lakbima.lk

ගාල්ල, බද්දේගම ප්‍රධාන පාරේ උළුවිටිකේ මහා විදුහල පසුකර බස්නැවතුමක් දුරින් පිහිටි තුංමං හන්දිය හරහා කොඩි දෙකක් ලෙළදෙමින් තිබුණේය. එකක් මහින්ද විදුහ‍ලේ කොඩියය. එය දමා තිබුණේ මහින්දෙ ක්‍රිකට් නායකයාගේ ගෙදරට හැරෙන හන්දිය එය වූ නිසාය. එම කොඩිය ලෙළදුන් ලයිට් කණුවේම සුදු කොඩියක්ද ඇද තිබුණේය. ඒ හන්දියේම පදිංචිකරුවෙකු වූ රිච්මන්ඩ් ආදි සිසුවෙකුගේ මළගම වෙනුවෙනි.

හුළඟට අහඹු ලෙස කොඩි දෙක එකට පැටලී තිබුණු දුටු විට බේ්‍රක් නැති මගේ කටින් පිටවූයේ මහින්දෙට දැන්ම සුදු කොඩි පෙනී ඇති බවය. මගේ කට කැඩිච්ච කතාවෙන් කෝපයට පත්වූ මහින්දෙ ප්‍රේමියක වූ මාගේ බිරිය කීවේ මහින්දෙට නොවේ රිච්මන්ඩ් එකටයි හෙට සුදු කොඩි පෙනෙන්නේ යනුවෙනි.  බිරිය කී කතාව ඇත්ත බව වැටහුණේ ගාලු පිටියෙන් ලැබෙන අසුබ ආරංචි අනුවය. ගිය සිකුරාදා සැඳෑවේ ඉර ගාලු  මුහුදේ සැඟව ගියේ රිච්මන්ඩ්වරුන්ගේ බලා‍පොරොත්තුද මුහුදේ ගිල්වමිනි.

ඔවුන්ගේ මුහුණු මැළවී තිබුණේ බැසයන හිරුගේ රතු පැහැති මළානික එළිය වැටී නොව එකසිය දාහතර වැනි වරටත් පැවැති රිච්මන්ඩ්  මහින්ද ආදරවන්තයන්ගේ සටනේදී මුලින්ම පන්දුවට පහර දුන් මහින්දේ පිතිහරඹය දරාගැනීමට නොහැකිවය. සිකුරාදා ගාලු පිටිය දෙවනත් කළ මහින්දියෝ ලකුණු එකසිය අනූහතක් රැස් කළෝය. පිතිහරඹය විතරක් මදැයි මහින්දෙ ක්‍රිකට් පිල, පන්දුවට පහර දීමට පැමිණි රිච්මන්ඩ් ක්‍රීඩකයෝ හයදෙනෙක්ද සිකුරාදා හවස වන විට ක්‍රීඩාගාරයේ නරඹන්නෝ බවට පත්කර තිබුණහ.

සිකුරාදා දවසේ තරගය අවසානයේ ලකුණු පුවරුවේ රිච්මන්ඩ් පි‍ලේ ලකුණු සටහන්ව තිබුණේ කඩුලු හයට ලකුණු අනූනවයක් ලෙසය. පසුදින සෙනසුරාදාය. එදින තරගය වැඩියෙන්ම නරඹන්නට එන්නෝ දෙවිදුහ‍ලේම දුරබැහැර සිටින ආදි සිසුවෝය. ගාලු ක්‍රිකට් පිටියේ ලකුණු පුවරුව, කුකුළා අතින් ගෙන තරගය නරඹන්නට පැමිණි  මහින්දෙයන් අමන්දානන්දයට පත්කළද ආදි රිච්මන්ඩ්වරුන්ට එය දැක්මෙන් ඉතිරිව තිබුණේ කම්පාවක් පමණි. සෙනසුරාදාවේ රිච්මන්ඩ් පිල පරදින තැනට මුලින් වැඩ සිද්ධ වෙමින් තිබුණද ආදි සිසුන්ට වෙන්කර තිබූ කොටසෙ ඇඟිල්ලක් ගහන්නට ඉඩක් තිබුණේ නැත. දිනුම පැරදුම කෙසේ වෙතත් වසරකට වරක් හිතමිතුරන් හමුවීමේ පී්‍රතිය භුක්ති විඳ හිත හදා ගැනීමට හෝ ඔවුහු පැමිණ සිටියෝය.

