lakbima.lk

එංගලන්ත-ක්‍රොයේෂියා අවසන් පූර්ව සටන අද

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ එංගලන්තය සහ ක්‍රොයේෂියාව අතර අවසන් පූර්ව තරගය අද (11දා) ප.ව. 11.30ට රුසියාවේ මොස්කව්හි ලුසෙන්කි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එංගලන්තය වසර 28කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසී සිටින අතර, ක්‍රොයේෂියාව වසර 20කට පසු අවසන් පූර්ව වටයට පිවිසී සිටියි.

1966 වසරේදී පළමු වරට ලෝක කුසලාන දිනාගත් එංගලන්තය 1990 වසරේදී අවසන් පූර්ව වටයට පිවිස පරාජයට පත්වීම හේතුවෙන් සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය.

එංගලන්තය මීට පෙර ලෝක කුසලාන තරගාවලි 5කදීම අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණියද ඉන් ඉදිරියට යාමට අ‍පොහොසත් වී තිබේ.

ක්‍රොයේෂියාව 1998 වසරේ ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණි අතර එහිදී ප්‍රංශය හමුවේ ගෝල 2-1ක පරාජයක් ලැබිය.

එම තරගාවලියේදී නෙදර්ලන්තය ගෝල 2-1කින් පරාජය කරමින් තෙවැනි ස්ථානය දිනාගත් ක්‍රොයේෂියාව මතෛක් ලෝක කුසලාන තරගාවලියක දැක්වූ ඉහළම දක්ෂතාව ලෙසද සටහන් වෙයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගවලදී ක්‍රොයේෂියාව දඬුවම් පහර ආශ්‍රිතව ගෝල 4-3කින් සත්කාරක රුසියාව පරාජය කරමින්ද, එංගලන්තය ගෝල 2-0කින් ස්වීඩනය පරාජය කරමින්ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

මූලික වටයේදී ‘ඩී’ කාණ්ඩයෙන් තරග වැදුණු ක්‍රොයේෂියාව සහභාගි වූ තරග තුනම ජය ගනිමින් සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් අතර, එහිදී ඩෙන්මාර්කයට එරෙහිව දඬුවම් පහර ආශ්‍රිතව ගෝල 3-2ක ජයක් ලබමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුණි.

මූලික වටයේදී ‘ජී’ කාණ්ඩයෙන් තරග වැදුණු එංගලන්තය සහභාගි වූ තරග තුනම ජය ගනිමින් සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් අතර, එහිදී කොලොම්බියාවට එරෙහිව දඬුවම් පහර ආශ්‍රිතව ගෝල 4-3ක ජයක් වාර්තා කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුණි.

ක්‍රොයේෂියාව මෙවර තරගාවලියේදී මෙතෙක් සහභාගි වූ තරග 5දී ගෝල 10ක් වාර්තා කර ඇති අතර, එංගලන්තය සහභාගි වූ තරග 5දී ගෝල 12ක් වාර්තා කර තිබේ.

එංගලන්තය වාර්තා කළ ගෝල 12න් හයකටම හිමිකම් කියන හැරී කේන් මෙවර රන් සපත්තුව දිනා ගැනීමේ සටනේ ඉදිරියෙන්ම පසුවෙයි.

ක්‍රොයේෂියාව වෙනුවෙන් ලුකා මොඩ්රික් ගෝල 2ක් වාර්තා කර ඇති අතර, ක්‍රීඩකයන් 8 දෙනකුම එක් ගෝලය බැගින් වාර්තා කර තිබේ.

ප්‍රංශය සහ බෙල්ජියම අතර අර්ධ අවසන් පූර්ව තරගය ඊයේ (10දා) පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විටත් ආරම්භ වී නොතිබුණු අතර, එහි ජයග්‍රාහකයා සහ මෙම තරගයේ ජයග්‍රාහකයා අතර පැවැත්වෙන අවසන් මහා තරගය 15 වැනි ඉරිදා පැවැත්වේ.

මෙම අවසන් පූර්ව තරග දෙකෙහි පරාජිත කණ්ඩායම් දෙක ලබන 14දා තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීම සඳහා සටන් වදියි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.