lakbima.lk

කෙටි දුර ධාවනය සහ දුර පැනීම, සහය දිවීම එකට කරන ක්‍රීඩකයෝ දුලභය. ඊට හේතුව එකී ඉසව් සඳහා විශාල ශක්ති ප්‍රමාණයක් වැය වීමය. ලෝක ක්‍රීඩා ඉතිහාසය විමසා බැලීමේදී ද බොබ් බිමන්, කාල් ලුවිස්, බෙන් ජොන්සන් වැනි ක්‍රීඩකයන් අතළොස්සක් හැරුණු කල මෙම ක්‍රීඩා ඉසව් තුන එක විට නියෝජනය  කොට සාර්ථක වූ ක්‍රීඩකයෝ සොයාගත නොහැකි තරම්ය. එවන් පසුබිමකදී මීටර් 100, 100*4 සහය දිවීම, දුර පැනීමේ ක්‍රීඩාවේ නියැළෙමින්  විශිෂ්ට දස්කම් දක්වන ක්‍රීඩකයෙකු පිළිබඳ තොරතුරක් පසුගියදා  වාර්තා වූයේය. ඔහු ශ්‍රී ජයවර්ධන පුර අධ්‍යාපන කලාපය නියෝජනය කරමින් තරගවදිනා රන්දුනු හසරින්ද තෙන්නකෝන්ය. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය නියෝජනය කරමින් තරග වදින ඔහු වයස 16න් පහළ ඉසව්වේ පළමු වසරේ රැඳී සිටින්නෙකි.

රන්දුනු අප හා එක් වූයේ එක පෙළට ජයග්‍රහණ ගොන්නක් කියාපාමිනි. මම මීටර් 100, 100*4, දුර පැනීම ඉවෙන්ට් තුනම කරනවා. කවදා හරි මේ ඉසව් තුනෙන්ම ජාත්‍යන්තර තරගවලට යන්න මම බලා‍පොරොත්තු වෙනවා. රන්දුනු පවසන්නේය.

රන්දුන්ගේ ක්‍රීඩා ජීවිතය නිතරම පිරී ඇත්තේ ජයග්‍රහණ වලිනි. එහෙයින් ඔහුට ඒවා එක හැල්මේ කියාගෙන ගිය හැක. අප හා කතාව අරඹමින් ඔහු සිහිකළේ පසුගිය ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේදී ලද ජයග්‍රහණ පිළිබඳවය. මට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් එකක් දිනා ගැනීමට හැකි වුණා. ඔහු ජයග්‍රාහීව පවසන්නේය. රන්දුනු ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ අවසන් වටයේදී මීටර් 100 ධාවන ඉසව්වෙන් දෙවන ස්ථානයත් මීටර් 200 ධාවනයෙ තෙවන ස්ථානයත් දුර පැනීම දෙවන ස්ථානයත් හිමි කරගෙන වාර්තාවක්ද පිහිටුවා තිබේ.

හෝමාගම ප්‍රදේශයේ ජීවත් වන රන්දුනු ධාවන ඉසව්වලට අත්‍පොත් තබනුයේ පාස‍ලේ තුන්වැනි ශ්‍රේණියේදීය. පහ ශ්‍රේණියේදී කලාප මට්ටමට යන ඔහු බස්නාහිර පළාත් තරගවලදී පරාජය වුවද නොපසුබට උත්සාහයෙන් ක්‍රීඩාකර හයේ පන්තියේදී පැවැති 2016 සමස්ත ලංකා සහය දිවීමේ තරගාවලියේ මීටර් 100*4 හා මීටර් 50* 4ඉසව් වලින් තම කණ්ඩායමට සමස්ත ලංකා දෙවන ස්ථාන හිමි කර දීමට සමත් වන්නේය.

