lakbima.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතාවට මූල්‍ය ප්‍රධානියා අනිවාර්ය නිවාඩු යවයි

පසුගිය සතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවට සම්බන්ධ නිලධාරියා අනිවාර්ය නිවාඩු යැවූ බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ‍ලේකම්, ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරී කමල් පත්මසිරි මහතා සඳහන් කළේය.
මූල්‍ය අක්‍රමිකතාවට සම්බන්ධ කිසිදු පුද්ගලයකු වසං නොකරන බවත්, මේ පිළිබඳව සී.අයි.ඩී. පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, ක්‍රිකට් ආයතනයෙන්ද විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඊයේ (13දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී කමල් පත්මසිරි මහතා පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප්‍රධානියාගේ විද්‍යුත් තැපැල් ගිණුම හරහා (ඊ මේල්) මීට සම්බන්ධ තොරතුරු හුවමාරු වී ඇති බැවින් ඔහුගේ වැඩ තහනම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මෙහිදී සඳහන් කළේය.
මාධ්‍ය මගින් නැගූ පැනයකට පිළිතුරු දුන් ඈෂ්ලි ද සිල්වා මහතා පැවැසුවේ දැන්වීම් පළකර, ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය කමිටුවේ නිසි පරීක්ෂණයන්ට භාජනය කර නිසි ක්‍රමවේදයට එම නිලධාරියා මීට වසරකට පමණ පෙර බඳවා ගත් බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී විකාශන අයිතිය සම්බන්ධ මෙම මූල්‍ය වංචාව පිළිබඳව ක්‍රිකට් ආයතනයේ දැනට සම්බන්ධතා නොමැති ස්වාධීන පිළිගත් විගණන ආයතනයක් මගින් පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවැසූ බව ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශය මගින් අදාළ විදෙස් රූපවාහිනී විකාශන ආයතනය වෙත නිකුත් කළ පළමු ඉන්වොයිසියට අදාළ පිළිතුරු තමන්ට ලැබුණද, දෙවැනි සහ තෙවැනි අවස්ථාවන්වල තොරතුරු තමන්ගෙන් වසංකර නිකුත් කර ඇති බව ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේය.
දෙවැනි සහ තෙවැනි අවස්ථාවන් වල ඊමේල් තමන්ට නොලැබුණද එම රූපවාහිනී විකාශන ආයතනයට තමන්ගේ ගිණුමට සාමන වෙනත් ගිණුමක්  ව්‍යාජ ලෙස සකස්කර භාවිතා කර තිබෙන බවත් මෙම ව්‍යාජ ඊමේල් වලට මූල්‍ය අංශයේ තවත් නිලධාරීන් තිදෙනෙකුගේ අත්සන් ව්‍යාජ ලෙස යොදාගෙන ඇති බවද ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තොරතුරු තාක්ෂණ කළමනාකරු නදීෂන් සූරියආරච්චි මහතා සඳහන් කළේ පිටස්තර පුද්ගලයකු ක්‍රිකට් ආයතනයේ තොරතුරු තාක්ෂණ අංශය ‘හැක්’ කර නොමැති බවත්, මෙම ආයතන පද්ධතිය තුළින්ම අදාළ ඊමේල් පණිවුඩ පිටවී ගොස් ඇති බවට සාක්ෂි තිබෙන බවත් සඳහන් කළේය.
මේ මස 4දා නිවැරදි ඉන්වොයිස් එක නිකුත් කර ඇති බවත්, වැරදි ඉන්වොයිස් එක 5 වැනිදා පිටවී ඇති බවත්, 6දා එය හසුකර ගැනීමට හැකිවූ බවත් පැවැසූ ඈෂ්ලි ද සිල්වා මහතා මීට අදාළ ගිණුම හොංකොං රටට අදාළ ගිණුමක් බවත් සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළ ඊමේල් පණිවුඩවලට අත්සන් කර ඇති සෑම නිලධාරියකුගෙන්ම ප්‍රකාශ සටහන්කරගත් බවත්, අදාළ අංශයට සීල් තැබූ බවත්, සෑම නිලධාරියකුගේම ඊමේල් පණිවුඩ පරීක්ෂා කළ බවත් නිසි බලධාරී කමල් පත්මසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් නිලධාරී ජෙරොම් ජයරත්න මහතාද සහභාගි විය.

ප්‍රභාත් විදානපතිරණ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.