lakbima.lk

මැද පෙළ නැගී සිටියොත් ඉදිරි ගමන සුබ වන ලකුණු

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් නවසීලන්තය හමුවේ අන්ත පරාජයකට පත්වූ ශ්‍රී ලංකාව ඉන්පසු පැවැති ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය ජය ගනිමින් නැවුම් බලා‍පොරොත්තු රඳවා ගැනීමට සමත් විය.
 නවසීලන්තය හමුවේ ලකුණු 136 කට දැවී ගිය ශ්‍රී ලංකාවට නවසීලන්තයේ එක් කඩුල්ලක්වත් දවා ගැනීමට නොහැකිවීම නිසා නැගී එන ඇෆ්ගනිස්ථාන පිල සමග තරගයෙන්ද පසු බසිනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළහ.


එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය සුපුරුදු රිද්මයට පිවිසීමෙන් අවසානයේ ලකුණු  32ක ජයක් ලැබිය.
නවසීලන්ත තරගයේදී දිමුත් සහ කුසල් ජනිත් සාර්ථකව පන්දුවට පහර දුන්නද ඉන් පසු පැමිණි පිතිකරුවන්ගේ දුර්වලතා හේතුවෙන් ඉනිම බිඳ වැටුණි.

ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයේදීද කුසල් ජනිත් සහ දිමුත් කරුණාරත්න සාර්ථකව ඉනිම ගොඩ නැංවුවද ඔවුන් දෙදෙනා දැවී යාමත් සමගම යළිත් පිතිකරුවෝ කඩුලු පූජා කිරීම නිසා ලකුණු 300 ක් ලබා ගැනීමට තිබූ තරගයේ ලකුණු 201 කට දැවී යාමට සිදුවිය.

තණ තීරුවේ ඉදිරියට පැමිණ ක්‍රීඩා කළ කුසල් සහ දිමුත් තරග දෙකේදීම සාර්ථක වුවද සීමා ඉර මත සිට පන්දුවට පහරදීමෙන් පසු බැසීමට ශ්‍රී ලංකාවේ මැද පෙළට සිදුවිය.

 ඇෆ්ගන් පන්දු යවන්නන්ට ප්‍රහාරයක් දියත් කළ කුසල් ජනිත් පන්දු 81 දී හතරේ පහර 8 ක් සහිතව ලකුණු 78 ක් ලබා ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තැබිය.

පළමු තරගයේ අසාර්ථකවී දෙවැනි තරගයේ ලකුණු 25 ක් ලබා ගැනීමට තිරිමාන්න සමත් වුවද කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා අසාර්ථක වීමෙන් ශ්‍රී ලංකාවේ පිතිකරු බළඇණියම අඩපණ විය.
ඇන්ජලෝ මැතිව්ස් තරග දෙකේදීම ලකුණු නොලබාම දැවී යාමෙන් ශ්‍රී ලංකාවේ බලා‍පොරොත්තු සුන්වී ගියේය. දිගින් දිගටම අසාර්ථක වී සිටින කුසල් මෙන්ඩිස් මෙම තරග දෙකේදීම දුර්වල පිතිහරඹයක නිරතවූ අතර පහසු උඩ පන්දුවක්ද අත්හරිනු දක්නට ලැබුණි.

ධනංජය ද සිල්වාටද තරග දෙකේදීම ලකුණු අතරට පැමිණීමට නොහැකිවූ අතර මැද පෙළ දුර්වලවීම ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක් වී තිබේ.

ශ්‍රී ලංකාවේ හිටපු නායකයකු මෙන්ම සුපිරි පිතිකරුවකුවූ ටී.එම්. ඩිල්ෂාන් පවසා ඇත්තේ මැද පෙළ පිතිකරුවන්ගේ පිතිහරඹය පාසල්    මට්ටමට වැටී ඇති බවයි.

 ලෝක කුසලාන වැනි තරගාවලියකදී මැද පෙළ පිතිකරුවන් මීට වඩා වගකීමකින් පන්දුවට පහරදිය යුතු බවද ඩිල්ෂාන් අවධාරණය කරයි.