ඉන් නොනැවතුණු ඔහුගේ ගමන බස්නාහිර පළාත් පරිසාධන මට්ටමට ළඟා වී දුර පැනීමේ ඉසව්වෙන් බස්නාහිර පළාත් දෙවන ස්ථානය හා 100*4 සහය දිවීමේ ඉසව්වෙන් බස්නාහිර පළාත් දෙවන ස්ථානය ලබා ගැනීම දක්වා විහිදෙන්නේය. ඉන් අනතුරුව පැවැති ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී 100*4 සහය දිවීමේ ඉසව්වෙන් ලංකා ප්‍රථම ස්ථානය වාර්තා කරන්නට ඔහු නියෝජනය කළ කණ්ඩායම සමත් වන්නේය. එසේම රන්දුනු 2017 වසරේ පැවැති ජෝන් ටාබර් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියෙහි දුර පැනීමේ ඉසව්වෙන් සමස්ත ලංකා දෙවන ස්ථානය  ලබා ගැනීමට සමත් වන්නේය. පසුගියදා පැවැති මයිලෝ සමස්ත ලංකා ක්‍රීඩා උළෙ‍ලේදී මීටර් 100 දෙවන ස්ථානය දිනා බස්නාහිර පළාත් වාර්තාවක් පිහිටුවන්නටද ඔහු සමත් වී ඇත.

එසේම එහිදී මීටර් 200 ධාවන ඉසව්වෙන් තෙවන ස්ථානය ලබා ගන්නට ඔහු සමත් වී ඇත. තවමත් 14 හැවිරිදි රන්දුනු ශාන්ත ජෝන් විදුහලට ආඩම්බරයක් කරන්නට උර දෙන පිරිස පිළිබඳ ඔහු සිහිපත් කළේ මෙසේය.

මට මුලින්ම හිටපු පුහුණුකරු සුනිමල් රූපසිංහ සර්. ඔහු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපති ලෙස පත් වීමෙන් පසු තරංග සර් ආවා. දැන් පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ කුමාරසිරි හෙට්ටිආරච්චි සර්. ඒ වගේම මම පෞද්ගලිකව ඉමල්කා මැඩම්ගෙනුත් පුහුණුවීම් ලබනවා. මේ හැමෝටමත් මගේ පාස‍ලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටත් අම්මාටත්, තාත්තාටත්, අයියාටත් ස්තූති වන්ත විය යුතුයි. මගේ ගමනට ලබා දෙන ශක්තියට රන්දුනු පවසන්නේය.

රන්දුනුගේ පියා ග්‍රන්ථ ප්‍රකාශක ආයතනයක සේවය කරන්නෙකි. මව ගෘහණියක් වන අතර සොහොයුරා මූල්‍ය ආයතනයක සේවය කරයි.

ධාවන ඉසව්, සහය දිවීමේ ඉසව් මෙන්ම දුර පැනීමෙන්ද හපන්කම් පානා රන්දුනුගේ අනාගත බලා‍පොරොත්තුව ජාතික මට්ටමෙන් ජාත්‍යන්තර මට්ටමෙන් උපරිම දක්ෂතා පෙන්වීමය.  මට ඕන ලංකාවේ කාල් ලුවිස් වෙන්න. මොකද එයත් මේ ඉවෙන්ට් තුනම කළා. ඒත් ඒ ගමන අමාරුයි. අපේ පවු‍ලේ අයගේ සවියෙන් විතරක් ඒක යන්න අමාරු වෙයි. ඒ නිසා ඉදිරියේදී මට අනුග්‍රාහකයෙකුගේ සහාය අවශ්‍ය වෙනවා. රන්දුනු පවසන්නේය.

මිහිරාන් කරුණාරත්න

වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය සංවිධානය කළ වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේදී මාස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශූරතා තුනක් දිනා ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වූහ. පසුගියදා මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගවලදී සුපර් ලීග් පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම මාස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිනාගත් අතර, ශූරතා අංශයේ කාන්තා ශූරතාව දිනා ගැනීමටද මාස් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙවර අවසන් මහ තරග 4ක් සඳහා සුදුසුකම් ලබාගත් මාස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශූරතා තුනක් සහ එක් අනුශූරතාවක් දිනා ගැනීමට සමත් වූහ.  සුපර් ලීග් පිරිමි අවසන් මහ තරගයේදී මාස් ලෙෂර්ලයින් තරග වට 3-0කින් ටී.ජේ. ලංකා පරාජය කරමින්ද, කාන්තා අවසන් මහ තරගයේදී මාස් කැෂුවලයින් තරග වට 3-0කින්  මීරිගම බ්‍රැන්ඩික්ස් පරාජය කරමින්ද ශූරතා දිනා ගත්හ.