දිවා ආහාරයට පෙර රිච්මන්ඩ් පි‍ලේ ඉතිරි කඩුලු හතරම දැවී ගියේය. මුල් ඉනිමේ ඔවුන්ට රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු එකසිය හතළිස්හතරක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක් කළ මහින්දෙ කුෂාන් මධූෂ ලකුණු විස්සට රිච්මන්ඩ් කණ්ඩායමේ පස්දෙනෙක් නැවත ක්‍රීඩාගාරයට යවා තිබුණේය.

යළිදු වරක් පිටියට බට මහින්දියෝ කඩුලු නවයකට ලකුණු එකසිය හැටඑකක් රැස් කළෝය. ඒ ලකුණු එකසිය හැටඑකින් හැත්තෑ එකකට වගකීවේ මහින්දෙ හංසිත වැලිහින්දය. ඔවුන් ඉනිම අත්හිටුවූයේ රිච්මන්ඩ් කණ්ඩායමට ලකුණු දෙසීය පහළොවක යෝධ ඉලක්කයක් දෙමිනි.

ලකුණු දෙසීය පහළොවක් රැස්කිරීමට රිච්මන්ඩ් කණ්ඩායමට ඉතිරිවී තිබුණේ ඕවර හතළිස් පහක් පමණි. ඒ අභියෝගයේදී රිච්මන්ඩ් පිලට තිබුණේ විකල්ප දෙකකි. එක්කෝ ඕවර හතළිස් පහ අවසන් වනතුරු කඩුලු ආරක්ෂා කරගත යුතුය. නැතිනම් ලකුණු හඹා යා යුතුය. එනමුත් රිච්මන්ඩ් පිල මුල් ඉනිමේ දැක්වූ පන්දුවට පහරදීමේ දුර්වලතාව නිසා බොහෝ දෙනෙක් සිතුවේ බඹරය කැරැකැවෙන්නේ මහින්දෙ පැත්තේ බවය. ඒ නිසා මහින්දෙ පිල යළිදු වරක් පන්දු රැකීමට ආවේ ජයග්‍රහණය අතේ තබාගෙන වෝටර්ලූ සටනට ආ ප්‍රංශයේ නැ‍පෝලියන් බොනපාට් සෙනෙවියා සේය.

ගාලු පිටියේ  වෝටර්ලූ සටන අරඹමින් මහින්දෙ පිල පන්දු යැවීමට පටන් ගත්තේය. පන්දුවට පහරදීමට ආවේ රිච්මන්ඩ් පි‍ලේ ආරම්භක පිතිකරුවෝ දෙන්නා වූ ආදිත්‍ය සිරිවර්ධන හා උප නායක විනුජ කිරිඇල්ලය. ආදිත්‍ය ලකුණු විසිහයකට දැවී ගියේ මහින්දියන්ගේ කූඩාරමේ ජයඝෝෂා නංවමිනි. ඊළඟට භානුක මනෝහර ලකුණු හතළිහකට දැවී ගියේය. එය දුටු රිච්මන්ඩ්වරුන්ගේ කූඩාරම ගල් ගැහුණාක් මෙනි. වෝටර්ලූ සටනේ නැ‍පෝලියන්ට මතක හිටින්නට පාඩමක් ඉගැන්වූ 'නෙල්සන් සාමිවරයා' පිටියට පැමිණියේ භානුක ක්‍රීඩාගාරයට ගිය පසුවය.

