lakbima.lk

 

1956 වසරේ සිට ප්‍රංශ පාපන්දු සම්මේලනය මඟින් පිරිනැමෙන 'බ්ලොන් ඩි ඕර්' සම්මානය ලෝකයේ ඉහළතම හා පැරණිතම පා පන්දු සම්මානයකි.

මෙවර එම සම්මානය ක්‍රොඒෂියානු සුපිරි පා පන්දු ක්‍රීඩක ලුකා මොඩ්රික් දිනා ගැනීමට සමත් විය. ඔහු වත්මන් ක්‍රොඒෂියානු පා පන්දු කණ්ඩායම් නායකයා ය.  

මෙම ජයග්‍රහණයේ  විශේෂත්වය වන්නේ මෙම සම්මානය පිට පිට දිනා ගනු ලැබුවේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ලයනල් මෙසී විසින් වීමයි.  ඔවුන් දෙදෙනා මේ වන විට පස් වතාව බැගින් බ්ලොන් ඩී ඕර් සම්මානය දිනා ගෙන ඇත.

කෙසේවෙතත් වසර 10කට පසු වෙනත් රටකට මෙම සම්මානය ලැබුණේ ප්‍රථම වතාවට ය. එමෙන්ම ක්‍රොඒෂියාවට බ්තෑන්ඩි ඕර් සම්මානය ලැබී ඇත්තේ ද ප්‍රථම වතාවට වීම සුවිශේෂී ය.

 

උත්පලා ප්‍රබුද්ධිකා

ජාතික මල්ලවපොර සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික මල්ලවපොර තරඟාවලිය පසුගිය දෙසැම්බර් 01 වන දින සිට 04 වන දින දක්වා මීගමුව, කඩොල් කැලේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී පැවති අතර, එහිදී සුවිශේෂි දක්‍ෂතා දක්වමින් 2018 වර්ෂයේ ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය. ඒ අනුව අඛණ්ඩව 18 වන වරටත් එම ශූරතාවය දිනාගත් කණ්ඩායම ලෙස නාවික හමුදා මල්ලවපොර කණ්ඩායම ඉතිහාසයට එක්විය.

යුද හමුදා, ගුවන් හමුදා සහ පොලිස් ඇතුළුව දිවයිනේ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් මල්ලවපොර කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ අතර, එම කණ්ඩායම් සියල්ල අභිබවමින් රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් සමඟින් තරඟාවලියේ සමස්ථ ජයග්‍රහණය ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි.

ත්‍යාග ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මැතිතුමන් සහභාගී විය. තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා, කොමදෝරු ජයන්ත ගමගේ මහතා, ජාතික මල්ලවපොර සංගමයේ සාමාජිකයින් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගීවි සිටියහ.



කළුතර බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය හා කොළඹ ක්‍රීඩා සමාජය  අතර පැවැති පාපන්දු තරඟය අතරතුර විනිසුරු මොහොමඩ් අශාඩ් හට ප්‍රේක්ෂකයින් විසින් පහර දීමත් සමඟ  තරගය අතහැර දැමීමට සිදු විය. ඒ වන විට ගෝල 1-1 ලෙස කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා තිබුණි. තරගය කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

ආර්ජන්ටිනාවේ බුව‍නෝර්ස් අයර්ස්හි සුප්‍රකට පාපන්දු තරඟාවලියක් වූ කොපා ලිබටේඩර්ස් තරඟාවලියේ පූර්ව තරඟය අවසන් වූයේ ප්‍රධාන කණ්ඩායම් ද්විත්වයක් වූ ‘බොකා ජූනියර්ස්’ හා ‘රිවර් ප්ලේට්’ කණ්ඩායම්හි රසිකයන් විසින් ඇති කළ  අමානුෂික ප්‍රහාරයකිනි. 

ඒ අනුව ‘දකුණු ඇමරිකානු පාපන්දු සංඟමය’ මඟින් දෙපාර්ශවයේ අවසන් තරඟය ආර්ජන්ටිනාවෙන් පිටත පවත්වන බවට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව දෙපාර්ශවය අතර අවසන් තරඟය ස්පාඤ්ඤ‍යේ මැඩ්‍රිඩ් නුවර දෙසැම්බර්  9 වැනිදා පැවැත්වීමට සියලුම කටයුතු සම්පාදනය කරමින් පවතියි. පාපන්දු සංඟමය මෙම තීරණය ගෙන ඇත්තේ රසිකයින්ගේත් ක්‍රීඩකයින්ගේත් දෙපාර්ශවයේම ආරක්ෂාව තර කිරීම සඳහා බැව් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ඒ 'රිවර් ප්ලේට් රසිකයන්' විසින් 'බොකා ජූනියර්ස් පා පන්දු කණ්ඩායම' ගමන් ගත් බස් රථයකට ‍දැඩි හානි පමුණුවා එහි සිටි ක්‍රීඩකයින්  කිහිපදනෙකුට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ජගත්  පා පන්දු ලොව අවධානය ආර්ජන්ටිනාවට යොමු විය. මෙලෙස තුවාල වූ ක්‍රීඩකයින් අතර බොකා ජූනියර්ස් හි කණ්ඩායම් නායකයා ද මැදි පන්දු රකින්නා ද සිටියි.

