lakbima.lk

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පොළොන්නරුවේදී ඇරඹේ

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සුවිශාලතම ක්‍රීඩා උළෙල ලෙස වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ 44 වැන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11දා) පස්වරු. 2.30ට ‍පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ කෙරේ.  ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් අද සිට සිව්දිනක් පුරා  (11, 12, 13, 14) පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙ‍ලේ තිළිණ ප්‍රදානෝත්සවය 14දා ප.ව. 3.30ට ආරම්භ කෙරේ.

ජවන හා පිටිය තරග ඉසව් 38කින් සැදුම්ලත් මලල ක්‍රීඩා තරග සඳහා පළාත් 9ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1543ක් සහ නිලධාරීන් 443 දෙනකු මෙවර ක්‍රීඩා උළෙලට සහභාගි වෙති. මෙවර මලල ක්‍රීඩා තරගාවලියට සමගාමීව දැල්පන්දු (කාන්තා), බොක්සිං (පිරිමි සහ කාන්තා), කායවර්ධන (පිරිමි) සහ කබඩි (පිරිමි සහ කාන්තා) තරගද ‍පොළොන්නරුවේදී පැවැත්වීමට පියවර ගෙන තිබේ.  රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස සහ දිස්ත්‍රික් මට්ටමින් පවත්වන ලද තරග ආශ්‍රිතව ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තම පළාත නියෝජනය කරමින් ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී වන අතර, ජාත්‍යන්තර පදක්කම්ලාභීන් රැසක්ද ඒ අතර වෙති.

මෙවර ක්‍රීඩා උළෙලෙහි ආරම්භය සටහන් කරමින් ඔලිම්පික් පහන දැල්වීම 2013 වසරේදී ආසියානු ක්‍රීඩා උළෙ‍ලේදී මීටර් 400*4 ලෝකඩ පදක්කම දිනාගත් කණ්ඩායමේ සාමාජිකයකු වන කසුන් කල්හාර සෙනෙවිරත්න සහ 2001 වසරේදී පස්වන ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් කණ්ඩායමේ සාමාජිකාවක් වූ ඒ.ජී.එල්. ප්‍රියංගිකා විසින් සිදුකරනු ලබති.

මෙවර ක්‍රීඩා උළෙලට අයත් බැඩ්මින්ටන්, පැසිපන්දු, වෙරළ කබඩි, වෙරළ වොලිබෝල්, කැරම්, චෙස්, ක්‍රිකට්, එල්‍ලේ, පාපැදි, ජිම්නාස්ටික්, පාපන්දු, හෑන්ඩ් බෝල්, ජූඩෝ, හොකී, කරාතේ දෝ, මැරතන්, රග්බි, තරග ඇවිදීම, පිහිනුම්, මේස පන්දු, කඹ ඇදීම, ටයිකොන්ඩෝ, වොලිබෝල්, තුන් ප්‍රයාම, බර ඉසිලීම, මල්ලව‍පොර, වූෂූ යන තරග මේ වන විට පවත්වා අවසන් කර තිබේ.

මෙවර ක්‍රීඩා උළෙ‍ලේ මලල ක්‍රීඩා තරග 12 වැනි සිකුරාදා ආරම්භ කෙරෙන අතර, එදින අවසන් තරග ඉසව් 12ක් පැවැත්වේ. 13 වැනි සෙනසුරාදා අවසන් තරග ඉසව් 10ක් පැවැත්වෙන අතර, ක්‍රීඩා උළෙ‍ලේ අවසන් දිනය වන 14 වැනි ඉරිදා අවසන් තරග ඉසව් 16ක් පැවැත්වේ.  අවුරුදු 46ක දීර්ඟ ඉතිහාසයකට හිමිකම් කියන ජාතික මහා ක්‍රීඩා  උළෙලක් ‍පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වෙයි. මීට පෙර 2009 වසරේදී පළමු වරට ‍පොළොන්නරුවේදී ජාතික මහා ක්‍රීඩා උළෙලක් පවත්වා තිබේ.

පසුගිය වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙල මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී පවත්වන ලද අතර, එහිදී සමස්ත ශූරතාව සුපුරුදු පරිදි බස්නාහිර පළාත දිනා ගත්තේය. එහි දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඩී.ඒ.ජී.ජේ.පී. විමලසිරි (දුර පැනීම - මීටර් 7.83) ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස එච්.ජී, විදූෂා ලක්ෂානි (තුන් පිම්ම - මීටර් 13.32) තිළිණ ලැබූහ.

සපුමල් වීදිය බණ්ඩාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.