lakbima.lk

චීනය රන් පදක්කම් 100 ඉක්මවයි

ඉන්දුනීසියාවේ ජකාර්තාහි පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ 11 වැනි දිනය වන විට රන් පදක්කම් ශතකයක් වාර්තා කරමින් සිය ක්‍රීඩා ආධිපත්‍ය පෙන්වීමට චීනය සමත් වී සිටියි. ඊයේ පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විට චීනය රන් පදක්කම් 100ක්, රිදී පදක්කම් 65ක් සහ ලෝකඩ පදක්කම් 48ක් දිනාගෙන සිටියේය.  තරගාවලිය ආරම්භයේ සිටම පෙරමුණ ගෙන සිටි චීනය මේ වන විට කිසිවකුට ළඟා විය නොහැකි පරතරයක් පවත්වා ගනිමින් ආසියානු ශූරයන් බවට පත්වී සිටියි.

දකුණු ආසියාතික රටවල් අතරින් අසල්වාසී ඉන්දියාව 8 වැන්නා ලෙස රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 19ක් සහ ලෝකඩ පදක්කම් 22ක් දිනාගෙන සිටියි. මේ වන විට රටවල් 36ක් කුමන හෝ පදක්කමක් දිනාගෙන සිටින අතර, අසල්වාසී පාකිස්තානය ලෝකඩ පදක්කම් 3ක්ද, ඇෆ්ගනිස්ථානය ලෝකඩ පදක්කම් 2ක්ද දිනාගෙන සිටියි.

ක්‍රීඩා උළෙ‍ලේ අවසන් අදියරට පැමිණෙමින් තිබුණද ශ්‍රී ලංකාවට මතෛක් කිසිදු පදක්කමක් දිනා ගැනීමට හැකිවී නොමැත. ශ්‍රී ලංකාවේ පදක්කම් බලා‍පොරොත්තුවක් වන පිරිමි මීටර් 4*400 සහාය දිවීමේ තරගය ඊයේ පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විටත් ආරම්භ වී නොතිබුණු අතර, ශ්‍රී ලංකා සත් සාමාජික පිරිමි රග්බි කණ්ඩායම අද (30දා) තරග බිමට පිවිසෙයි.

ශ්‍රී ලංකාවේ අවසන් පදක්කම් බලා‍පොරොත්තුව වන පිරිමි සත් සාමාජික රග්බි කණ්ඩායම අද මූලික වටයේ තරග දෙකකට සහභාගි වෙයි. කණ්ඩායම් 12ක් කාණ්ඩ 3ක් යටතේ රග්බි තරගාවලිය පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව ‘සී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි. ‘සී’ කාණ්ඩයට ශ්‍රී ලංකාව සමගින් දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇෆ්ගනිස්ථානය ඇතුළත් වී සිටියි.

ශ්‍රී ලංකාව අද එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග සිය පළමු තරගයට සහභාගි වන අතර, දකුණු කොරියව සමග දෙවැනි තරගයට සහභාගි වෙයි. ශ්‍රී ලංකාව මූලික වටයේ සහභාගි වන තෙවැනි තරගය හෙට (31දා) ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වේ. මීට අමතරව ශ්‍රී ලංකා පිරිමි හොකී පිල අද 7 වැනි ස්ථානය වෙනුවෙන් ඕමානය සමගින් තරග බිමට පිවිසෙයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.