lakbima.lk

ශ්‍රී ලංකා රග්බි පිල ප්‍රබල දකුණු කොරියාවට සටනක් දී පරදියි

ඉන්දුනීසියාවේ ජකාර්තාහි පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙ‍ලේදී ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල සහභාගි වූ දෙවැනි තරගයේදී ප්‍රබල දකුණු කොරියාවට තියුණු සටනක් ලබා දෙමින්  ලකුණු 31-26ක පරාජයක් ලැබිය.මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු පළමු තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 68-0ක ජයක් වාර්තා කළේය.
ශ්‍රී ලංකා-දකුණු කොරියා අතර තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 17-7ක් ලෙස දකුණු කොරියාව පෙරමුණේ පසුවිය.මෙම තරගයේදී ශ්‍රී ලංකාව ගෝල 3ක් සහ එක් උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස් කළ අතර, ජයග්‍රාහී දකුණු කොරියාව ගෝල 3ක් සහ උත්සාහක දිනුම් 2ක් මගින් ලකුණු රැස් කළේය.
ශ්‍රී ලංකා-එමීර් රාජ්‍ය අතර තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 28-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවිය.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව ගෝල 9ක් සහ එක් උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස් කළේය.
මේ අනුව ශ්‍රී ලංකාව සහභාගි වන මූලික වටයේ අවසන් තරගය අද (31දා) ඇෆ්ගනිස්ථානය සමගින් පැවැවේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සහභාගි වූ අවසන් තරග ඉසව්ව වන පිරිමි මීටර් 4*400 අවසන් තරගයේදී මිනිත්තු 3.02.74 කාලයක් වාර්තා කරමින් සිව්වැනි ස්ථානයට පත් විය.
මෙහි රන් පදක්කම ආසියානු වාර්තාවක් සමගින් කටාර් රාජ්‍යය (මි. 3.00.56) දිනාගත් අතර, රිදී පදක්කම ඉන්දියාවටද (මි. 3.01.85), ලෝකඩ පදක්කම ජපානයටද (මි. 3.01.94) හිමිවිය.
අරුණ දර්ශන, අජිත් ප්‍රේමකුමාර, පසිඳු කොඩිකාර සහ කාලිංග කුමාරගේ සහභාගි වූ මෙම ඉසව්වේ මූලික වටයේ දෙවැනි තරගයේදී මිනිත්තු 3.06.66ක කාලයක් වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්හ.
මේසපන්දු තරගාවලියේ පිරිමි කේවල 64 වටයට ක්‍රීඩා කළ උදය රණසිංහ වට 4-1කින් ලාඕසයේ ක්‍රීඩකයා හමුවේ පරාජයට පත්වූ අතර, කාන්තා 64 වටයට ක්‍රීඩා කළ ඉෂාර මධුරංගි වට 4-0කින් පාකිස්තානු ක්‍රීඩිකාව පරාජයට පත් කරමින් 32 වටයට සුදුසුකම් ලබා ගත්තේය. එම තරගයේදී ඉෂාරා චීන ක්‍රීඩිකාව හමුවේ තරග වට 4-0ක පරාජයක් ලැබුවාය.
උදය රණසිංහ සහ ඉෂාරා මධුරංගි මේසපන්දු මිශ්‍ර යුගළ තරගයේදී තායිලන්ත යුගළය හමුවේ තරග වට 3-0කින් පරාජයට පත්වූහ.
කිලෝ ග්‍රෑම් 73ට අඩු බර පන්තිය යටතේ ජූඩෝ මූලික වටයේ තරගයට සහභාගි වූ චාමර නුවන් ධර්මවර්ධන කිරිගිස්ථාන ක්‍රීඩකයා හමුවේ පරාජයට පත්වූ අතර, කිලෝ ග්‍රෑම් 81ට අඩු බර පන්තිය යටතේ තරග වැදුණු රජිත පුෂ්පකුමාර ඉදියානු ක්‍රීඩකයා හමුවේ පරාජයට පත්විය.
පිරිමි වොලිබෝල් 13-16 ස්ථාන සඳහා තරග වැදුණු ශ්‍රී ලංකාව නේපාලයට එරෙහිව තරග වට 3-1ක ජයක් වාර්තා කරමින් 13-14 ස්ථානයන් සඳහා තරග වැදීමට සුදුසුකම් ලබා ගත්තේය.
එම තරගය අද (31දා) වියට්නාමය සමග පැවැත්වේ.
පිරිමි හොකී 7-8 ස්ථානයන් සඳහා තරග වැදුණු ශ්‍රී ලංකාව ඕමානය හමුවේ ගෝල 5-2 පරාජක් ලැබිම හේතුවෙන් ශ්‍රී ලංකාවට 8 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.