lakbima.lk

ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

සිංගප්පූරුවේ පැවැත්වෙන 11 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල ඊයේ (29දා) ලක්බිමෙන් පිටත්ව ගියේය. මෙවර ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය රටවල් 12කගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 1දා සිට 9දා දක්වා පැවැත්වේ.  තිලකා ජිනදාස මෙනවියගේ පුහුණුකාරිත්වයෙන් සිංග්පූරුව බලා ගිය ශ්‍රී ලංකා පි‍ලේ නායිකාව ලෙස චතුරංගනී ජයසූරිය කටයුතු කරයි.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වන අතර, ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා තර්ජනී සිවලිංගම්ගේ සහභාගි වන 5 වැනි ආසියානු ශූරතා තරගාවලියද වෙයි.

වර්ෂ 2009 පැවැති ආසියානු ශූරතාවයෙන් පසු ශ්‍රී ලංකාව මතෛක් ආසියානු ශූරතාව දිනාගැනීමට සමත් වී නොමැත. එහෙයින් වසර 9කට පසු ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගැනීමේ බලා‍පොරොත්තුවෙන් මෙවර තරගාවලියට තරගවදින බව පුහුණුකාරිනී තිලකා ජිනදාස ‘ලක්බිමට’ සඳහන් කළාය. “අපේ එකම බලා‍පොරොත්තුව ආසියානු ශූරතාව දිනා ගැනීම. මේ කණ්ඩායමට එය ඉටුකර ගැනීමේ හැකියාව තිබෙනවා.” යැයි තිලකා ජිනදාස මෙනවිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙවර ආසියානු ශූරතාව දිනා ගන්නා කණ්ඩායම එළැඹෙන ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලබන බැවින් තරගාවලිය ඉතා තියුණු මුහුණුවරක් ඉසුලනු ඇත.

මෙවර ආසියානු ශූරතාවට එක්ව සිටින කණ්ඩායම් 12 කාණ්ඩ 4ක් යටතේ තරග වදින අතර, අවසන් මහ තරගය සැප්තැම්බර් 9දා පැවැත්වේ. ශ්‍රී ලංකාව ‘බි’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර, චීන තායිපේ සහ ඉන්දියාවද එම කාණ්ඩයට ඇතුළත් වෙයි. මේ අනුව ශ්‍රී ලංකාව සැප්තැම්බර් 1දා චීන තායිපේ සමග පළමු තරගයට සහභාගි වන අතර, සැප්තැම්බර් 2දා ඉන්දියාව සමගින් තරග බිමට පිවිසෙයි.

සැප්තැම්බර් 4 සහ 5දා දෙවන වටයේ තරග පැවැත්වෙන අතර, සැප්තැම්බර් 8දා අර්ධ අවසන් තරග සහ ශ්‍රේණිගත තරග පැවැත්වේ. පසුගිය 10 වැනි ආසියානු ශූරතාවයේදී ශ්‍රී ලංකාව අනුශූරියන් බවට පත්වූ අතර, මලයාසියාව ශූරතාව දිනා ගත්තේය. මතෛක් පැවැති ආසියානු ශූරතා තරගාවලින්හිදී ශ්‍රී ලංකාව සිව්වරක් ශූරතාව දිනාගෙන ඇති අතර, සිංගප්පූරුව තෙවරක්ද, මලයාසියාව දෙවරක්ද, හොංකොං එක් වරක්ද ශූරතාව දිනාගෙන තිබේ.

‘ඒ’ කාණ්ඩය :- මලයාසියාව, ජපානය, මාලදිවයින

‘බි’ කාණ්ඩය :- ශ්‍රී ලංකාව, චීන තායිපේ, ඉන්දියාව

‘සී. කාණ්ඩය :- සිංගප්පූරුව, බෘෘනායි, පාකිස්තානය

‘ඩී’ කාණ්ඩය :- හොංකොං, තායිලන්තය, පිලිපීනය

ශ්‍රී ලංකාවේ තරග සටහන

සැප්. 1දා - ශ්‍රී ලංකාව සහ චීන තායිපේ අතර

සැප්. 2දා - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර

සැප්. 4-5දා - දෙවැනි වටයේ තරග

සැප්. 8දා - අර්ධ අවසන් පූර්ව තරග සහ ශ්‍රේණිගත තරග

සැප්. 9දා - අවසන් මහ තරගය

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම

චතුරංගනී ජයසූරිය (නායිකාව), දර්ශිකා අභයවික්‍රම (උප නායිකාව), තර්ජනී සිවලිංගම්, ගයනි දිසානායක, හසිතා මෙන්ඩිස්, එලින්තනී සෙත්තුකවලර්, දුලංගා ධනංජි, ගයන්ජලී අමරවංශ, නෞජලී රාජපක්ෂ, තිළිණි වත්තේගදෙර, දුලංගි වන්නිතිලක, සුරේකා කුමාරි, තිලකා ජිනදාස (පුහුණුකාරිනිය), ට්‍රික්සි නානායක්කාර (කණ්ඩායම් ප්‍රධානී), වෛද්‍ය ලාල් ඒකනායක (කණ්ඩායම් වෛද්‍ය නිලධාරී), තනුජා දිසානායක (කළමනාකාරිනී)

ශිරන්ති ගුණසේකර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.