ඔහු රිච්මන්ඩ් පි‍ලේ නායක කවීෂ අභිෂේකය. මහින්දෙට කැරකෙමින් තිබූ බඹරය සියතට ගත් ඔහු එය ගාලු වැල්‍ලේ කැරකැව්වේය. නිකම් නොව හතර වටේටම බඹරය කැරකවූ ඔහු හතර අතටම පහර දුන්නේය. රිච්මන්ඩ් ලකුණු පුවරුව ත්‍රිරෝද රියක මීටරය මෙන් ඇසිපිය ගසන වාරයක් පාසා ඉහළ නගින්නට විය. ගාලු කොටුව අන්තය, බස්නැවතුම්පළ අන්තය, රිච්මන්ඩ් කූඩාරම මහින්ද කූඩාරම, දෙසට හතරේ පහරවල් අටක් එල්ල කර නොනැවතුණු ඔහු බෝලයට හොඳටම රිදෙන්නට හයේ පහරවල් දෙකක්ද ගැහුවේය. පිටියේ හතර වටේ නෙළන කවීෂගේ සුපිරි පිතිහරඹය මළානිකව සිටි රිච්මන්ඩ්වරුන්ට සේලයින් දුන්නාක් සේය.

ඔහුගේ පිතිහරඹයට වසඟ වී සිටි ආදි රිච්මන්ඩ්වරයකුට කේන්ති ගොස් තිබුණේ ඔහුගේ දර්ශන පථය ආවරණය කරමින් පිටිය වටා රාජකාරි කරමින් සිටි තවත් ආදි සිසුවෙකු නිසාය. ඒයි කොළඹ ඉඳන් ආවේ උඹ බලන්න නෙවේ මැච් එක බලන්න ඔහු මහ හඩින් කීවේය. ඒ අතරේ කවීෂ ගැසූ පහරක් උඩ පන්දුවක් ලෙස පාවී ආවේය. මහින්දෙ කූඩාරම ජය හඩින් ගිඟුම් දෙද්දී රිච්මන්ඩ් කූඩාරමේ සිටි අයගේ හදවත් නතර වූවාක් සේය. අනේ දෙවියනේ කැච් එක අතහැරියන් තවත් ආදි සිසුවෙකු දෙඅත එක් කරමින් මිමිනුවේය.

කවීෂගේ හයේ හතරේ පහරවල් නතර කරන්නට මහින්දෙ බළඇණියම හතරේ සීමාවේ හුන් නිසා ඔහු දුන් උඩ පන්දුව අල්ලන්නට ‍ලේසි වූවේ නැත. උඩ පන්දුව ගිලිහී යාමත් සමග රිච්මන්ඩ් කූඩාරමේ ජය ඝෝෂා මැදින් ජය මාවතට පාර කැපුණේය. එහෙත් ඒ ගමනේදී මහින්දියෝ රිච්මන්ඩ් පි‍ලේ තවත් කඩුලු දෙකක් උදුරා ගත්තෝය. ඒ අතරේ කවීෂ සමග ජය මාවතට පාර කැපූ දිලුම් සුධීර ද සිටියේය. හතළිස් හතර වැනි ඕවරයේ තුන්වැනි පන්දුවේදී ඔහු දුවද්දී දැවී යන විට ලකුණු 42ක් රැස්කරගෙන සිටියේය.

අවසන් ඕවරයේදී ජයග්‍රහණය ඕනෑ නම් රිච්මන්ඩ් පිලට ලකුණු අටක් රැස් කරන්නට තිබුණේය. බෝල හයකට ලකුණු අටක්. තරගය දෙපැත්තට විවෘතය. එම ලකුණු නොරැස්කළොත් තරගය ජය පැරදුමකින් තොරව නිමිය. එහෙත් නෙල්සන් සාමිවරයා තවමත් පිටිය මැදය. කවීෂ එක පසකය. අනෙක් පස මහින්දෙ වේග පන්දු යවන්නා නිපුන්  මාලිංගය.

