lakbima.lk

ගෞරවය රැක ගැනීමේ සටනට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සූදානම් වෙති

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය අද (8දා) පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 2.30 ට ආරම්භ වෙයි.

මතෛක් පැවැති තරග තුනම ජයගත් දකුණු අප්‍රිකාව තරගාවලිය 3-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.  තෙවැනි තරගයේදී පන්දු රැකීමේදී උරහිසේ ආබාධයකට ලක්වූ දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩුප්ලෙසිස්ට සංචාරයේ ඉතිරි තරග අහිමිවී තිබේ.

මේ අනුව ඉදිරි තරගවලදී දකුණු අප්‍රිකානු පිල මෙහෙයවීම ක්වින්ටන් ඩි කොක්ට පැවරීමට පියවර ගෙන තිබේ. මේ අතර ඩුප්ලෙසිස් ක්‍රීඩා නොකිරීම හේතුවෙන් තරගාවලිය පුරාම අසාර්ථකවී සිටින ඒඩ්න් මාක්රම්ට අද ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවී තිබේ. යළිත් ලකුණු අතරට පිවිසීමට මාක්රම්ට අවස්ථාවක් හිමිවී ඇති අතර ඔහු වෙනුවට යෙදවූ රීසා හෙන්රිකස් ශතකයක් වාර්තා කරමින් ස්ථානය තහවුරු කර ගත්තේය.

තරගාවලිය ජය ගෙන ඇති බැවින් අද තරගයේදී සෙසු ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබාදීම කෙරෙහි දකුණු අප්‍රිකාවේ අවධානය යොමුවී ඇති බවද වාර්තාවේ. මේ පිළිබඳව අදහස් දැක්වූ දකුණු අප්‍රිකානු පුහුණුකරු ඔටිස් ගිබ්සන් පැවැසුවේ තරගාවලිය ජයගෙන ඇති බැවින් කිහිප දෙනෙකුට අද අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බවයි. තරගාවලිය 5-0 කින් ජය ගැනීම අපේක්ෂාව වුවද ක්‍රීඩකයන් එක දිගට දස්කම් දැක්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ගිබ්සන් පවසයි.

ශ්‍රී ලංකා පිලද තරග තුනම පරාජය වී සිටින බැවින් වෙනස්කම් සිදුවෙතැයි අපේක්ෂා කළද පිතිකරණ ලැයිස්තුවේ කිසිදු වෙනසක් නොවී පන්දු යැවීමේ අංශයේ සුළු වෙනසක් සිදුවීමට ඉඩ ඇති බව වාර්තාවේ. කෙසේ වුවද ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසුවේ විශාල වෙනස්කම් සිදු කිරීමේ බලා‍පොරොත්තුවක් නොමැති බවයි.

විශාල වෙනස්කම් කිරීමෙන් තරගය ජයගත හැකියැයි තමා විශ්වාස නොකරන බවත් තෝරාගෙන සිටින්නේ දක්ෂතම ක්‍රීඩකයන් බැවින් ඔවුන් අද සිය වගකීම ඉටු කරනු ඇතැයි බලා‍පොරොත්තු වන බව මැතිව්ස් පවසයි. තරගයක් ජයගත හැකි ලකුණු 300 සීමාව පසු කිරීමට පිතිකරුවන්ගෙන් තිදෙනෙකු දිගු ඉනිමක් ක්‍රීඩා කළ යුතු බවද මැතිව්ස් පවසයි. පසුගිය තරග තුනේදීම එය ඉටු නොවීමෙන් තරග පරාජය වීමට සිදුවූ බවද මැතිව්ස් පවසයි.

ශ්‍රී ලංකාවේ ගෞරවය රැකගෙන එලැඹෙන ආසියානු කුසලානට තරග වැදීමට ඉතිරි තරග දෙක ජය ගැනීම ඉතා වැදගත් බවද මැතිව්ස් පැවැසීය.

ශ්‍රී ලංකා සංචිතය

ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් ජනිත් පෙරේරා, උපුල් තරංග, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, කසුන් රාජිත, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ප්‍රභාත් ජයසූරිය

දකුණු අප්‍රිකානු සංචිතය

ක්වින්ටන් ඩි කොක් (නායක), හෂීම් අම්ලා,  ජේ.පී. ඩුමිනි, ඒඩ්න් මාක්රම්, ඩේවිඩ් මිලර්, ජූනියර් ඩලා, රීසා හෙන්රිකස්, හෙන්රිච් ක්ලාසන්, කේෂව් මහරාජ්, වියාන් මුල්ඩර්, ලුන්ගි එන්ගිඩි, ඇන්ඩිලි පෙලුක්වායෝ, කගිසෝ රබාඩා, ටබ්රේ ෂම්සි

මංගල ධර්මප්‍රේම පල්ලෙකැ‍ලේ සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.