lakbima.lk

ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී සුනිල් අභයවර්ධනයන්ගේ වර්ෂ පූර්ණ ගුණ සමරු උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන ‘සුනිල් අභයවර්ධන අනුස්මරණ කුසලාන’ මැරතන් තරගය දෙසැම්බර් 2දා පෙ.ව. 9.00ට කෙරවලපිටිය මාටාගොඩ මංසන්ධියෙන් ආරම්භ කෙරේ.  වත්තල ආසනයට පමණක් විවෘත තරගයක් ලෙස පැවැත්වෙන මෙම මැරතන් තරගයේ ප්‍රථම ස්ථානයට ‘සුනිල් අභයවර්ධන අනුස්මරණ කුසලාන’ සමගින් මුදලින් රු. 7,500ක්ද, දෙවන ස්ථානයට මුදලින් රු. 5,000ක්ද, තෙවැනි ස්ථානයට රු. 2,500ක්ද සමගින් කුසලාන පිරිනැමේ.

මීට අමතරව සිව්වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා මුදල් සහ සහතිකපත් පිරිනැමීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.  තරගාවලිය පිළිබඳ වැඩි තොරතුරු ප්‍රධාන සංවිධායක සරත් ක්‍රිශාන් (0718116727) මහතා හෝ උප සභාපති සිසිර (0776335874) මහත්වරුන් ඇමැතීමෙන් ලබාගත හැකියි.

සුනිල් අභයවර්ධන මහතා ‘ලක්බිම’ පුවත්පතේද ක්‍රීඩා මාධ්‍යවේදියකු ලෙස සේවය කළ අතර, ‍ලේක්හවුස් ආයතනය මගින් මුද්‍රිත ‘ක්‍රීඩා’ සඟරාවේ කර්තෘවරයකු ලෙසද සේවය කර තිබ්. මීට අමතරව ජාතික පුවත්පත් ගණනාවක සහ එෆ්.එම්. නාලිකා රැසක සේවය කර ඇති අභයවර්ධන මහතා විවිධ උත්සව සහ සංගීත සංදර්ශනයන්හි නිවේදකයකු ලෙසද, පාපැදි සහ එල්‍ලේ තරග විස්තර විචාරකයකු ලෙසද සිය දක්ෂතාවයන් ප්‍රදර්ශනය කර තිබේ.

කෙරවලපිටිය මුදිත ක්‍රීඩා සුබසාධක හා මරණාධාර සංගමයේ ආරම්භක සාමාජිකයකු වන අභයවර්ධන මහතා වෙනුවෙන් එදින තවත් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.  පළාත් සභා මන්ත්‍රී ඩෝල්ටන් ජානක සූරියබණ්ඩාර, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න අල්විස්, ලංකා ස්‍පෝර්ට්ස් රයිසන් අධිපති තිලක් වීරසිංහ, පැරඩයිස් ටෝයිස් ආයතනය, වත්තල ෆ්ලයින්ග් වීල් පාපැදි සංගමය, ප්‍රජා ‍පොලිස් කමිටුව, ප්‍රජා ‍පොලීසිය වත්තල, මුදිත ක්‍රීඩා සමාජය සහ සුනිල් අභයවර්ධන මිතුරු කැල මෙම උත්සවය සඳහා අනුග්‍රාහකත්වය දක්වයි.

ඩයලොග් සමාගමේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග දෙසැම්බර් 15දා ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  මේ අනුව විවෘත පිරිමි අංශයේ අවසන් මහ සටනට කොළඹ බලරැස් ක්‍රීඩා සමාජය සහ ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබාගත් අතර, කුරුණෑගල කැෂුවල් ක්‍රීඩා සමාජය සහ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය විවෘත කාන්තා අවසන් සටනට සුදුසුකම් ලබා ගත්තේය.

අවුරුදු 22න් පහළ පිරිමි අවසන් මහ තරගයට රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සහ නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබාගත් අතර, මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය සහ කෑගල්ල ඇලමෝනියා ක්‍රීඩා සමාජය 22න් පහළ කාන්තා අවසන් සටනට සුදුසුකම් ලබා ගත්තේය.

පසුගියදා හික්කඩුව මහජන ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූ ජාතික තරග සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් කණ්ඩායම් 100ක් සහභාගි විය.  එහිදී පැවැති විවෘත පිරිමි අවසන් පූර්ව තරගවලදී බලරැස් තරග වට 3-1කින් දෙබෑගම රන්තරු පරාජය කරමින්ද, සියනෑතරු තරග වට 3-0කින් ආනමඩුව රමීස් ට්‍රැවල්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින්ද අවසන් සටනට පිවිසුණි.

විවෘත කාන්තා අවසන් පූර්ව තරගවලදී කැෂුවල් ක්‍රීඩා සමාජය තරග වට 3-0කින් රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් පරාජය කරමින්ද, කොස්වාඩිය විජය තරග වට 3-0කින් සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය පරාජය කරමින්ද අවසන් සටනට සුදුසුකම් ලබා ගත්තේය.  මෙහිදී පිරිමි තෙවැනි ස්ථානය ආනමඩුව රමීස් ට්‍රැවල්ස් ක්‍රීඩා සමාජය දිනාගත් අතර, කාන්තා තෙවැනි ස්ථානය රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් සතුවිය.

අවුරුදු 22න් පහළ පිරිමි අවසන් පූර්ව තරගවලදී රුවන්වැල්ල රාජසිංහ තරග වට 3-0කින් සීදූව දවිසමර පරාජය කරමින්ද, නාත්තන්ඩිය ධම්මිස්සර තරග වට 3-0කින් හුංගම විජයබා පරාජය කරමින්ද අවසන් සටනට සුදුසුකම් ලබා ගත්තේය.  අවු. 22න් පහළ කාන්තා අවසන් පූර්ව තරගවලදී මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය තරග වට 3-0කින් පරාජය කරමින්ද, ඇලමෝනා ක්‍රීඩා සමාජය තරග වට 3-0කින් හුංගම  විජයබා පරාජය කරමින්ද අවසන් සටනට පිවිසුණි.