පන්දුව අතින් ගෙන ඔහු දුවගෙන ආවේය. කවීෂ කවීෂ... රිච්මන්ඩ් කූඩාරම දෙසින් ඇසෙන්නේ එපමණි. පළමු පන්දුව කවීෂ පසුකර පන්දුව කඩුලු රකින්නා අතට ගියේය. ඉලක්කය බෝල පහට ලකුණු අටක්. එය මතක් වූ රිච්මන්ඩ්වරුන්ගේ හෘද ස්පන්දනය එළියටත් ඇසෙන්නා සේය. කවීෂ ඩූ. ඕ. ඩයි අන්තිම ඕවරයේ පීඩනය දරාගත නොහැකිව ආදි සිසුවෙක් කෑගැසුවේය. දෙවැනි පන්දුව එනවාත් සමග කවීෂ වැරෙන් ගැහූ පහර හතරේ සීමාව පසුකර ගියේය. එහෙත් ජය ගන්නට බෝල හතරකදී තවත් ලකුණු හතරක් ඕනෑය.

මහින්දේ පි‍ලේ සියල්ලෝම පාහේ හතරේ සීමාව සමීපයේය. එහෙත් නිපුන් මාලිංගගේ තුන්වැනි පන්දුවටද සිද්ධ වූයේ දෙවැනි පන්දුවට වූ දෙයමය. කවීෂගේ පහර හතරේ සීමාව දෙසට ගිය වේගයට වඩා වේගයෙන් රිච්මන්ඩ්වරු පිටියට පැමිණ කවීෂත් සඳුන් මෙන්ඩිසුත් කරට ගත්තෝය. ජයග්‍රහණයේ සතුට සැමරු මට ගාලු නගරය සරසා තිබූ රිච්මන්ඩ් ධජ පමණක් නොව කොටු පවුරේ ඔරලෝසු කණුවද ඒ මේ අත වැනෙමින් සතුටු වූ බව පෙනුණේය. මට පමණක් නොව එදා සැඳෑවේ බොහෝ රිච්මන්ඩ් ආදි සිසුන්ට ඔරලෝසු කණුව ඒ මේ අත වැනෙන දසුන දුටු බවට මෙන්න කැට.

මිහිරි ෆොන්සේකා

ඡායාරූප: රිච්මන්ඩ් විද්‍යාලයීය ඡායාරූප සංගමයෙනි

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර සෙන්චුරියන් හිදී පැවති දෙවෙන විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 16ක පරාජයක් අත්විය.  ඒ අනුව තරඟ 3කින් සමන්විත විස්සයි 20 තරඟාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකාවට ආරාධනා කල අතර දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ කඩුළු 3ක් දැවි ලකුණු 180ක් රැස් කර ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 164 ක් පමණි. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ඉසුරු උදාන පන්දු 48කදී ලකුණු 84ක් රැස් කර ගැනීමට සමත් වුණද මුල් පෙළ පිතිකරුවන් ලකුණු අතරට ඒමට නොහැකි වීමෙන් තරගය ශ්‍රී ලංකාව පරාජයට පත් විය.

 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තෙවැනි කාන්තා එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.මේ අනුව තරග 5 කින් සමන්විත තරගාවලිය තරග 3-0 ලෙස ජය ගැනීමට එංගලන්තයට හැකිවිය.

මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 174 කට දැවී ගිය අතර එංගලන්තය පන්දුවාර 26.1 දී කඩුලු 2 ට ලකුණු 177 ක් ලබා ජය ගත්තේය. එංගලන්තය වෙනුවෙන් ජෝන්ස් ලකුණු 76 ක්ද බිමවුන්ට් ලකුණු 63 ක්ද ලබා ගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මාධවී ලකුණු 42 ක් ලබා ගත්තේය.