ශූරතා අංශයේ කාන්තා අවසන් මහ තරගයේදී ඔමෙගා ලයින් තරග වට 3-0කින් පරාජය කරමින් මාස් කැෂුවලයින් ශූරතාව දිනා ගත්තේය.  ඕෂන් ලංකා සහ එක්ස්‍පෝ ලංකා අතර පැවැති ශූරතා අංශයේ අවසන් තරගයේදී තරග වට 3-0ක ජයක් වාර්තා කිරීමට ඕෂන් ලංකා සමත් විය.  ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැති පිරිමි අවසන් තරගයේදී ඔමේගා ලයින් තරග වට 3-0කින් එස්කිමෝ ෆැෂන් පරාජය කරමින්ද, කාන්තා අවසන් තරගයේදී මැලිබන් බිස්කට් තරග වට 3-0කින් මාස් යුනිචෙලා පරාජය කරමින්ද ශූරතා දිනා ගත්තේය.

ප්‍රභාත් විදානපතිරණ

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු සති අන්තයේදී පැවැති සී.එච්. සහ සී.ආර්. අතර තරගයෙන් ලකුණු 24-23ක තියුණු ජයක් වාර්තා කිරීමට සී.ආර්. සමත් විය.  මේ අතර පසුගිය සිකුරාදා පැවැති නාවික හමුදාව සහ ‍පොලීසිය අතර තරගයෙන් ලකුණු 24-23ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය.

සෙසු තරගවලදී යුද හමුදාව පරාජය කිරීමට හැව්ලොක්ස් සමත් වූ අතර, ගුවන් හමුදාව පරාජය කිරීමට මහනුවර සමත් විය.

සී.ආර්. 24යි-සී.එච්. 23යි

මෙම තරගයේදී තරින්ද රත්වත්තගේ දස්කම් හේතුවෙන් සී.ආර්.ට තියුණු ජයක් හිමි විය.

සී.ආර්. වෙනුවෙන් තරින්ද රත්වත්ත උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 4ක් වාර්තා කළ අතර, ජෝශප් ෆුයිමානෝ උත්සාහක දිනුමක්ද, රීසා රෆයිඩීන් ප්‍රවර්ථනයක්ද නිම කළේය.

සී.එච්. වෙනුවෙන් ප්‍රසාද් මධුසංක සහ නවීන් හේනකංකානම්ගේ උත්සාහක දිනුම් වාර්තා කළ අතර, සැමුවෙල් මධුවන්ත දඬුවම් පහර 3ක් සහ ප්‍රවර්ථන 2ක් නිම කළේය.

නාවික හමුදාව 24යි-‍පොලීසිය 23යි

මෙම තරගයේදී නාවික හමුදාව වෙනුවෙන් රිචී ධර්මපාල, බුද්ධිම ප්‍රියරත්න සහ චරිත් සිල්වා උත්සාහක දිනුම් වාර්තා කළ අතර, තිළිණ වීරසිංහ දඬුවම් පහරක් සහ ප්‍රවර්ථන 3ක් නිම කළේය.

‍පොලීසිය වෙනුවෙන් වගීෂ වීරසිංහ (2), උත්පල එදිරිසිංහ උත්සාහක දිනුම් වාර්තා කළ අතර, අමිත් ප්‍රභාත් දඬුවම් පහර 2ක් සහ ප්‍රවර්ථනයක් නිම කළේය.

මහනුවර 28යි-ගුවන් හමුදාව 19යි

මෙම තරගයේදී මහනුවර වෙනුවෙන් රිචඩ් ධර්මපාල (2), විශ්වමිත්‍ර ජයසිංහ සහ රොෂාන් වීරරත්න උත්සාහක දිනුම් වාර්තා කළ අතර, තිළිණ විජේසිංහ ප්‍රවර්ථන 4ක් නිම කළේය.

