමට පිවිසීමට නියමිත අතර, පිරිමි හොකී පිලද ජපානය සමග අද තරග බිමට පිවිසෙයි.

තයිකොන්ඩෝ තරගාවලිය යටතේ තිසර ධර්මප්‍රිය කිලෝ ග්‍රෑම් 58 බර පන්තිය යටතේ වියට්නාම ක්‍රීඩකයා සමගද, නිසංසලා සඳමාලි කිලෝ ග්‍රෑම් 67 බර පන්තිය යටතේ ජෝර්දාන ක්‍රීඩිකාව සමග අද තරග බිමට පිවිසෙති.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.