 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති පලමු 20-20 තරගය සුපිරි පන්දුවාරයේදී පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 දී කඩුලු 7 ට ලකුණු 134 ක් ලබාගත් අතර දකුණු අප්‍රිකාව පන්දුවාර 20 දී කඩුලු 8 ට ලකුණු 134 ක් ලැබිය.

ලකුණු සමවීම නිසා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මකවූ අතර මාලිංග යැවූ එම පන්දුවාරයට ලකුණු 14 ක් ලබා ගැනීමට මිලර් සහ ඩුසෙන් සමත් විය.

ලකුණු 15 ක ඉලක්කය හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරු යුගලයවූ තිසර සහ අවිශ්කට ඉම්රාන් තහීර් යැවූ පන්දුවාරයට ලබාගත හැකිවූයේ ලකුණු 5 ක් පමණි.

මාලිංග යැවූ සුපිරි පන්දුවාරය- 1.1,6,0,4,2

තහීර් යැවූ සුපිරි පන්දුවාරය- 1,0,0,1,wd,0, wd,1

ලකුණු තත්ත්වය

ශ්‍රී ලංකාව පන්දුවාර 20 දී 134-7 යි කමිඳු මෙන්ඩිස් 41 තිසර පෙරේරා 19 පෙස්ලුක්වායෝ 25-3

දකුණු අප්‍රිකාව පන්දුවාර 20 දී 134-8 යි ඩේවිඩ් මිලර් 41 ඩුසෙන් 34 ඩුප්ලෙසිස් 21 මාලිංග 11-2

 

ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සිය පළමු තරඟ ජයග්‍රහණය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩයම සමත් වී තිබේ.
ඒ ජාත්‍යන්තර ටෙසට් වරම් ලැබීමෙන් පසු ඔවුන් ක්‍රීඩා කළ දෙවන ටෙස්ට් තරගයේදී  අයර්ලන්තයට එරෙහිව කඩුලු 07ක ජයක් ලබාගැනීමෙනි.
මුලින්  පන්දුවට පහරදුන් අයර්ලන්තය පළමු ඉනිමේ සියළු දෙනා දැවී ලකුණු 172ක් ලබා ගත් අතර ඇෆ්ගනිස්ථානය පළමු ඉනිමේදී ලකුණු 314ක් ලබා ගැනීමට සමත් විය.
දෙවන ඉනිමේදී අයර්ලන්ත කණ්ඩායමේ සියළු ක්‍රිඩකයින් ලකුණු 288ක් තුළ දැවී යාමත් සමඟ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 147ක ඉලක්කයක් හිමි විය.
කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනිමට සමත් වු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය ප්‍රථම ජාත්‍යන්තර ටෙස්ට් තරඟ ජයග්‍රහණය වාර්තා කළේය.
2017 දි ජාත්‍යන්තර ටෙසට් වරම් ලැබූ ඇෆ්ගනිස්ථානය 2018 ජූනි මාසයේදී දී ඉන්දියාව සමග සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළේය

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ. එම නම් කළ කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ගේ අනුමැතිය හිමි වී ඇත.

ලසිත් මාලිංග - නායක

නිරෝෂන් දික්වැල්ල - උප නායක

අවිශ්ක ප්‍රනාන්දු

සදීර සමරවික්‍රම

කුසල් මෙන්ඩිස්

ඇනජලෝ පෙරේරා

දනංජය ද සිල්වා

කමිඳු මෙන්ඩිස්

ප්‍රියමාල් පෙරේරා

තිසර පෙරේරා

සුරංග ලක්මාල්

ඉසුරු උදාන

අසිත ප්‍රනාන්දු

අකිල ධනංජය

ජෙෆ්රි වැන්ඩසේ

ලක්ෂාන් සඳකැන්

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.