සීදූව දවිසමර සහ හුංගම විජයබා 22න් පහළ තෙවැනි ස්ථාන දිනා ගත්තේය.

ප්‍රභාත් විදානපතිරණ

පසුගියදා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැති ජනසතු සේවා සත් සාමාජික හොකී තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට ලංකා බැංකුව සමත් විය.
ලංකා බැංකුව සහ ගමනා ගමන මණ්ඩලය අතර පැවැති අවසන් මහ තරගයේදී ලංකා බැංකුව ගෝල 3-2ක තියුණු ජයක් වාර්තා කළේය.
සුදීර විජේසුන්දර, රොහාන් ගමගේ සහ නාත් දිසානායක ජයග්‍රාහී ලංකා බැංකුව වෙනුවෙන් ගෝල රැස් කළ අතර, කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඒ.එම්. පෙරේරා මහතා කටයුතු කළේය.

නේපාලයේ කත්මන්දු හිදී පැවැති පළමුවැනි දකුණු ආසියානු කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් සමගින් පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් වී තිබේ.  පසුගිය 23 සහ 24දා පැවැති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් තිදෙනකු සහභාගි වූ අතර, එහිදී කිලෝ ග්‍රෑම් 60 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට යුද හමුදාවේ එම්. රාජකුමාරන් සමත් විය.

කිලෝ ග්‍රෑම් 60 බර පන්තිය යටතේම තරග වැදුණු කේ. උදයකුමාර (මීරිගම බාබෙල්) රිදී පදක්කම දිනා ගත් අතර, යුද හමුදාවේ නිශාන්ත වික්‍රමසිංහ කිලෝ ග්‍රෑම් 65 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගෙන තිබේ.

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු මහතා දකුණු ආසියාතික කායවර්ධන සම්මේලනයේ උප සභාපති තනතුරට පත්කර ඇති අතර, 2019 දකුණු ආසියාතික කායවර්ධන තරගාවලියේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබේ.

බෝපිටිය ලොයොලා විද්‍යාලයේ ජේ.එම්. සිතුම් නිරංග මේස පන්දු ක්‍රීඩාවෙන් කැපී පෙනෙන දස්කම් දක්වමින් විදුහල් නාමය ඉහළ තලයකට රැගෙන යාමට සමත් වී සිටියි.  අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවිධායකත්වයෙන් පසුගියදා ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති සමස්ත ලංකා පාසල් මේසපන්දු තරගාවලියේදී පරිසාධන මට්ටම අභිභවා යමින් අවසන් ක්‍රීඩකයන් 16 දෙනා අතරට පත්වීමට සිතුම් නිරංග සමත් විය.

බස්නාහිර පළාත් මේස පන්දු තරගාවලියේද අවුරුදු 15න් පහළ සිව්වැනි ස්ථානය දිනාගත් සිතුම් අවුරුදු 18න් පහළ ශූරතාව දිනා ගනිමින් දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබිය.

2016 සහ 2017 වර්ෂයන්හි අවුරුදු 15න් පහළ සහ අවුරුදු 18න් පහළ ගම්පහ දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම්හි පළමුවැන්නා බවට පත්වූ සිතුම් විවෘත පිරිමි අංශයෙන් 8 වැනි ස්ථානයට ශ්‍රේණිගත විය.  සිතුම්ගේ මෙම දක්ෂතා හේතුවෙන් 2017 ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේදී වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබිය. මේස පන්දු ක්‍රීඩාවෙන් දස්කම් පාන සිතුම්ගේ පුහුණුකරු ලෙස ලක්ෂාන් තාරක මහතා කටයුතු කරන අතර, ඊ-සොෆ්ට් ආයතනය මගින් සිතුම්ට ශිෂ්‍යත්වයක්ද ලබාදී තිබේ.

රුසියානු මධ්‍යස්ථානයේ ඇනටෝලි කාර්‍පෝව් චෙස් සමාජයේ 20 වෙනි සංවත්සරික උත්සවය පසුගියදා පැවැත්වුණු අතර, එහිදී දැනට ශ්‍රී ලංකාවේ නැගී එන චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනකුට සහ මෙම චෙස් සමාජයේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනකුට උපහාර සම්මාන පිරිනමන ලදී.

මෙම 20 වෙනි සංවත්සරික උළෙල පසුගියදා රුසියානු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයෙදී රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රථම ‍ලේකම් සහ රුසියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ඇනස්ටාසියා කොක්ලෝවා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට ආසියානු චෙස් සමාජයේ උප සභාපති ‍පොදු රාජ්‍ය මණ්ඩල චෙස් සම්මේලනයේ මහ‍ලේක් සහ ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ තරග ‍ලේකම් ලක්ෂ්මන් විජේසූරිය සහ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක මහත්වරුද සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ සිටින ලෝක චෙස් ඔලිම්පියාඩ් රන් පදක්කම්ලාභී, කාන්තා ෆිඩේ මාස්ටර් හා ලෝක චෙස් සම්මේලනයේ සහතිකලත් ෆිඩේ උපදේශකවරියක වන දස වසරක් ජාතික කාන්තා චෙස් ශූරතාව දිනූ සුනීතා විජේසූරිය මහත්මිය ඇනටෝලි කාර්‍පෝව් චෙස් සමාජයේ සභාපතිනිය හා ප්‍රධාන උපදේශිකාව ලෙස කටයුතු කරයි.

Page 7 of 9

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.