lakbima.lk

හොංකොංහි පැවැති ආසියානු යොවුන් ක්‍රීඩා උළෙ‍ලේදී ශ්‍රී ලංකාවට බලා‍පොරොත්තුවූ දස්කම් දැක්වීමට නොහැකි වුවද රට වෙනුවෙන් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත හැකිවිය.

මෙම රිදී පදක්කම් දෙක දිනාදීමේ පූර්ණ ගෞරවය නවිෂ්ක සන්දීෂ්ට හිමිවීම කාගෙත් කතා බහට ලක්විය.
මොරටුව ශා.සෙබස්තියන් විදුහ‍ලේ සිසුවකු වන නවිෂ්ක සන්දීෂ් මීටර් 400 රිදී පදක්කම මෙන්ම මිශ්‍ර සහය දිවීමේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේ අනාගතයේ තවත් ජාත්‍යන්තර පදක්කම් දිනා දෙන ක්‍රීඩකයකු පිළිබඳව ඉඟි පළ කරමිනි.

මීටර් 400 ඉසව්ව තත්.48.26 කින් නිම කරමින් ආසියාවේ ඉන්දීය ක්‍රීඩකයාට පමණක් දෙවැනිවූ නවිෂ්ක සටන්කාමී අවසානයක් සනිටුහන් කර තිබේ.

ඉන් පසු පැවැති මිශ්‍ර සහය තරගය මීටර් 1000 කින් සමන්විතවූ අතර එය මීටර් 100, මීටර් 200, මීටර් 300 සහ මීටර් 400 ක් ලෙස ධාවනය විය.

හිරුෂ හෂාන් මීටර් 100 ද මලින්ද පෙරේරා මීටර් 200 ද ඉසුරු අබේවර්ධන මීටර් 300 ද අවසන් කරන වට ශ්‍රී ලංකාව සිව්වැනි තැන බොහෝ පසුපසින් සිටියේ පදක්කම් බලා‍පොරෙත්තුව සුන්කර ගනිමිනි.

එහෙත් සුපිරි ධාවනයක නිරතවූ නවිෂ්ක ක්‍රම ක්‍රමයෙන් සෙසු ක්‍රීඩකයන් අභිභවමින් තම මීටර් 400 අවසන් කරන විට දෙවැනි ස්ථනයට පැමිණ ශ්‍රී ලංකාවට රිදී පදක්කම දිනා දෙමින් ආසියාව හමුවේ ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබාදීමට සමත් විය.

මෙම ධාවනය පිළිබඳව නවිෂ්ක අගය කරමින් ආසියානු රටවල පුවත් පත් ලිපි පළකර තිබුණේ අනාගත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තරුවක් ලෙස ඉඟි පළ කරමිනි.

මේ අතර මෙම ක්‍රීඩා උළෙ‍ලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට අමේෂා හෙට්ටිආරච්චි සමත් වූවාය.

මහනුවර විහාර මහාදේවි බාලිකාවේ සිසුවියක් වන අමේෂා සිය ඉසව්ව මි.1 තත්.01.42 කින් නිම කරමින් ආසියානු යොවුන් ක්‍රීඩා උළෙ‍ලේ පදක්කම් සටහනේ ශ්‍රී ලංකා නාමය ඔසවා තැබිමට සමත් වූවාය.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙක් සහභාගිවූ අතර හිමිවූයේ රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් පමණි.

මෙම ක්‍රීඩා උළෙ‍ලේ සමස්ත ශූරතාව දිනා ගැනීමට චීනය සමත් විය.

මංගල ධර්මප්‍රේම

ඩේවිස් කුසලාන කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග මේ දිනවල ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූල්ස්ථානයේදී පැවැත්වේ. මෙහිදී ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඊයේ (07) පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ජය අත්විය.

එහිදී වියෙට්නාමයේ ක්වෑන්ග් න්ගුයෙන් හමුවේ, ශ්‍රී ලංකාවේ ටෙහාන් විජේමාන්න පරාජය වූයේ වට 2ට 0ක් ලෙසයි. වට 2ට 0ක් ලෙස චාතූර්ය නිලවීර හමුවේ වින් ට්‍රොන්ග් පරාජය විය.

මේ අතර ඩිල්වාන් හේරත් සහ චාතුර්ය නිලවීර සමග පැවැති යුගළ තරගයෙන් වියට්නාම ක්‍රීඩකයින් දෙදෙනා පරාජය වූහ. ඒ අනුව තරග 2ට 1ක් ලෙස තරගය ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.