ගුවන් හමුදාව වෙනුවෙන් සූරිය ක්‍රිෂන්, රාධාවා තවුසෝ, රමේෂ් වසන්ත උත්සාහක දිනුම් වාර්තා කළ අතර, නුවන් පෙරේරා, ගයන්ත ඉද්ධමල්ගොඩ ප්‍රවර්ථනය මැගින් නිම කළේය.

හැව්ලොක්ස් 23යි- යුද හමුදාව 12යි

මෙම තරගයේදී හැව්ලොක්ස් වෙනුවෙන් මිතුන් හපුගොඩ, රහල් දැල්පචිත්‍ර සහ දුෂ්මන්ත ප්‍රියදර්ශන උත්සාහක දිනුම් වාර්තා කළ අතර, රීසා මුබාරක් දඬුවම් පහර 2ක් සහ ප්‍රවර්ථනයක් නිම කළේ.

‍පොලීසිය වෙනුවෙන් ගයාන් සාලින්ද දඬුවම් පහර 4ක් නිම කළේය.

මංගල ධර්මප්‍රේම

කොළඹ ආනන්ද සහ නාලන්ද දෙවිදුහල් අතර 17 වැනි වරටත් පවත්වන ලද වාර්ෂික හොකී මහ තරගයෙන් ගෝල් 2-0ක ජයක් වාර්තා කළ ආනන්ද විදුහල ‘එන්.ඩබ්ලිව්. කරුණානන්ද කුසලාන’ දිනා ගත්තේය.

1999 වසරෙන් පසු ආනන්ද විදුහල එන්.ඩබ්ලිව්. කරුණානන්ද කුසලාන දිනා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.  කොළඹ කෘත්‍රිම හොකී ක්‍රීඩාංගණයේ පවත්වන ලද මෙම තරගයේ පළමු භාගය ගෝල් 0-0ක් ලෙස අවසන් වූ අතර දෙවැනි භාගයේදී ගෝල 2ක් රැස් කිරීමට ආනන්ද ක්‍රීඩකයෝ සමත් වූහ.

ආනන්ද විදුහල් ජයග්‍රහණය වෙනුවෙන් පසිඳු ජයසේකර ගෝල් දෙකම වාර්තා කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.

(සපුමල්)

ශ්‍රී ලංකා රග්බි සංගමය ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරන ‘ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය’ හෙට (9දා) ආරම්භවේ.

මෙම තරගාවලියේ පළමු අදියර හෙට (9දා) ආරම්භ කර දෙසැම්බර් 23දා අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, දෙවැනි අදියර ලබන වසරේ ජනවාරි 4දා ආරම්භ කර පෙබරවාරි 17දා අවසන් කිරීමට සැලසුම් කර තිබේ.  නව මුහුණුවරකින් පැවැත්වෙන මෙවර තරගාවලියේදී දෙවැනි වටය අවසානයේ ‘ඩයලොග් සුපිරි වටය’ ලෙස සති දෙකක තරගාවලියක් පැවැත්වේ.

එම සුපිරි වටයේ තරග සඳහා දෙවැනි වටය අවසානයේ පෙරමුණේ සිටින කණ්ඩායම් හතර ‘කුසලාන’ ශූරතාව සඳහා තරග වදින අතර, පහළ කණ්ඩායම් හතර ‘පළඟ’ ශූරතාව වෙනුවෙන් තරග වදියි.  මෙවර තරගාවලියේදී කණ්ඩායමක 23 දෙනා අතරට එක් විදෙස් ක්‍රීඩකයකු පමණක් ඇතුළත් කළ හැකි බවට සංවිධායකයන් තීරණය කර තිබේ.

මෙවර පළමු අදියර යටතේ මහනුවර, හැව්ලොක්ස්, නාවික හමුදාව, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී., ‍පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව සහ සී.එච්. යන කණ්ඩායම් 8 තරග වදියි.