එමෙන් ම මෙම පාපන්දු කණ්ඩායම් අතර වසර 60 කට පසු අවසන් තරඟයක් පැවතෙන ප්‍රථම අවස්ථාව ද මෙයයි. මේ වන විට රිවර් ප්ලේට් කණ්ඩායම වෙත ඇමරිකන් ඩොලර් 400 000ක දඩයක් පණවා ඇත. .

උත්පලා ප්‍රබුද්ධිකා

 

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සති අන්තය වන විට අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වී සිටියි.  මහනුවර, සී.ආර්. සහ හැව්ලොක්ස් තරග 3 බැගින් ජයගෙන අපරාජිතව සිටින නමුත් ප්‍රසාද ලකුණු අනුව මහනුවර පෙරමුණට පැමිණ තිබේ.

මහනුවර ප්‍රසාද ලකුණු 3ක්ද සහිතව ලකුණු 18ක් ලබා සිටින අතර, සී.ආර්. සහ හැව්ලොක්ස් එක් ප්‍රසාද ලකුණ බැගින් ලබා ලකුණු 16ක් ලබා සිටියි.  පසුගිය සති අන්තයේ පැවැති මහනුවර සහ යුද හමුදාව අතර තරගයෙන් ලකුණු 38-10ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර සමත් විය.

නාවික හමුදාවට එරෙහිව තියුණු සටනකින් පසු අවසන් මොහොතේ ලකුණු 22-18ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් සමත් විය.  සී.ආර්. සහ ‍පොලීසිය අතර තරගයෙන් ලකුණු 38-17ක පහසු ජයක් වාර්තා කිරීමට සී.ආර්. ට හැකිවිය.  මේ අතර මෙම තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කරමින් ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 26-18ක ජයක් ලැබිමට සී.එච්. සමත් විය.

මේ අතර මෙම සති අන්තයේදී අපරාජිත මහනුවර සහ සී.ආර්. අතර තරගය නිත්තවෙලදී පැවැත්වේ.  ‍පොලීසිය සහ හැව්ලොක්ස් අතර තරගය සිකුරාදා පැවැත්වෙන අතර, නාවික සහ ගුවන් හමුදා තරගය රත්මලානේදීද, යුද හමුදාව සහ සී.එච්. අතර තරගය සී.එච්. පිටියේදීද පැවැත්වේ.

මංගල ධර්මප්‍රේම

ඩයලොග් ආසිආටා සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ජාතික ශූරතා දැල්පන්දු තරගාවලියේ දෙවැනි වටයේ තරග දෙසැම්බර් 4දා සිට 6දා දක්වා බණ්ඩාරගම ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  මෙම තරගාවලියේ පළමු වටයේ තරග මේ වන විට (28දා සිට 30 දා දක්වා) ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.

ඩයලොග් දැල්පන්දු ශූරතාව සඳහා ලංකාවේ විවිධ ප්‍රදේශයන් නියෝජනය කරමින් කණ්ඩායම් 24ක් ඉදිරිපත්ව සිටින අතර, එම කණ්ඩායම් කාණ්ඩ 4ක් යටතේ තරග වැද එහි ශූරයන් අතර ලීග් ක්‍රමයට තරග පැවැත්වේ.  මීට පෙර ජාතික මට්ටමේ තරගාවලින්හිදී තරග මිනිත්තු 20ක කාලයකට සීමා වුවද, මෙවර තරග පැයක කාලයක් පැවැත්වීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර දැල්පන්දු තරග පැය කාලයක් පැවැත්වෙන බැවින් ක්‍රීඩිකාවන් ජාතික සංචිතයට ඇතුළත් කර ගැනීමේ අරමුණින් දැල්පන්දු සම්මේලනය මෙම තීරණය ගෙන තිබේ.  ඩයලොග් ජාතික ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගය දෙසැම්බර් 8දා වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Page 6 of 9

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.