lakbima.lk

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය හෙට ඇරඹේ

ශ්‍රී ලංකා රග්බි සංගමය ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරන ‘ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය’ හෙට (9දා) ආරම්භවේ.

මෙම තරගාවලියේ පළමු අදියර හෙට (9දා) ආරම්භ කර දෙසැම්බර් 23දා අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, දෙවැනි අදියර ලබන වසරේ ජනවාරි 4දා ආරම්භ කර පෙබරවාරි 17දා අවසන් කිරීමට සැලසුම් කර තිබේ.  නව මුහුණුවරකින් පැවැත්වෙන මෙවර තරගාවලියේදී දෙවැනි වටය අවසානයේ ‘ඩයලොග් සුපිරි වටය’ ලෙස සති දෙකක තරගාවලියක් පැවැත්වේ.

එම සුපිරි වටයේ තරග සඳහා දෙවැනි වටය අවසානයේ පෙරමුණේ සිටින කණ්ඩායම් හතර ‘කුසලාන’ ශූරතාව සඳහා තරග වදින අතර, පහළ කණ්ඩායම් හතර ‘පළඟ’ ශූරතාව වෙනුවෙන් තරග වදියි.  මෙවර තරගාවලියේදී කණ්ඩායමක 23 දෙනා අතරට එක් විදෙස් ක්‍රීඩකයකු පමණක් ඇතුළත් කළ හැකි බවට සංවිධායකයන් තීරණය කර තිබේ.

මෙවර පළමු අදියර යටතේ මහනුවර, හැව්ලොක්ස්, නාවික හමුදාව, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී., ‍පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව සහ සී.එච්. යන කණ්ඩායම් 8 තරග වදියි.

තරගාවලිය ආරම්භ කරමින් ලබන 9දා පස්වරු 4.00ට ‍පොලීසිය සහ නාවික හමුදාව තරග වදින අතර, එදිනම පස්වරු 6.30ට හැව්ලොක්ස් පිටියේදී යුද හමුදාව සහ හැව්ලොක්ස් අතර තරගය පැවැත්වේ.  පසුගියදා පැවැති තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න, උප සභාපති රිස්වි ඉල්ලියාස් සහ ඩයලොග් සමාගමේ සාමාන්‍යාධිකාරී (සන්නාම සහ මාධ්‍යය) හර්ෂ සමරනායක යන මහත්වරුන් එක්ව සිටියහ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.