 පළමු තරගයේදී වේගවත් ලකුණු 27 ක් ලබාගත් තිසර පෙරේරා දෙවැනි තරගයේදී දුවද්දී දැවී යාමකට හසුවීම ශ්‍රී ලංකාවට ප්‍රබල පාඩුවක් විය. එම තරගයේදී ප්‍රහාරක පිතිකරු සසායි දවා ගැනීමට තිසර රැකගත් උඩ පන්දුව විස්තර විචාරකයන්ගේ පැසසුමට ලක්විය.

 පළමු තරගයේදී ස්ථානයක් අහිමි වූ නුවන් ප්‍රදීප් මෙම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවෙමින් තමන්ට ශ්‍රී ලංකා පි‍ලේ හිමි ස්ථානය තේරීම් කමිටුවට පෙන්වීය. පළමු තරගයේදී ජීවන් මෙන්ඩිස් වෙනුවෙන් එළියේ සිටි ප්‍රදීප් ලකුණු 31ට කඩුලු 4 ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

සිය සුපුරුදු පන්දු යැවීමේ රටාව දියත් කළ ලසිත් මාලිංග ලකුණු 39 ට කඩුලු 3 ක් ලබා ගත් අතර තිසර සහ උදානගෙන්ද හොඳ සහයක් හිමිවිය.

ශ්‍රී ලංකාව පරාජය වූ නවසීලන්ත තරගයේදී නායක දිමුත් ආරම්භක පිතිකරු ලෙස පැමිණ ඉනිම අවසන් වන තුරු නොදැවී සිට ලෝක කුසලාන තරගයකදී එම දස්කම කළ දෙවැනි පිතිකරුවා බවට පත්විය. මීට පෙර 1999 දී එංගලන්තයේදීම කොදෙව් පි‍ලේ රිඩ්ලි ජේකොබ්ස් ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී ඉනිම අරඹා නොදැවී ලකුණු 49 ක් ලබා තිබුණි.

මේ අතර ලෝක කුසලාන පළමු තරගයේදී කොදෙව් හමුවේ ලකුණු 105කට දැවී ගොස් අන්ත පරාජකට පත්වී සිටි පාකිස්තානය ඉන් පසු මෙවර ලෝක කුසලාන දිනා ගනිතැයි අනාවැකි පළවී ඇති එංගලන්තය පරදවමින් යළිත් තරගාවලියට අවතීර්ණ විය.

මෙම තරගයේදී එංගලන්තය වෙනුවෙන් මෝගන් සහ බට්ලර් ශතක වාර්තා කළද වහාබ් රියාස් සහ මොහොමඩ් අමීර්ගේ පන්දු යැවීම හමුවේ විශිෂ්ට ජයක් වාර්තා කිරීම කැපී පෙණුනි.

මෙම පරාජය ප්‍රබල මානසික කම්පනයක් බව නායක මෝගන් පැවැසුවද ටෙස්ට් නායක ජෝ රූට් පවසන්නේ මෙය එතරම් ගණන් ගත යුතු පරාජයක් නොවන බවයි.

මේ අතර ඉන්දියාව හමුවේ පරාජයට පත්වූ දකුණු අප්‍රිකාවට සිය තෙවැනි පරාජයට මුහුණදීමෙන් අවසන් පූර්ව සටනට පිවිසීමට තියුණු සටනක් කිරීමට සිදුවී තිබේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය පසුගිය සිකුරාදා පැවැත්වෙමින් තිබූ අතර මෙම තරගයේදී ජයක් සමගින් සාර්ථක ගමනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් පසුවිය.

ඇෆ්ගනිස්ථාන තරගය ජය ගැනීමෙන් ශ්‍රී ලංකාවේ මානසික ශක්තිය සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවී තිබිම ඉතා වැදගත් බවත් රට වෙනුවෙන් සියලුම ක්‍රීඩකයන් එකා වන්ව නැගී සිටිය යුතු බවත් ඇෆ්ගන් ජයෙන් පසු පුහුණුකරු හතුරුසිංහ පවසා තිබුණි.

සියලුම ක්‍රීඩකයන් තම යුතුකම් කොටස මැනවින් ඉටු කළහොත් තරගාවලියේදී සුපුරුදු ශ්‍රී ලංකා රිද්මය යළි දැක බලා ගැනීමට ක්‍රිකට් ලෝකයටම හැකිවනු ඇත.

 මංගල ධර්මප්‍රේම

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.