තරගාවලිය ආරම්භ කරමින් ලබන 9දා පස්වරු 4.00ට ‍පොලීසිය සහ නාවික හමුදාව තරග වදින අතර, එදිනම පස්වරු 6.30ට හැව්ලොක්ස් පිටියේදී යුද හමුදාව සහ හැව්ලොක්ස් අතර තරගය පැවැත්වේ.  පසුගියදා පැවැති තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න, උප සභාපති රිස්වි ඉල්ලියාස් සහ ඩයලොග් සමාගමේ සාමාන්‍යාධිකාරී (සන්නාම සහ මාධ්‍යය) හර්ෂ සමරනායක යන මහත්වරුන් එක්ව සිටියහ.

සුමති සමූහ ව්‍යාපාරයේ අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා බිලියඩ් සහ ස්නූකර් සංගමය 66 වැනි වරටත් පැවැත්වූ යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ කුසලාන ජාතික ශූරතා ස්නූකර් තරගාවලියේදී පළමු වරට ශූරතාව දිනා ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජයේ එම්.එෆ්.එම්. ෆාහිම් (තරග වට 6-1කින්) සමත් විය.

ශ්‍රී ලංකා ස්නූකර් මේසයේ අණසක පතුරුවාලමින් 19 වරක් ජාතික ස්නූකර් ශූරතාව දිනාගත් පසුගිය වසරේ ශූර සුසන්ත බොතේජුට මෙවර තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවීම කැපී පෙනෙන සිදුවීමක් විය.

මුවර්ස් ක්‍රීඩා සමාජයේ එම්.එෆ්.එම්. ෆාහිම් සහ ඔටර්ස් ක්‍රීඩා සමාජයේ රයන් සෝමරත්න අතර පැවැති අවසන් මහා තරගයේ පළමු වටය ලකුණු 66-35ක් ලෙස සෝමරත්න ජය ගනිමින් හොඳ ආරම්භයක් ලබා ගත්තද, ඉන්පසු තරග වට 6ක්ම පිට පිටම ජය ගැනීමට (61-49, 64-30, 67-60, 72-12, 65-56, 75-26) ෆාහිම් සමත් විය.

තරග වට 11කින් සමන්විත අවසන් මහා සටනේ තරග වට 6ක්ම ෆාහිම් ජය ගැනීමත් සමගම 66 වැනි ජාතික ස්නූකර් ශූරතාව ෆාහිම් සතු විය.

අවසන් පූර්ව තරගවලදී පසුගිය වසරේ ශූර සුසන්ත බොතේජු (සී. එන්ඩ්ලස් ක්‍රී.ස.) තරග වට 5-2කින් පරාජය කරමින් සිව්වැනි වරටත් රයන් සෝමරත්න අවසන් සටනට සුදුසුකම් ලබාගත් අතර, මුවර්ස් ක්‍රීඩා සමාජයේම ආශික් හුසේන් තරග වට 5-3කින් පරාජය කරමින් ෆාහිම් අවසන් සටනට සුදුසුකම් ලබා ගත්තේය.

සුසන්ත බොතේජු සහ ආශික් හුසේන් අතර තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් ජය ගැනීමට බොතේජු සමත් විය.

මුවර්ස් ක්‍රීඩා සංගම් ශාලාවේ පැවැති මෙවර ජාතික ශූරතා ස්නූකර් තරගාවලියේ අවසන් වටයේ තරග ක්‍රීඩකයන් 16 දෙනකු අතර පැවැත්විණි.

තරගාවලියේ ජයසංකේත සහ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සුමති ග්ලෝබල් කොන්සලිඩේටඩ් පෞද්ගලික සමාගමේ ව්‍යාපාර උපායමාර්ගික සහ සංවර්ධන අධ්‍යක්ෂ චදූ සුමතිපාල, ශ්‍රී ලංකා බිලියට් සහ ස්නූකර් සංගමයේ සභාපති නූර් සුල්ස්කි පසීලා යන මහත්වරුන්ගේ සහ නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

Page 8 of 9

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.