lakbima.lk

පසුගියදා කටුකුරුන්ද ධාවන පථයේ පැවැති රොදහැම් මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලියේ යතුරු පැදි අංශයෙන් ප්‍රථම ස්ථානයක් සහ තෙවැනි ස්ථානයක් දිනා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට 17 හැවිරිදි දුෂාන් මුදලිගේ සමත් විය.
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය එක්ව සංවිධානය කරන ලද මෙම තරගාවලියේ එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් 250 සී.සී. තරගයේදී ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අභිබවා යමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට දුෂාන් මුදලිගේ සමත් විය.
මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය ‍‍‍ජ්‍යෙෂ්ඨ යතුරු පැදි ධාවක චමින්ද සිල්වා දිනාගත් අතර, තුන්වන ස්ථානය එම්.ඩී. සංජය දිනා ගත්තේය.
එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් 125-750 සී.සී. තරගයට සිය 250 සී.සී. යතුරු පැදියෙන්ම තරග කරමින් තෙවැනි ස්ථානය දිනා ගැනීමට දුෂාන් මුදලිගේ සමත් විය.
 


39 වැනි වෙළෙඳ සේවා සත් සාමාජික පාපන්දු තරගාවලියේ අනුශූරතාවක් දිනා ගැනීමට සෙලාන් බැංකුවේ පාපන්දු කණ්ඩායම සමත් වී තිබේ.
සෙලාන් බැංකු කණ්ඩායමේ ගෝල රකින්නා ලෙස කටයුතු කළ චාමික ද සොයිසා තරගාවලියේ විශිෂ්ටතම ගෝල රකින්නා ලෙස ඇගයීමට ලක්විය.
සෙලාන් බැංකු පාපන්දු කණ්ඩායම :-
ප්‍රශාන්ත මනෝජ්, කවිඳු ගිනිගේ, ජසිඳු නිම්සර, සුරංග පෙරේරා, ප්‍රභාත් සුදර්ශන, ජෙෆ්රි ඉර්ෂාඩ්, ධනුෂ්ක බණ්ඩාර, චානුක ප්‍රනාන්දු, සිතුම් විදානගමගේ, සුබෝධක ශ්‍රීයාරත්න, මොහොමඩ් ඉක්රම්, චාමික ද සොයිසා

රත්නපුර අයගම වතුකාරගම ක්‍රීඩාංගණයේදී පසුගියා පැවැති ‘රුවන්පුර අභිමානී’ වොලිබෝල් තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයීය පිල සමත් විය.  රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය සහ අයගම වතුකාරගම සුමිතුරු මිතුරු සංවිධානය එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය.

මෙම තරගාවලියට ජාතික මට්ටමේ වොලිබෝල් කණ්ඩායම් රැසක් එක්ව සිටි අතර, ජයග්‍රාහකයින් සඳහා තිළිණ ප්‍රදානය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි, සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න ඇතුළු මැති ඇමැතිවරු රැසක් එක්ව සිටියහ.

සුනිල් පියතිලක - රත්නපුර

මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (28දා) නිමාවට පත්වූ 30 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙ‍ලේ සමස්ත ශූරතාව පිට පිටම සිව්වැනි වරටත් දිනා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කය (ලකුණු 12) සමත් විය.  ලකුණු 88ක් හිමිකරගත් පුත්තලම දිස්ත්‍රික්කය සමස්ත අනුශූරතාව දිනාගත් අතර, ලකුණු 66ක් හිමිකරගත් කොළඹ දිස්ත්‍රික්කයට තෙවැනි ස්ථානය හිමි විය.

ජාතික තරුණසේවා සභාව, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සමගින් එක්ව පැවැත්වූ මෙම තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ සහ 20න් ඉහළ වයස් කාණ්ඩ දෙකෙහි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනාට යතුරු පැදි ප්‍රදානය කෙරුණි.

මේ අනුව අවුරුදු 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මීටර් 200 ඉසව්වේදී තත්. 21.33ක දක්ෂතාවක් දැක්වූ මාත‍ලේ දිස්ත්‍රික්කයේ එස්.පී. අරුණ දර්ශන ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තුන් පිම්ම ඉසව්වේදී මීටර් 11.95ක දක්ෂතාවක් දැක්වූ නාගරික තරුණයා දිස්ත්‍රික්කයේ වී.ආර්. හිමාෂා කුරේ ද කුසලාන සමගින් යතුරු පැදි දිනා ගත්හ.

අවුරුදු 20න් ඉහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස දුර පැනීම ඉසව්වේදී මීටර් 7.23ක දක්ෂතාවක් දැක්වූ පුත්තලම දිස්ත්‍රික්කයේ ඩබ්ලිව්.පී. අමිල ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මීටර් 400 ඉසව්වේදී තත්පර 54.52ක දක්ෂතාවක් දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නදීශා රාමනායක ද කුසලාන සමගින් යතුරු පැදි දිනා ගත්හ.

