lakbima.lk

එංගලන්ත පන්දු යවන්නෝ ගාල්ලේ අණසක පතුරුවති

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (7දා) ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 203 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

මුල් ඉනිමේ ලකුණු 139 ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරැඹූ එංගලන්තය දිනය අවසන් වන විට කිසිවෙකු නොදැවී ලකුණු 38 ක් ලබා ශ්‍රී ලංකාවට වඩා ලකුණු 177 ක් ඉදිරියෙන් සිටියේය. ජෙනින්ග්ස් නොදැවී ලකුණු 26 ක්ද බර්න්ස් නොදැවී ලකුණු 11 ක්ද ලබා කඩුල්‍ලේ රැඳී සිටියි.

ඊයේ පෙරවරුවේ බෙන් ෆෝක්ස් (107) සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කරමින් වාර්තා ‍පොතට එක්වූ අතර එංගලන්තය ලකුණු 342 ක් රැස් කළේය.  ඉන් පසු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දවා ගැනීමට එංගලන්ත වේගපන්දු යවන්නන් සමත් වූ අතර දඟ පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව අසරණ කළහ.

ශ්‍රී ලංකා මුල් ඉනිමේ සාර්ථක ආරම්භයක් බලා‍පොරොත්තු වුවද සිය පළමු පන්දුවාරයේදීම දිමුත් පිටියෙන් ඉවත් කිරීමට ඇන්ඩර්සන් සමත් විය.  කෞෂාල් සිල්වා එක් ලකුණකට දවා ගැනීමට සෑම් කරන් සමත් වූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 19 කට දවා ගැනීමට ලීච් සමත් විය.

දිවා ආහාරය පෙනි පෙනී ධනංජය දුර්වල ස්වීප් පහරක් එල්ල කරමින් මොයින් අලීට සිය කඩුල්ල පූජා කිරීමෙන් ශ්‍රී ලංකාවේ කඩුලු 4 ක් ලකුණු 40 ක් තුල බිඳ වැටුණි.  ඉනිමේ සාර්ථකම කඩුලු සම්බන්ධතාව වාර්තා කරමින් මැතිව්ස් සහ චන්දිමාල් (33) ලකුණු 75 ක සම්බන්ධතාවක් තැබූ අතර රෂීඩ් ක්‍රියාත්මක වීමෙන් ලකුණු 115 දී 5 වැනි කඩුල්ල බිඳ වැටුණි.

මිනිත්තු 142 ක් කඩුල්‍ලේ රැඳී සිටිමින් පන්දු 122 කදී හතරේ පහර 3 ක් සහිතව ලකුණු 52 ක් ලැබූ මැතිව්ස් තේ පානයෙන් පසු යැවූ  පළමු පන්දුවේදීම දවා ගැනීමට මොයින් අලී සමත් විය.

දික්වැල්ල ලකුණු 28 කට දවාගත් අලී සිය සිව්වැනි කඩුල්ල ලෙස අකිල ධනංජය ලකුණු ලබා ගැනීමට පෙර පිටියෙන් ඉවත් කළේය.  ලකුණු 21 ක් ලැබූ දිල්රුවන් පිටියෙන් ඉවත් කිරීමට ලීච් සමත්වූ අතර සුරංග ලක්මාල් ලකුණු 15 කට දවා ගැනීමට

රෂීඩ් සමත්වීමෙන් ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 203 කට අවසන් විය. අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කරන රංගන නොදැවී ලකුණු 14 ක් ලබා සිටියේය.  පන්දුවෙන් දස්කම් දැක්වූ මොයින් අලී ලකුණු 66 ට කඩුලු 4 ක් බිඳ හෙලූ අතර ලීච් සහ රෂීඩ් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

අද තරගයේ තෙවැනි දිනයයි.

මංගල ධර්මප්‍රේම ගාල්ලේ සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.