lakbima.lk

ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ සමස්ත ශූරතාව චීනයට

ඉන්දුනීසියාවේ ජකාර්තාහිදී ඊයේ නිමාවට පත්වූ 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙ‍ලේදී රන් පදක්කම් 132ක්, රිදී 92ක් සහ ලෝකඩ 65ක් දිනාගත් චීනය සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් විය.  දෙවැනි ස්ථාන ජපානය හිමිකරගත් අතර, දකුණු කොරියාව තෙවැනි ස්ථානය දිනා ගත්තේය. දකුණු ආසියානු රටක් වන අසල්වාසී ඉන්දියාව 8 වැනි ස්ථානයට පත් විය.

මෙවර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිස් අතින්ම ආපසු සියරට බලා පැමිණීමට සිදුවීම කනගාටුදායක සිදුවීමක් විය. ක්‍රීඩා 28ක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 173 දෙනකු සමගින් පුහුණුකරුවන් සහ නිලධාරීන් 78කට ආසන්න පිරිසක් තරගාවලියට එක් වුවද, අවසන් තරග ඉසව් සඳහා සහභාගි වීමට හැකිවූයේද ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකුට පමණි.

ශ්‍රී ලංකාවේ අවසන් පදක්කම් බලා‍පොරොත්තුව වූ පිරිමි සත් සාමාජික රග්බි කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී ප්‍රබල ජපානයට තියුණු සටනක් ලබා දෙමින් ලකුණු 12-10ක පරාජයක් ලැබුවද ලෝකඩ පදක්කම සඳහා පැවැති තරගයේදී දකුණු කොරියාව හමුවේ ලකුණු 36-14ක අන්ත පරාජයක් ලැබිය.

ක්‍රීඩා උළෙ‍ලේ අවසන් දිනය වූ ඊයේ (2දා) පිරිමි තුන් ප්‍රයාම තරගයට සහභාගි වූ ලක්රුවන් දේවා ක්‍රීඩකයන් 34 දෙනකු අතරින් 24 වැන්නා බවට පත්විය. දින 15ක් පුරා පැවැති මෙවර ක්‍රීඩා උළෙල ඊයේ උත්සවශ්‍රීයෙන් නිමාවට පත්වූ අතර, මීළඟ 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල 2022 වසරේදී චීනයේදී පැවැත්වේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.