lakbima.lk

දිමුත් සටන්කාමී ශතකයකින් බිඳ වැටුණු ඉනිම ගොඩ ගනියි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (12දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පසු පෙළ පිතිකරුවන් සමග එක්වූ දිමුත් කරුණාරත්න දැක්වූ දස්කම් හේතුවෙන් මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 287 ක් රැස් කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
රබාඩාගේ සුපිරි පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවේ කඩුලු 8 ක් ලකුණු 176 ක් තුළ බිඳ වැටී තිබූ අතර දිමුත් සමග එක්වූ ලක්මාල් සහ සඳකැන් 9  වැනි සහ 10 වැනි කඩුලු වෙනුවෙන් සාර්ථක කඩුලු සම්බන්ධතා පැවැත්වීමෙන් ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයෙන් මිදීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව දිනය අවසන් වන විට කඩුලු 1 ට ලකුණු 4 ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු මාක්රාම් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට රංගන හේරත් සමත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් හුදෙකලා සටනක නිරතවූ දිමුත් කරුණාරත්න සිය 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 158 ක් ලබා ගත්තේය.
මිනිත්තු 365ක් කඩුල්‍ලේ රැඳී සිටිමින් පන්දු 222 කට මුහුණ දුන් දිමුත් හතරේ පහර 13 ක් සහ එක් හයේ පහරක් එල්ල කළ අතර මෙය ඔහු ලකුණු 150 සීමාව පසුකළ සිව්වැනි අවස්ථාව විය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව එක් වේග පන්දු යවන්නෙකු සහ දඟ පන්දු යවන්නන් තිදෙනෙකු නම් කර තිබුණි.
දකුණු අප්‍රිකාව වේග පන්දු යවන්නන් තිදෙනෙකු සහ දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු නම් කර තිබුණි.
දිමුත් සහ ධනුෂ්ක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක සම්බන්ධතාවයක් තැබිමෙන් පසු ධනුෂ්ක ලකුණු 26 කට දවා ගැනීමට රබාඩා සමත් විය.
දිමුත් සහ ධනංජය ඉනිම ගොඩනංවමින් සිටියදී ක්‍රියාත්මක වූ ෂම්සි ලකුණු 11 ක් ලබා සිටි ධනංජය පිටියෙන් ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ දෙවැනි කඩුල්ල ලකුණු 70 දී බිඳ වැටුණි.
කුසල් මෙන්ඩිස් පිටියට පිවිසීමත් සමගම ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීම වේගවත් විය. දිවා ආහාරය වන විට ශ්‍රී ලංකාව කඩුලු 2 ට ලකුණු 93 ක් ලබා සිටියේය.
මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 115 ක්ව තිබියදී කුසල් මෙන්ඩිස් ලකුණු 24 කට දවා ගැනීමට ඩේල් ස්ටේන් සමත් විය.
ඉන්පසු රබාඩා යළි කැඳවීමට නායක ඩුප්ලෙසිස් තීරණය කළ අතර එක් පන්දුවාරයකදී කඩුලු 2 ක් බිඳ වැටුණි.
ඇන්ජලෝ මැතිව්ස් එක් ලකුණකට දවාගත් රබාඩා රොෂේන් සිල්වා ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩාගාරයට යැවීමෙන් ශ්‍රී ලංකාවේ 5 වැනි කඩුල්ල ලකුණු 119 දී බිඳ වැටුණි.
දිමුත් සහ දික්වැල්ල එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක සම්බන්ධතාවක් තබා තිබියදී ලකුණු 18 ක් ලබා සිටි දික්වැල්ල සිය දෙවැනි කඩුල්ල ලෙස දවා ගැනීමට ෂම්සි සමත් වීමෙන් ශ්‍රී ලංකාවේ 6 වැනි කඩුල්ල ලකුණු 161 දී බිඳ වැටුණි.
සිය පළමු කඩුල්ල ලෙස දිල්රුවන් පෙරේරා එක් ලකුණකට දවා ගැනීමට පිලැන්ඩර් සමත්වීමෙන් ශ්‍රී ලංකාවේ 7 වැනි කඩුල්ල ලකුණු 164 දී බිඳ වැටුණි.
රංගන හේරත් එක් ලකුණකට දුවද්දී දැවී යාමකට හසුවීමෙන් පසු පිටියේ එක්වූ දිමුත් සහ ලක්මාල් සාර්ථක කඩුලු සම්බන්ධතාවක් වාර්තා කිරීම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 200 සීමාව පසු කිරීමට හැකිවිය.
9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සම්බන්ධතාවය බිඳ දමමින් සිය සිව්වැනි කඩුල්ල ලබා ගැනීමට රබාඩා සමත් වන විට ලකුණු පුවරුව කඩුලු 9 ට ලකුණු 224 ක් විය.
දිමුත්ට එක්වූ සඳකැන් (25) අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවක් තැබූ අතර
ෂම්සි ක්‍රියාත්මක වීමෙන් සඳකැන් පිටියෙන් ඉවත් විය.
රබාඩා කඩුලු 4 ක් බිඳ හෙලූ අතර ෂම්සි කඩුලු 3 ක්ද ස්ටේන් සහ පිලැන්ඩර් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීය.


