lakbima.lk

අයි.සී.සී. සාමාජිකත්වය අහිමි වීමට පෙර නිලවරණය පවත්වන්න

ලබන දෙසැම්බර් 31දාට පෙර ක්‍රිකට් නිලවරණය නොපැවැත්වුවහොත්  ශ්‍රී ලංකාවේ අයි.සී.සී. සාමාජිකත්වය අහිමි වන බව ඊයේ (9දා) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු විධායක කමිටු නිලධාරීහු පැවැසූහ.
ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ
කොළඹදී පැවැත්වුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම සාමාජිකයන් පවසන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට අයි.සී.සී.යෙන් හිමිවිය යුතු ඩොලර් මිලියන 4.8ක මුදලක් අහිමිවන බවයි.
මෙම මුදල් කිසිදු රජයකට හෝ කිසිදු පුද්ගලයකුට හෝ අයිති නොමැති බවත්, ඒවා සාමාජිකයන්ටත් ක්‍රිකට් ආයතනයටත් අයිති මුදල් බවද එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
නිලවරණය සම්බන්ධයෙන් අධිකරණය නිලවරණය පැවැත්වීමට අවසර ලබා දී තිබියදීත් එය ක්‍රියාත්මක නොවීම සාමාජිකයන්ට ප්‍රශ්නයක් වී ඇති බවද, අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් පරිදි පවතින නීතියට අනුව නිලවරණය නොපැවැත්වීම ගැටලුසහගත තත්ත්වයක් බවද මෙහිදී අවධාරණය කළේය.
මේ දක්වා පැවැති අතුරු කමිටුවලදී හේමක අමරසූරිය සභාපතිත්වය දැරූ අතුරු කමිටුව හැර සෙසු අතුරු කමිටුවල පාලනය අසාර්ථක බව හිටපු ක්‍රිකට් උප සභාපති මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.
හිටපු අතුරු කමිටු සාමාජිකයන් පිරිසක් යළිත් අතුරු කමිටුවක් පත් කරන්නැයි කළ ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කිරීම ගැන ක්‍රීඩා ඇමැතිවරයාට ස්තූතිය පළ කරන බවද මොහාන් ද සිල්වා මහතා පැවැසීය.
ක්‍රීඩා ඇමැතිවරයා මාස තුනක් ඇතුළත නිලවරණය පවත්වන බවට තමන් විශ්වාස කළද මේ දක්වා විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා ඉදිරි පියවර ගෙන නොතිබිම කණගාටුවට කරුණක් බව මොහාන් ද සිල්වා මහතා පවසයි.
හිටපු පරිපාලනයට අභියෝග කළ හිටපු අතුරු කමිටු නිලධාරීන්ට තමන් සමග සංවාදයකට එන්නැයි ලිපි යවා ඇති නමුත් චෝදනා එල්ල කරන එම පුද්ගලයන් එයට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව මොහාන් ද සිල්වා මහතා පැවැසීය.
පසුගියදා ක්‍රීඩා ඇමැතිවරයා ජාතික ක්‍රීඩා සංගම් නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී නිලවරණ මෙහෙයවීමට පංච පුද්ගල කමිටුවක් යෝජනා කර ඇති නමුත් එය සාර්ථක නොවන පියවරක් බව පවසන මොහාන් ද සිල්වා මහතා හිටපු ක්‍රිකට් සභාපතිවරයාගේ යෝජනාව වන්නේ ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වීමට 20-25ක සාමාජිකයන්ගෙන් යුත් නිලවරණ කමිටු සංචිතයක් පිහිටුවිය යුතු බව යයිද පැවැසීය.
සියලුම නිලවරණ මාර්තු මාසයේ එකම කාල වකවානුවක පැවැත්වෙන බැවින් 5 දෙනකුගේ කමිටුවක් පත් කිරීම ගැටලුවක් විය හැකි බව මෙහිදී අනාවරණය කළේය.
තම පරිපාලනය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් අධික ලාභයක් ලැබූ බවත්, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හරහා තවත් අධික ලාභයක් ලැබිමට හිටපු ක්‍රිකට් සභාපතිවරයා සියලු සැලසුම් සකස් කළ බවත් එම සියල්ල නිලවරණය නොපැවැත්වීමෙන් බිඳ වැටීම පිළිබඳව කණගාටුවන බව හිටපු නිලධාරීහු පවසති.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට අයි.සී.සී.ය වසර 5ක කාලයක් වෙන්කර දී තිබූ බවත් ලොව දක්ෂ ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකාවට ගෙන්වා අයි.පී.එල්. තත්ත්වයෙන් තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී නිලවරණය කල් දැමීම රටට විශාල පාඩුවක් වූ බවත් හිටපු නිලධාරීන් පැවැසීය.
“අපිට විරුද්ධව කතා කරන අර්ජුන රණතුංග ක්‍රිකට් සභාපති කළ හිටපු රජය ඔහුව යළිත් ඉවත් කරන්නට කටයුතු කළා. දැන් ආපහු බෝඩ් එකට එන්න දඟලනවා. ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්. ඒත් හොඳ පරිපාලකයෙක් ‍නෙවෙයි. ලෝකයේ කිසිම දක්ෂ ක්‍රීඩකයෙක් පරිපාලකයෙක් වෙලා නෑ” යැයි හිටපු භාණ්ඩාගාරික
ෂම්මි සිල්වා මහතා පැවැසීය.
හිටපු ක්‍රිකට් සභාපතිවරයාට සාමාජිකයන්ගේ විශාල ඡන්ද පදනමක් ඇති බවත්, ඡන්ද 142න් 130කට වැඩි ප්‍රමාණයක් ලැබෙන බවත් ෂම්මි සිල්වා මහතා පවසයි.
“අපිට ඕන නිලවරණය පවත්වන්න. කවුද දිනන්නේ පරදින්නේ කියන එක ප්‍රශ්නයක් නෑ. සාමාජිකයන්ගේ ඡන්ද අරගෙන කැමැති කෙනෙක් බලයට එන්න. එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට ඡන්දයෙන් පත්වන පරිපාලනයක් අවශ්‍යයි. ඒ නිසා අපි ක්‍රීඩා ඇමැතිතුමාගෙන් ඉල්ලන්නේ දෙසැම්බර් 31ට පෙර නිලවරණය පවත්වන්න කියලා” යැයි ෂම්මි සිල්වා පැවැසීය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.