lakbima.lk

20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අද ඇරැඹේ

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සංවිධානය කරන 20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (9දා) බටහිර ඉන්දීය කොදෙව්  දූපත්හිදී ආරම්භවේ.
රටවල් 10කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේදී වත්මන් ලෝක ශූරියන් වන බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය මෙවර ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින අතර, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, අයර්ලන්තය, පාකිස්තානය සහ නවසීලන්තය ‘බි’ කාණ්ඩය යටතේ තරග වදියි.
ලීග් ක්‍රමයට පැවැත්වෙන පළමු වටයේ තරග ගයනාහි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ ශා. ලුසියාහි ඩැරන් සමී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වේ.
තරගාවලියේ ආරම්භක දිනය වන අද ඉන්දියාව සහ නවසීලන්තය අතරද, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතරද, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය අතරද තරග පැවැත්වේ.
ශ්‍රී ලංකාව ලබන 10දා එංගලන්තය සමගින්
පළමු තරගයට සහභාගි වන අතර, 12දා දකුණු අප්‍රිකා සමගින්ද, 14දා බංග්ලාදේශය සමගින්ද, 16දා බටහිර ඉන්දීය කොදෙව් සමගින්ද තරග වදියි.
ශ්‍රී ලංකාව සහභාගි වන මූලික වටයේ තරග හතරම ශාන්ත ලුසියාහි ඩැරන් සමී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වේ.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව සහභාගි වූ පුහුණු තරග දෙකේදී නවසීලන්තය සහ අයර්ලන්තය හමුවේ පරාජයට පත්විය.
පළමු වටයේ තරග අද (9දා) සිට ලබන 19දා  දක්වා පැවැත්වෙන අතර, කාණ්ඩ දෙකෙහි ශූරයන් සහ අනුශූරයන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
අවසන් පූර්ව තරග ලබන 22දා ඇන්ටිගුවා දූපත්හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අවසන් තරගය ලබන 24දා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය:
චමරි අතපත්තු (නායිකාව), ශෂිකලා සිරිවර්ධන, යශෝධා මෙන්ඩිස්, හෂිනි පෙරේරා, රෙබෙකා වැන්ඩොට්, ඩිලානි මනෝදරා, ඕෂධී රණසිංහ, අමා කාංචනා, එෂානි ලොකුසූරිය, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, සුගන්ධිකා කුමාරි, උදේෂිකා ප්‍රබෝධනී, ඉනෝෂි ප්‍රියදර්ශනී, ශ්‍රීපාලි වීරක්කොඩි

ශ්‍රී ලංකාවේ තරග සටහන
නොවැ. 10දා - එංගලන්තය සමග ශා. ලුසියාහිදී
නොවැ. 12දා - දකුණු අප්‍රිකාව සමග ශා. ලුසියාහිදී
නොවැ. 14දා - බංග්ලාදේශය  සමග ශා. ලුසියාහිදී
නොවැ. 16දා - කොදෙව් සමග ශා. ලුසියාහිදී

(පමෝද්)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.