මෙවර ක්‍රීඩා උළෙ‍ලේදී නව තරග වාර්තා 6ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.  මෙවර යෞවන ක්‍රීඩා උළෙ‍ලේදී අවුරුදු 20න් ඉහළ කාන්තා දුර පැනීම ඉසව්වේ වසර 24ක් පැරණි වාර්තාව බිඳ හෙලීමට කොළඹ දිස්ත්‍රික්කයේ අංජලී පුල්වන්ස (මීටර් 5.96) සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

නව තරග වාර්තා

අංජලී පුල්වන්ස (කොළඹ) - අවු. 20න් ඉහළ කාන්තා දුර පැනීම (මී. 5.95)

එස්.ඒ. තරිඳු දසුන් (ගාල්ල) - අවු. 20න් පහළ පිරිමි උස පැනීම (මී. 2.12)

එස්.පී.ඒ. දර්ශන (මාත‍ලේ) - අවු. 20න් පහළ පිරිමි මීටර් 200 (තත්. 21.33)

එන්.ජී.පී.ආර්. ගුණතිලක (කෑගල්ල) - අවු. 20න් පහළ කාන්තා මී. 110 කඩුලු පැනීම (තත්. 15.24)

පී.එම්.පී.එල්. කොඩිකාර (කුරුණෑගල) - අවු. 20න් පහළ පිරිමි මීටර් 400 (තත්. 48.58)

ආර්.පී.එල්. ලක්ෂාන් (පුත්තලම) - අවු. 20න් පහළ පිරිමි මීටර් 800 (මි. 1.55.20)

ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගාල්ල ශා. ඇලවීෂියස් අතර 8 වැනි වරටත් පැවැති මහා පැසිපන්දු තරගයෙන් ලකුණු 76-47ක් ජයක් වාර්තා කළ මහින්ද විදුහල තරග ඉතිහාසයේ කුළුදුල් ජයග්‍රහණය වාර්තා කළේය.

ශානුක තරින්ද (මහින්ද) තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසද, දිනුක ජයසේකර (ශා. ඇලවීෂියස්) හොඳම ආරක්ෂක ක්‍රීඩකයා ලෙසද,  විහඟ අධීෂ (මහින්ද) හොඳම ආක්‍රමණ ක්‍රීඩකයා ලෙසද සම්මාන දිනා ගත්හ.

‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති රුසිර මද්දුමහේවා මහතාගේ මෙහෙයවීමෙන් පැවැති මෙම පැසිපන්දු මහා තරගයේ ජය සංකේත ප්‍රදානය මහින්ද විද්‍යාලයීය ආදි පැසිපන්දු ක්‍රීඩකයකු වන වෛද්‍ය මධූෂ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

30 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල අද (25දා) පස්වරු 4.00ට මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ කෙරේ.  ලබන 28දා දක්වා පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙලට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට ආසන්න පිරිසක් සහභාගි වීමට නියමිතය.  අවු. 20න් පහළ සහ ඉහළ වයස් කාණ්ඩ දෙක යටතේ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග 16ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග බිමට පිවිසෙති.

මලල ක්‍රීඩා තරගවලට අමතරව දැල්පන්දු, වොලිබෝල්, කබඩි සහ පාපන්දු තරගද කොටවිල ගෘහස්ථ සහ එළිමහන් ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.  මේ අනුව දැල්පන්දු සහ පාපන්දු අවසන් මහ තරග 26දා පැවැත්වෙන අතර, වොලිබෝල්, කඹ ඇදීම සහ කබඩි අවසන් මහ තරග 27දා පැවැත්වේ.  සමාරම්භක උළෙල පැවැත්වෙන අද (25දා) තරග ඉසව් නොපැවැත්වෙන අතර, හෙට (26දා) මලල ක්‍රීඩා අවසන් තරග ඉසව් 19ක්ද, 27දා අවසන් තරග ඉසව් 25ක්ද, 28දා අවසන් තරග ඉසව් 18ක්ද පැවැත්වේ.

වයස අවුරුදු 20න් ඉහළ සහ 20න් පහළ වයස් කාණ්ඩ දෙකේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනාට යතුරුපැදිය බැගින් පිරිනැමීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ. මීට අමතරව ජාතික වාර්තාවක් බිඳ හෙළීම වෙනුවෙන් රු. 50,000ක මුදලක්ද, යෞවන ක්‍රීඩා වාර්තාවක් බිඳ හෙළීමක් වෙනුවෙන් රු. 10,000ක මුදලක්ද පිරිනැමේ.

පසුගිය වසරේ පිරිමි 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ජී.අයි.එම්. ප්‍රනාන්දු (දුර පැනීම-මීටර් 7.08), දක්ෂතම ක්‍රීඩිකාව වූ මහනුවර දිස්ත්‍රික්කයේ ඩී.ටී.ඒ. ද සිල්වා (මීටර් 100 - තත්. 12.32), අවුරුදු 20න් ඉහළ දක්ෂතම ක්‍රීඩකයා වූ මහනුවර දිස්ත්‍රික්කයේ ඩී.ඒ.ජී.ජේ.පී. විමලසිරි (දුර පැනීම - මීටර් 7.47), දක්ෂතම ක්‍රීඩිකාව වූ ගම්පහ දිස්ත්‍රික්කයේ එච්.ඩී.වී. ලක්ෂානි (තුන් පිම්ම - මීටර් 13.07) මෙවර ක්‍රීඩා උළෙ‍ලේ ඔලිම්පික් පහන දැල්වීම සිදුකරනු ලබති.

පසුගිය වසරේ පැවැති 29 වැනි යෞවන ක්‍රීඩා උළෙ‍ලේ සමස්ථ ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කය දිනාගත් අතර, අනුශූරතාව කුරුණෑගල දිස්ත්‍රික්කයට හිමිවිය.  යෞවන ක්‍රීඩා උළෙල වසර 12කට පසුව මාතර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන අතර, කොටවිල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙලද මෙය වෙයි.  ජාතික තරුණ සේවා සභාව, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කෙරෙන මෙම ක්‍රීඩා උළෙ‍ලේ සමාරම්භක උත්සවය අද ප.ව. 4.00ට  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ප්‍රභාත් විදානපතිරණ

Page 2 of 6

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.