lakbima.lk

ශ්‍රී ලංකා-හොංකොං අවසන් පූර්ව සටන හෙට

සිංගප්පූරුවේ පැවැත්වෙන 11 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ දෙවැනි වටය යටතේ ශ්‍රී ලංකාව සහ හොංකොං අතර පැවැති තරගයෙන් ලකුණු 71-48ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ පිට පිටම වාර්තා කළ 5 වැනි ජයග්‍රහණය මෙය වන අතර, තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවටද පත්වී සිටියි.
මේ අනුව “ඊ’ කාණ්ඩය යටතේ සුපිරි කණ්ඩායම් 4 අතර පැවැති දෙවැනි වටයේ තරගවලදී සහභාගි වූ තරග තුනම ජය ගත් ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.
එම කාණ්ඩයේ සහභාගි වූ තරග 3න් තරග 2ක් පරාජයට පත්ව සිව්වැනි ස්ථානයට පත්වූ හොංකොං සමගින් ශ්‍රී ලංකාව හෙට (8දා) අවසන් පූර්ව තරගයට සහභාගි වෙයි.
දෙවැනි වටයේදී පසුගිය ආසියානු ශූරියන් වන මලයාසියාව සහ තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායමක් වන සිංගප්පූරුව පරාජය කර සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ යහපත් මානසිකත්වයකින් ඊයේ තරග බිමට පිවිසී සිටි අතර, මෙවර තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම වන සිංගප්පූරුවට එරෙහිව ලකුණු 50-49ක තියුණු ජයක් වාර්තා කළ හොංකොංද ජයග්‍රාහී මානසිකත්වයකින් ඊයේ සටනට අවතීර්ණ විය.
එහෙත් ඊයේ හොංකොංට එරෙහි තරගයේදී සිය කණ්ඩායමේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ අත්දැකීම් සහ පළපුරුද්ද සාර්ථකව ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු කාර්තුව ලකුණු 18-13ක් ලෙස පෙරමුණ ගත් අතර, දෙවැනි කාර්තුවද ලකුණු 21-12ක් ලෙස පෙරමුණ ගනිමින් තරගයේ වාසිය තමන් සතුකර ගත්හ.
තෙවැනි කාර්තුව ලකුණු 15-10ක් ලෙස ජයගත් ශ්‍රී ලංකාව සිව්වැනි කාර්තුවද ලකුණු 17-13ක් ලෙස ජය ගනිමින් සිය අපරාජිත වාර්තාව තවදුරටත් රැක ගැනීමට සමත් විය.
ඊයේ තරගයේ පළමු කාර්තු දෙක කිසිදු ක්‍රීඩිකා ආදේශනයක් නොමැතිව ශ්‍රී ලංකාව තරග කර තිබිම කැපී පෙනෙයි.
එහිදී තර්ජනී සිවලිංගම් (ට්ඉ), හසිතා මෙන්ඩිස් (ට්ඒ), දුලංගි වන්නිතිලක (එඒ), ගයංජලී අමරවංශ (ඛි) නෞජලී රාජපක්ෂ (එච්), චතුරංගි ජයසූරිය (ට්ච්), ගයනි දිසානායක (ට්ම්) ලෙස පළමු කාර්තු දෙකෙහිම ආදේශන නොමැතිව ක්‍රීඩා කර තිබේ.
තෙවැනි කාර්තුවේදී ගයංජලී වෙනුවට තිළිණි වත්තේ ගෙදර පමණක් ආදේශ කර ඇති අතර, සිව්වෙනි කාර්තුවේදී නෞජලී වෙනුවට සුරේකා කුමාරි අදේශ කර තිබේ.
මේ අතර මලයාසියාව සහ සිංගප්පූරුව අතර ඊයේ (6දා) පැවැති දෙවැනි වටයේ තරගයෙන් ලකුණු 56-55ක තියුණු ජයක් වාර්තා කිරීමට සිංගප්පූරුව සමත් විය.
මේ අනුව ‘ඊ’ කණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගත් මලයාසියාව සහ තෙවැනි ස්ථානය දිනාගත් සිංගප්පූරුව හෙට අවසන් පූර්ව තරගයට සහභාගි වෙයි.
අද (7දා) තරගාවලියේ විවේකී දිනයක් වන අතර, 9 වැනි ඉරිදා අවසන් මහා තරගය සහ ශ්‍රේණිගත තරග පැවැත්වේ.

(ශිරන්ති)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.