මෙම සුදුසුකම් ලැබීමේ තරග වටය කාණ්ඩ 4කින් ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාව එහිදී තරග කරන්නේ ඩී කාණ්ඩයෙනි.

‘IRONMAN 70.3’ ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය පසුගිය පෙබරවාරි මස 24 වන දින කොළඹ ගාලු මුවදොරදී පැවැත්වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 12 දෙනෙකු සහභාගි විය. ඒ සඳහා සහභාගි වූ නාවික හමුදා සහාය දිවිමේ කණ්ඩායම සිය සුවිශේෂි දක්ෂතාවයන් දක්වමින් එහි ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

ඒ අනුව නාවික හමුදා ජයග්‍රහකයින් ඊයේ (28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු වූ අතර, එහිදී දක්වන ලද සුවිශේෂි දක්ෂතාවය වෙනුවෙන් නාවික හමුදාධිපතිතුමා විසින් ඔවුන් ඇගයීමට ලක් කරන ලදී. තවද, එහිදි සිය සුවිශේෂි දක්ෂතාවයන් දක්වමින් ශ්‍රී ලංකාවට මෙන්ම නාවික හමුදාවට ද කීර්තිය අත්කර දීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමන්, එම ක්‍රීඩකයින් හට සිය ප්‍රශාංසාව පිරිනැමීය. 

2018 වසරේ ආසියානු දැල් පන්දු ශූරතාවලියේ ශූරතාව හිමිකර ගත්  හා ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාට සහ අංගම්පොර සටන් ශිල්පී මහන්ත ආරච්චිගේ නොයෙල් අජන්ත පෙරේරාට නව නිවාස පිරිනැමීම නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ලදී.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව, අඟුලාන, ‘සයුරුපුර’ නිවාස ව්‍යාපෘතියෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත නොමිලේ මෙම නිවාස පිරිනැමුණ අතර සියලු පහසුකම් සහිත මෙම එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් වේ.

2018 වසරේ ආසියානු දැල් පන්දු ශූරතාවලියේ ශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගෙන ඇත.  අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ පදිංචි අංගම්පොර සටන් ශිල්පී මහන්ත ආරච්චිගේ නොයෙල් අජන්ත පෙරේරා මහතා දේශයේ වියැකී යන අංගම්පොර ක්‍රීඩා කලාව ජාත්‍යන්තරයට ඔසවා තැබූ ශ්‍රී ලාංකීය එකම සටන් ක්‍රීඩකයාය.

එළැඹෙන මැයි මාසයේ සැම්බියාවේදී පැවැත්වෙන දැල්පන්දු තරගාවලියට සහභාගීවීමට නියමිත 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට ගුවන් ටිකට් පත් ලබා ගැනීම සඳහා වැයවන රුපියල් ලක්ෂ 42 කට අධික මුදල තමන් පෞද්ගලික ධානපතින්ගේ සහයෝගය ඇතිව නොමිලේ ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදි පොරොන්දු විය.

මෙම අවස්ථාවට ජලනි ප්‍රේමදාස මැතිණිය, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ශාන්ත කහවල යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.

 

 

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (Council International Military Sports) සැමරුම් මාර්ග ධාවනය - 2019 අද (18) කොළඹ ගාලු මුවදොර දී පැවැත් විය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක,  නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් නියෝජනය කරමින් විශාල පිරිසක් සහ ආබාධිත රණවිරුවන් පිරිසක් ද මෙම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවනය සඳහා සහභාගි වී සිටියහ.‘ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය’ යන ආදර්ශපාඨය පදනම් කරගනිමින් පැවැත් වූ මෙම ධාවන තරඟය කොලඹ ප්‍රදීපාගාර පරිශ්‍රය අසලින් ආරම්භ වී , ගාලු පාර ඔස්සේ ඉදිරියට ගොස් කොළඹ, ගාලු මුවදොර හෝටලය ඉදිරිපිට වට රවුමෙන් හැරී නැවත ප්‍රදීපාගාර පරිශ්‍රය අසලින් නිමාවට පත් විය. ඉන් අනතුරුව ඒ සඳහා සහභාගි වූ සියළුදෙනා හට සහතිකපත්‍ර ප්‍රදානය කිරීමක් ද සිදු කරන ලදී.

අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය 1948 පෙබරවාරි 18 වන දින ආරම්භ වූ අතර, මෙය ලෝකයේ පවතින විශාලතම සංවිධානයක් වේ. මේ වන විට වර්තමානයේ රටවල් 133 ක ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එහි සාමාජිකත්වය ලබාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවද 1996 වසරේදි එහි සාමාජිකත්වය ලබා ගෙන ඇත. ඒ අනුව අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් ශීත සෘතුවේ හා ග්‍රීස්ම සෘතුවේදි මහද්වීප මට්ටමින් සෑම වසර 04 කට වරක්ම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා තරඟාවලි පවත්වනු ලබන අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් අදාල සාමාජිකත්ව රටවල් වල ක්‍රීඩකක්‍රීඩිකාවන් සහභාගි වේ.

 

 

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Military Sports) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය 2019 පෙබරවාරි 18 වන දින මෙවරත් ගාළු මුවදොරදී පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත. ත්‍රිවිධ හමුදා නිලධාරින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විමට නියමිත අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය මෙවර ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබයි.

හමුදා පසුබිමක් සහිත පුද්ගලයින් තුළ ද ක්‍රීඩාවට ඇති නැඹුරුතාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව 2006 වසරේදි අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය ආරම්භ වූ අතර, එමඟින් ක්‍රීඩා සම්මේලන, ඔලිම්පික් කමිටු වැනි ක්‍රීඩාවන් සම්බන්ධ පාර්ශවකරුවන් සහ අනෙකුත් ජාත්‍යාන්තර සංවිධාන, සන්නද්ධ හමුදාවන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟින් ඒකාබද්ධව කටයුතු කිරීමට අවස්ථාව උදාවිය.

එමෙන්ම, 2006 වර්ෂයේදී ප්‍රථම වරට ආරම්භ වූ මෙම සුවිශේෂි ධාවනය එතැන් පටන් සෑම වර්ෂයකම පෙබරවාරි මස 18 වන දින ලොව පුරා ක්‍රියාත්මක වන අතර, සන්නද්ධ හමුදා දායකත්වයෙන් ක්‍රීඩාව තුලින් සාමය ලඟාකර ගැනීම යන උදාර ‍තේමාව යටතේ ප්‍රංශ ජාතික ස්කොඩ්රන් ලිඩර්වරයෙකු වූ හෙන්රි ඩිමෲස් මහතා ප්‍රථම වරට ජාත්‍යාන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය පිහිටුවා ඇත. එයට ප්‍රංශ, බෙල්ජියම්, නෙදර්ලන්ත, ලක්සම්බර්ග් සහ ඩෙන්මාර්ක් හමුදාවන්ගේ දායකත්වය ද ලබා ගෙන ඇති අතර, වර්ථමානයේදී අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සංවත්සරය සහ එහි සමාරම්භය සිහිගන්වනු පිණිස පැවැත්වෙන වැදගත්ම අංගය මෙම මාර්ග ධාවනය ලෙස හැඳින්විය හැක.

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සහයෝගිතා මුලධර්ම සමඟ අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක වන මෙම ධාවන තරඟය ලෝක සාමය උදෙසා කදිම දායකත්වයක් ලබා දෙන අතරම එය ලොව වටා සිටින සාමාජිකයින් අතර සම්ප්‍රදායක් බවට ද පත්වෙමින් ඇත. තවද, මේවන විට සාමාජිකයින් 83 ක් අවම වශයෙන් එක් අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනයක් හෝ පවත්වා ඇත.

මෙහි ක්‍රීඩා අංශය අතර කෙටි දුර හෝ දිගු දුර ධාවනය, ඇවිදීම සහ හිමමත ලිස්සා යාම වැනි ක්‍රීඩා අංගයන් ඇතුලත් වේ. අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ තේමාව වන ‘ක්‍රීඩාව තුලින් මිත්‍රත්වය’ යන ආදර්ශ පාඨය ලොව පුරා රටවල් 133 ක වෙසෙන හමුදා සාමාජිකයින් වෙත ලඟාකරවිම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වන අතර, ඒ අනුව ලොව පුරා වෙසෙන හමුදා සාමාජිකයින් ක්‍රීඩාවේ සහ සාමයේ නාමයෙන් මෙම දිනය සඳහා සිය දායකත්වය ලබාදේ.

 

Page 1 of 7

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.