lakbima.lk

18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල හෙට ජකාර්තාහිදී ඇරඹෙයි

18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජකාර්තා සහ සුමාත්‍රා දූපත්හිදී හෙට (18දා) ආරම්භ කෙරේ.
පලම්බෑන්ග් නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 2දා දක්වා පැවැත්වේ.
ආසියානු කලාපයේ රටවල් 45ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙ‍ලේදී ක්‍රීඩා 40ක ඉසව් 465ක් පැවැත්වේ.
මෙවර ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 135ක් සහ ක්‍රීඩිකාවන් 43ක් සමගින් පුහුණුකරුවන් සහ නිලධාරීන් 78 දෙනකු සහභාගි වෙති.
ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකා පිරිසක් මෙවර සහභාගි වන අතර, වැඩිම ක්‍රීඩා ඉසව් ප්‍රමාණයකට සහභාගි වන පළමු අවස්ථාවද මෙය වෙයි.
මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩා 30ක් සඳහා පදක්කම් සටනට පිවීසී සිටිති.
පසුගිය 2014 වසරේ දකුණු කොරියාවේ ඉන්චොන්හිදී පැවැති 17 වැනි ආසියානු ක්‍රීඩා උළෙ‍ලේදී ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් රන් සහ ලෝකඩ පදක්කම් දිනාගත් අතර, මෙවර ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වී නොමැත.
ඉන්චොන්හිදී ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් පිල රන් පදක්කම දිනා ගත් අතර, කාන්තා ක්‍රිකට් පිල ලෝකඩ පදක්කම දිනාගත් අතර, එම ක්‍රීඩා උළෙ‍ලේ ශ්‍රී ලංකාවට එම පදක්කම් දෙකෙන් පමණක් සෑහීමට පත්වන්නට සිදුවිය.
ඉන්චොන් ආසියානු ක්‍රීඩා උළෙ‍ලේදී ශ්‍රී ලංකාව 27 වැනි ස්ථානයට පත්වූ අතර, දකුණු ආසියාවේ ප්‍රබලයා වන ඉන්දියාව රන් පදක්කම් 11ක් දිනා ගනිමින් 8 වැනි ස්ථානයට පත්විය.
රන් පදක්කම් 151ක් දිනාගත් චීනය පළමු ස්ථානයත්, රන් පදක්කම් 79ක් දිනාගත් දකුණු කොරියාව දෙවැනි ස්ථානයත් දිනා ගත්තේය.
ජාතික ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් මිලියන 51කට ආසන්න මුදලක් මෙවර ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් වැය කරන බවට වාර්තා පළවන අතර, තරගාවලියට වැය වන වියදම් අඩුකර ගැනීම සඳහා මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම අදියර කිහිපයක් යටතේ ඉන්දුනීසියාවට යැවීමට සැලසුම් කර තිබේ.
මේ අනුව අදාළ තරග ඉසව් අවසන් වූ වහාම එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් යළි ශ්‍රී ලංකාවට කැඳවා ගැනීමට කටයුතු යොදා තිබේ.
මෙම ක්‍රමවේදය හේතුවෙන් සමාරම්භක උළෙලට සහ සමාප්ති උළෙලට ශ්‍රී ලංකාවෙන් අඩු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් නියෝජනය කරනු ඇත.
මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් අසනීප තත්ත්වයන් හේතුවෙන් ඖෂධ ලබා ගන්නේ නම් තරගාවලියට පිටත්ව යාමට පෙර ඒ පිළිබඳව ඔලිම්පික් කමිටුව දැනුවත් කළ යුතු බව දන්වා තිබේ.
මෙවර ආසියානු ක්‍රීඩා උළෙ‍ලේදී තහනම් උත්තේජක භාවිතාව පිළිබඳව දැඩි නීති රීති ක්‍රියාත්මක කෙරෙන අතර, ක්‍රීඩා ගම්මානය වෙත එන්නත් කටු රැගෙන යාම සහ ළඟ තබා ගැනීම සපුරා තහනම් කර තිබේ.
මෙවර වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් කබඩි කණ්ඩායම් නියෝජනය කරමින් (24) තරගාවලියට සහභාගි වන අතර, මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 8ක් සහ ක්‍රීඩිකාවන් 6ක් සහභාගි වෙති.
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා කටයුතු කරන අතර, නියෝජ්‍ය කණ්ඩායම් ප්‍රධානී ලෙස ගාමිණී ජයසිංහ මහතා සහභාගි වෙයි.
18 වැනි ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ සමාරම්භක උළෙල පැවැත්වෙන ගැලෝරා බන්ග් කාර්නෝ ක්‍රීඩාංගණයේ 76,000කට ආසන්න පිරිසකට නැරඹීමේ පහසුකම් සපයා ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම
අරුණ දර්ශන (400, 4*400), කාලිංග කුමාරගේ (මී. 400, 4*400), අජිත් ප්‍රේමකුමාර, පසිඳු කොඩිකාර, දිලිප් රුවන් (මී. 4*400), උෂාන් තිවංක (උස පැනීම), ජානක ප්‍රසාද් (දුර පැනීම), ඉඳුනිල් හේරත් (මී. 800), රුමේෂිකා රත්නායක (මී. 200), නිමාලි ලියනාරච්චි, ගයන්තිකා අබේරත්න (මී. 800), නිලානි රත්නායක (3000 බාධක), හිරුණි විජේරත්න (මී. 10,000), උපමාලි රත්නකුමාරි (මී. 400)


ප්‍රභාත් විදානපතිරණ

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.