lakbima.lk

ලෝක කුසලානට කණ්ඩායම තෝරන අන්තර් පළාත් එක්දින සටනට සූදානම්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නායකයා සහ කණ්ඩායම තෝරා ගැනීමේ අවසන් අවස්ථාව හිමිවන සුපිරි අන්තර් පළාත් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය ලබන 4 දා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

කොළඹ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් මේ වන විට නම් කර ඇති අතර නායකයන්ද නම් කර තිබේ.

කොළඹ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල්ද මහනුවර නායකයා ලෙස දිමුත් කරුණාරත්නද ගාල්ල නායකයා ලෙස ලසිත් මාලිංගද දඹුල්ල නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස්ද නම් කර තිබුණි.

එහෙත් ලසිත් මාලිංගට අයි.පී.එල්. තරගාවලියට යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවසරය හිමිවී තිබේ. ඔහු ක්‍රීඩා නොකරන තරග සඳහා වැඩබලන නායකයෙකු පත් කිරීමට නියමිතව තිබේ.

මාලිංග ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සමග පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

මාලිංගට ලෝක කුසලාන සංචිතයේ ස්ථානය පිළිබඳව ප්‍රශ්නයක් නොමැති බවත් ලොව සුපිරි ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කිරීමට ලැබෙන මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට වාසිදායක බව තේරීම් කමිටු සභාපතිවරයා පවසා තිබේ.

ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්ව සටනට පිවිසී සිටින දිමුත් කරුණාරත්න එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ හැම්ප්ෂයර් ප්‍රාන්තයට ක්‍රීඩා කිරීමට හිමිවූ අවස්ථාවද අත්හැර අන්තර් පළාත් තරගාවලියට ක්‍රීඩා කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථකවීම නිසා දිමුත් එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට එක්වීම සිදුවනු ඇතැයි වාර්තාවේ.

හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ආරම්භ කළ මෙම තරගාවලියේ මෙවර තරග අප්‍රේල් 4 දා සිට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර අවසන් මහ තරගය 11 දා දඹුල්‍ලේදී පැවැත්වේ.

මෙම තරගාවලියේදී නායකයන්ට මෙන්ම සියලුම ක්‍රීඩකයන්ට සිය සුපිරි දක්ෂතා පෙන්වා ලෝක කුසලාන සංචිතයට ඇතුළුවීමේ අවස්ථාව හිමිවී ඇති බැවින් තියුණු තරගාවලියක් දැක බලා ගැනීමේ අවස්ථාව උදාවී තිබේ.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පි‍ලේ නායකත්වය පිළිබදව සාකච්ඡා කිරීමට තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අතර හමුවක්ද පසුගියදා පැවැත්වුණි.

මේ අතර ශ්‍රී ලංකාවට කැඳවූ පුහුණුකරු චන්දික හතුරුසිංහ ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු නිවාඩුවක් සඳහා ඕස්ට්‍රේලියා බලා පිටත්ව ගොස් තිබේ. හතුරුසිංහ එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේද පුහුණුකරු ලෙස කටයුතු කිරීමට මෙම සාකච්ඡාවලදී එකඟවී ඇති අතර ලෝක කුසලාන කණ්ඩායමේ කළමනාකරු ලෙස තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කටයුතු කරනු ඇතැයි වාර්තා පළවේ.

මංගල ධර්මප්‍රේම

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.