lakbima.lk

අවසන් පන්දුවාර පහ කඩුල්ල තුලටම යැවීමෙන් සටන ජය ගැනීමට හැකිවුණා

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිව්වැනි එක්දින තරගය තියුණු අවසානයකින් පසු ජයගත්තේ අවසන් පන්දු වාර 5 කඩුල්ල තුලටම පන්දු යැවීමෙන් බව ජයග්‍රහණයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී තිසර පෙරේරා පැවැසීය.
වර්ෂාවෙන් බාධා වූ මෙම තරගයේදී පන්දුවාර 21 කදී ලකුණු 191 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 16 ක් අවසානයේ ප්‍රබල ස්ථානයක පසු වුවද අවසන් පන්දුවාර 6 දී කඩුලු 5 ක් අතැතිව ලබාගත යුතුවූ ලකුණු 43 ලබාගත නොහැකිව ලකුණු 3 ක පරාජයක් ලැබිය.
ඩුමිනිගේ පහසු උඩ පන්දුවක් අත්හැරි සුරංග ලක්මාල් ශ්‍රී ලංකාව ජය මාවතට රැගෙන යමින් අවසන් පන්දු වාරයේදී දකුණු අප්‍රිකාවට අවශ්‍ය වූ ලකුණු 8 ලබා නොදෙමින් විශිෂ්ට පන්දු වාරයක් යැවූවේ ලොව විශිෂ්ටතම
ප්‍රහාරකයෙකු වන ඩේවිඩ් මිලර්ගේ කඩුල්ලද දවා ගනිමිනි.
“කඩුල්ලෙන් ඉවතට පන්දු යැව්වොත් පහර දෙන්න ‍ලේසි බව අපිට වැටහුණා. අවසන් පන්දුවාර 5 දී ටෙස්ට් තරගයකදී මෙන් කඩුල්ල තුලටම පන්දු යවන්න තීරණය කළා. මෙම තණතීරුවේ පන්දුවාර 21 කදී ලකුණු 191 හඹා යන එක අමාරු නැති බව අපි දැන සිටියා. ලක්මාල් යැවූ අවසන් පන්දු වාරය විශිෂ්ටයි.” යැයි තිසර පෙරේරා පැවැසීය.
මෙම ජයග්‍රහණය පිළිබඳව කණ්ඩායමම දැඩි සතුටට පත්වන බව පවසන තිසර තරගය කෙසේ හෝ ජය ගෙන 5-0 කින් තරගාවලිය පරාජය නොවීමට සියලුම ක්‍රීඩකයන් තුල අධිෂ්ඨානයක් තිබූ බව පවසයි.
දසුන් ශානකගේ ඉනිම අගය කළ තිසර පැවැසුවේ කඩුලු 6 ක් බිඳ වැටී තිබුණද සුපුරුදු පහරවල්වලට යාමට ඔහු සමග තීරණය කළ බවයි.
අපි ලකුණු 270-80 ක් තමයි හිතුවේ. ඒත් අපි දෙන්නගේ පහරවල් ක්‍රියාත්මක වුණා. අපි දෙන්නට ලකුණු 100 ක සම්බන්ධතාවක් තියන්න පුළුවන් වුණා. ඒක ‍ලේසි නෑ. දසුන්ට හයේ පහරවල් එල්ල කිරීමට හැකි වීමෙන් ලකුණු 300 සීමාව පසු කිරීමට හැකි වූ බව තිසර පවසයි.
මෙම තරගයේදී තිසර පන්දු 45 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සහිතව නොදැවී ලකුණු 51 ක්ද දසුන් ශානක පන්දු 34 කදී හතරේ පහර 3 ක් සහ දැවැන්ත හයේ පහර 5 ක්ද සහිතව ලකුණු 65 ක් වාර්තා කළේය.
වසරක් පමණ එක්දින පිලෙන් ඉවත්ව සිටි තමා දැඩි කැපවීමකින් පුහුණුවී ශාරීරික යෝග්‍යතාවද රැකගත් නිසා ලැබුණු තරගයේදී තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට හැකිවූ බව තරගයේ වීරයා වූ දසුන් ශානක පවසයි.
“මම කඩුල්ලට ගියේ තිසරට සහය වෙන්න. ඔහු ලෝකයේ සිටින ප්‍රබල ප්‍රහාරක පිතිකරුවෙක්. ඔහු මාව දිරිමත් කළා. අවසානයේ මටත් හයේ පහරවල් එල්ල කරන්න පුළුවන් වුණා.” යැයි දසුන් පැවැසීය.
තරගය ජය ගැනීම සියලුම ක්‍රීඩකයන් තුළ දැඩි අධිෂ්ඨානයක් තිබූ බවත් තරග ජයගත හැකි බව මෙම තරයේදී ඔප්පු කර පෙන්වූ බවත් දසුන් පවසයි.
තම පිතිකරණය ඉහල නංවා ගැනීමට තිලාන් සමරවීර මෙන්ම ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහගෙන්ද උපදෙස් ලැබෙන බව තිසර සහ දසුන් අවසන් වශයෙන් පැවැසූහ.

මංගල ධර්මප්‍රේම පල්ලෙකැ‍ලේ සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.