lakbima.lk

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 78 ක ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකාව තරග 2 ක් ඉතිරිව තිබියදී තරගාවලිය 3-0 කින් ජය ගැනීමට සමත් විය.  මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 දී කඩුලු 7 ට ලකුණු 363 ක් රැස්  කළ අතර ශ්‍රී ලංකාවට පන්දුවාර 45.2 දී ලබාගත හැකිවූයේ ලකුණු 285 ක් පමණි.

ඊයේ දකුණු අප්‍රිකානු පිතිකරුවන් පල්ලෙකැ‍ලේ ජයකෙහෙලි නංවමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දරුණු ප්‍රහාරයක් දියත් කළේය.

සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ රීසා හෙන්රික්ස් වාර්තා ‍පොතට එක්වෙමින් විශිෂ්ට ශතකයක් වාර්තා කළ අතර අම්ලා, ඩුමිනි සහ මිලර් වේගවත් අර්ධ ශතක වාර්තා කරමින් ශ්‍රී ලංකාව අසරණ කළහ. රීසා හෙන්රික්ස් පන්දු 89 කට මුහුණ දෙමින් හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 102 ක් වාර්තා කළේය. 

අම්ලා සහ රීසා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක සම්බන්ධතාවයක් වාර්තාවූ අතර පන්දු 59 දී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 59 ක වාර්තා කිරීමට අම්ලා සමත්විය.

රීසා සහ ඩුමිනි අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්න්ධතාවයක් වාර්තා වූ අතර රීසා දැවී යාමෙන් පසු ඩුමිනිට මිලර් එක්විය. ඉන්පසු ශ්‍රී ලංකා පන්දු යවන්නන් දරුණු ප්‍රහාරයකට ලක්වූ අතර 5 වැනි කඩුල්‍ලේ සම්බන්ධතාව ලකුණු 103 ක්ව තිබියදී සිය තෙවැනි කඩුල්ල ලෙස ඩුමිනි පිටියෙන් ඉවත් කිරීමට තිසර පෙරේරා සමත් විය.

සිය ශතකය අහිමි කරගත් ඩුමිනි පන්දු 70 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් සහිතව ලකුණු 92 ක් ලබා ගත්තේය. ඉන්පසු සිය අර්ධ ශතකය වාර්තා කළ මිලර් පන්දු 47 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 51 ක් ලබා තිසරගේ සිව්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. ඉනිම අවසන් වන විට ඇන්ඩි‍ලේ පෙලුක්වායෝ පන්දු 11 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 24 ක් ලබා සිටියේය.

තිසර පෙරේරා ලකුණු 75 ට කඩුලු 4 ක්ද, ලහිරු කුමාර ලකුණු 67 ට කඩුලු 2 ක්ද බිඳ හෙළීය. ලකුණු 364 ක අසීරු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පි‍ලේ ආරම්භක පිතිකරුවන් වන දික්වැල්ල (10) සහ උපුල් තරංග (19) පිටියෙන් ඉවත් කිරීමට එන්ගිඩි සමත් විය.

කුසල් ජනිත් ලකුණු 27 කට දවා ගැනීමට පෙලුක්වායෝ සමත් වූ අතර තිසර ලකුණු 16 කට පිටියෙන් ඉවත් කිරීමට මුල්ඩර් සමත්වීමෙන් කඩුලු 4 ක් ලකුණු 81 ක් තුළ බිඳ වැටුණි.

කුසල් මෙන්ඩිස් ලකුණු 31 කට දවා ගැනීමට එන්ගිඩි සමත් වූ අතර මැතිව්ස් ලකුණු 32 කට දවා ගැනීමට ෂම්සි සමත් වීමෙන් පසු ධනංජය ද සිල්වා සහ අකිල ධනංජයගේ විශිෂ්ට සම්බන්ධතාවය වාර්තා විය.

7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවක් තැබිමෙන් පසු අකිල ලකුණු 37 කට දවා ගැනීමට සමත් වූ පෙලුක්වායෝ ධනංජය ද සිල්වා දවා ගැනීමෙන් ශ්‍රී ලංකාවේ අවසන් බලා‍පොරොත්තුවද සුන්විය. ධනංජය පන්දු 66 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 3 ක් සහිතව ලකුණු 84 ක් ලබා ගත් අතර ෂම්සිගේ පන්දුවක් හමුවේ ප්‍රභාත් ජයසූරියත් (00) එන්ගිඩිගේ පන්දුවක් හමුවේ ලක්මාල් (12) දැවී යාමෙන් ශ්‍රී ලංකා ඉනිම අවසන් විය.

පන්දුවෙන් දස්කම් දැක් වූ එන්ගිඩි කඩුලු 4 ක්ද පෙලුක්වායෝ කඩුලු 3 ක්ද ෂම්සි කඩුලු 2 ක්ද බිඳ හෙලූහ.

මංගල ධර්මප්‍රේම පල්ලෙකැ‍ලේ සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.