lakbima.lk

පළමු එක්දින ක්‍රිකට් සටන විසඳුමකින් තොරව අවසන්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (10දා) දඹුල්‍ලේ පැවැති පළමු තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.  කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහර දීමට එංගලන්තයට ආරාධනා කළ අතර වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට එංගලන්තය පන්දුවාර 15 දී කඩුලු 2 ට ලකුණු 92 ක් ලබා සිටියේය.

ඉන් පසු දිගින් දිගටම වර්ෂාව ඇද හැලුණු අතර පසුව වර්ෂාව නතර වුවද ක්‍රීඩාංගණයේ තෙත බරිත තත්ත්වය හේතුවෙන් රාත්‍රී 8.15 ට තරගය අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. එංගලන්තය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන් ජේසන් රෝයි සහ ජොනී බේස්ටෝව් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක වේගවත් සම්බන්ධතාවක් තැබූහ.

ලසිත් මාලිංග ප්‍රහාරයකට ලක්වූ අතර ඉනිමේ 8 වැනි පන්දු වාරයේදී පන්දු 24 කදී හතරේ පහර 4 ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 25 ක් ලබාසිටි බේස්ටෝව් දවා ගැනීමට නුවන් ප්‍රදීප් සමත් විය.

ඉන් පසු ක්‍රියාත්මක වූ අකිල ධනංජය පන්දු 27 කදී හතරේ පහර 4 ක් සහිතව ලකුණු 24 ක් ලබා සිටි ජේසන් රෝයි දවා ගැනීමෙන් එංගලන්තයේ දෙවැනි කඩුල්ල ලකුණු 51 දී බිඳ වැටුණි.  ජෝ රූට් සහ නායක ඔයින් මෝගන් පිටියේ එක්වීමෙන් පසු යළිත් ලකුණු පුවරුව ඉහල නැංවුණු අතර වර්ෂාව ඇදහැලෙන විට තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 41 ක සම්බන්ධතාවක් වාර්තාවී තිබුණි.

ජෝ රූට් පන්දු 28 කදී හතරේ පහර 4 ක් සහිතව නොදැවී ලකුණු 25 ක්ද මෝගන් පන්දු 11 කදී එක් හයේ පහරක් සහ හතරේ පහරක් සහිතව නොදැවී ලකුණු 14 ක්ද ලබා සිටියේය.  ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ නුවන් ප්‍රදීප් ලකුණු 23 ට එක් කඩුල්ලක්ද අකිල ධනංජය ලකුණු 30 ට එක් කඩුල්ලක්ද දවාගෙන තිබුණි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි එක්දින තරගය දිවා තරගයක් ලෙස ලබන 13 දා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.