අද තරගයේ දෙවැනි දිනයයි.මෙම ඉනිම ටෙස්ට් දිවියේ හොඳම ඉනිම් තුනෙන් එකක්
ශතකලාභී දිමුත් කියයි


දකුණු අප්‍රිකාවට එරෙහිව රැස් කළ ශතකය තම ටෙස්ට් දිවියේ හොඳම ඉනිම තුනෙන් එකක් බව ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න මාධ්‍ය හමුවේදී පැවැසීය.
පළමු පන්දුවාර 15 දී දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන්ට පහරදීම අසීරු වූ බවත් ඉන් පසු තම සුපුරුදු පිතිහරඹය දියත් කළ බවත් දිමුත් පැවැසීය.
ස්ටේන්, පිලැන්ඩර් සහ රබාඩා තර්ජනාත්මකව පන්දු යැවූ බවත් ඔවුන් මහන්සි කර පසුව ලකුණු ලබා ගැනීම තම සැලසුම වූ බවත් දිමුත් පැවැසීය.
තණතීරුවේ වෙනදාට වඩා ඉපිලීමක් තිබූ නමුත් කඩුල්‍ලේ රැඳී සිටීමෙන් ලකුණු රැස් කිරීම තම උපාය වූ බවත් එය සාර්ථක වූ බවත් දිමුත් පවසයි.
කඩුලු වැටුණු අවස්ථාවේ වැඩිපුර පිතිකරු අන්තය ලබාගෙන ලකුණු රැස් කිරීමට තීරණය කළ බවත් ලක්මාල් සහ සඳකැන්ගෙන් හොඳ සහයක් ලැබුණු බවත් දිමුත් පවසයි.
පිතිකරණයේදී අවසන් පිතිකරුවා දැවී යන තෙක් කඩුල්‍ලේ රැඳී සිටීම තම අපේක්ෂාව බව පවසන දිමුත් දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නන් තමන්ට අභියෝගයක් නොවූ බවත් පවසයි. ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව මුල් ඉනිම
ධනුෂ්ක ගුණතිලක ඇ. කොක් ප. රබාඩා26
දිමුත් කරුණාරත්න (නොදැවී)158
ධනංජය ද සිල්වා ප. ෂම්සි 11
කුසල් මෙන්ඩිස් ඇ. රබාඩා ප. ස්ටේන් 24
ඇන්ජලෝ මැතිව්ස් ඇ. කොක් ප. රබාඩා 1
රොෂේන් සිල්වා ඇ. මාක්රාම් ප. රබාඩා0
නිරෝෂන් දික්වැල්ල ඇ. අම්ලා ප. ෂම්සි 18
දිල්රුවන් පෙරේරා ඇ. කොක් ප. පිලැන්ඩර් 1
රංගන හේරත් දු.දැ.ගි (පිලැන්ඩර්/කොක්)1
සුරංග ලක්මාල් ඇ. කොක් ප. රබාඩා 10
ලක්ෂාන් සඳකැන් ස්ට. කොක් ප. ෂම්සි25
අතිරේක 12
මුළු ලකුණු (පන්දුවාර 78.4කදී සියලු දෙනා දැවී)287
කඩුලු බිඳ වැටීම :- 1-44, 2-70, 3-115, 4-119, 5-119, 6-161, 7-164, 8-176, 9-224, 10-287
පන්දු යැවීම :- වර්නන් පිලැන්ඩර් 8-1-28-1, ඩේල් ස්ටේන් 13-0-54-1, කගිසෝ රබාඩා 14-1-50-4, කේෂව් මහරාජ් 17-3-49-0, ටබ්රේස් ෂම්සි 25.4-2-91-3, ඩීන් එල්ගා 1-0-7-0

දකුණු අප්‍රිකාව මුල් ඉනිම
ඩීන් එල්ගා (නොදැවී)4
ඒඩියන් මාක්රාම් ඇ. මැතිව්ස් ප. හේරත් 0
කේෂව් මහරාජ් (නොදැවී)0
අතිරේක 0
මුළු ලකුණු (පන්දුවාර 4කදී කඩුලු 1ක් දැවී)4
කඩුලු බිඳ වැටීම :- 1-1
පන්දු යැවීම :- රංගන හේරත් 2-1-1-1, දිල්රුවන් පෙරේරා 2-1-3-0

මංගල ධර්මප්‍රේම ගාල්ලේ සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.