lakbima.lk

පිරිමි වෙරළ වොලිබෝල් පිල දකුණු කොරියාව පරාජය කරයි

ඉන්දුනීසියාවේ ජකාර්තාහි පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙ‍ලේදී ශ්‍රී ලංකා පිරිමි වෙරළ වොලිබෝල් කණ්ඩායම දකුණු කොරියාවට එරෙහිව තරග වට 2-0ක ජයක් වාර්තා කිරීමට සමත් විය.
පළමු තරගයෙන් කසකස්තානය හමුවේ තරග වට 2-0ක පරාජයක් ලබා සිටි ශ්‍රී ලංකා පිරිමි වෙරළ වොලිබෝල් පිල 23දා කටාර් රාජ්‍යය සමග සිය තෙවැනි තරගයට සහභාගි වෙයි.
පිරිමි වූෂු තරගාවලියේ කිලෝ ග්‍රෑම් 60 බර පන්තියේ සන්දා තරග ඉසව්වේ 16 වටයේදී ශ්‍රී ලංකාවේ පැතුම් නුවන් බලවර්ධන ලාඕසයේ ක්‍රීඩකයාව තරග වට 2-0කින් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
වියට්නාම ක්‍රීඩකයා සමග පැවැති එම අර්ධ අවසන් පූර්ව තරගය ඊයේ රාත්‍රී පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විටත් ආරම්භ වී නොතිබිණි.
මූලික වටයේ තරග දෙකක් ජයගෙන ඊයේ ඉන්දියාව සමග තීරණාත්මක තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කබඩි පිල ලකුණු 38-12ක පරාජයක් ලැබිම හේතුවෙන් අවසන් පූර්ව වටයට පිවිසීමේ බලා‍පොරොත්තු ඈත්වී ගියේය.
මෙම තරගාවලියේ සෙසු කණ්ඩායම් වල ජය පරාජයන් අනුව ශ්‍රී ලංකා කාන්තා කබඩි පිල අවසන් පූර්ව වටයට පිවිසීම තීරණය කෙරෙනු ඇත.
ශ්‍රී ලංකා පිරිමි කබඩි පිල ඊයේ බංග්ලාදේශය සමග තරග වැදුණු අතර, එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 29-25ක පරාජයක් ලැබිය.
ශ්‍රී ලංකාවේ පිහිනුම් ශූර මැතිව් අබේසිංහ ඊයේ පිරිමි මීටර් 200 නිදහස් ආර තෙවැනි මූලික වටයේදී 6 වැනි ස්ථානයට (මි. 1.50.97) පත්වූ අතර, එම තරග ඉසව්වේම දෙවැනි මූලික වටයේදී හරේන් නුගවෙල ප්‍රථම ස්ථානය (මි. 1.56.01) දිනා ගත්තද සමස්ත කාල ගණනය කිරීම් අනුව ඉදිරියට යාමට අ‍පොහොසත් විය.
 මෙම ඉසව්වට සහභාගි වූ ක්‍රීඩකයන්ගේ සමස්ත කාල ගණනය කිරීම් අනුව මැතිව් අබේසිංහ 12 වැනි ස්ථානයට පත්වූ අතර, හරේන් නුගවෙල 26 වැනි ස්ථානයට පත්විය.
මැතිව් අබේසිංහ (තත්. 22.8.8) සහ ඔහුගේ සොයුරු කයිල් අබේසිංහ (තත්. 23.3.6) මීටර් 50 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ සමස්ත කාල ගණනය කරීම් අනුව 12 වැනි සහ 21 වැනි ස්ථානයන්ට පත්වූහ.
පිරිමි පැසිපන්දු 3*3 පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම චීනය හමුවේ ලකුණු 21-14ක පරාජයක් ලැබූ අතර, දෙවැනි තරගයේදී තායිලන්තය හමුවේ ලකුණු 20-10ක පරාජක් ලැබිය.
පිරිමි කිලෝ ග්‍රෑම් 62 බර පන්තියේ බර ඉසිලීමේ තරගයට සහභාගි වූ තිලංග විරාජ් පළඟසිංහ කිලෝ ග්‍රෑම් 122ක ආරම්භක බර ප්‍රමාණය එසවීමට අවස්ථා තුනෙහිදීම නොහැකි වීමෙන් තරගයෙන් ඉවත් විය.
කිලෝ ග්‍රෑම් 53 බර පන්තියේ කාන්තා බර ඉසිලීමේ තරගයට සහභාගි වූ චමරි වර්ණකුලසූරිය කිලෝග්‍රෑම් 169ක මුළු බර එකතුවක් (ස්නැච් 73යි-ක්ලීන් ඇන්ඩ් ජර්ක් 96යි) සටහන් කර ගනිමින් 10වැනි ස්ථානයට පත්වූවාය.
රනුරි වික්‍රමසිංහ කිලෝ ග්‍රෑම් 67 බර පන්තියේ කාන්තා තයිකොන්ඩෝ ඉසව්වට සහභාගි නොවීම හේතුවෙන් කොලොම්බියානු ක්‍රීඩිකාවට නිතරග ජයක් හිමිවූ අතර, කිලෝ ග්‍රෑම් 80 බර පන්තියේ පිරිමි තරගයට සහභාගි වූ එස්.බි.ඩී. ප්‍රනාන්දු ඉන්දීය ක්‍රීඩකයා හමුවේ ලකුණ 13-8ක පරාජයක් ලැබිය.
පිරිමි දුන්නෙන් විදීමේ ශ්‍රේණිගත වටයේ තරගයට සහභාගි වූ සජීව ද සිල්වා ලකුණු 613ක් හිමිකර ගනිමින් ක්‍රීඩකයන් 79ක් අතරින් 64 වැනි ස්ථානයට පත්විය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.