lakbima.lk

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ යළිත් වරක් ගිය සතියේ රටේ කතාබහක් ඇති විය. ඒ එම වංචාවට සම්බන්ධ බවට කියන සැකකරුවන් පිරිසක් රහස් ‍පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගය. මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතරේ සිටින්නේ හාල්මැස්සන් නොව තෝරු මෝරුය. ඔවුහු මහා ධන කුවේරයෝය. ලංකාවේ ප්‍රභූ පවුල් පරම්පරාවලට උරුමකම් කියන්නෝය.

මහ බැංකුව වංචාව පිළිබඳ ‍පොලිස් පරීක්ෂණ පැවැත්වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ‍පොලිස් අධිකාරි ප්‍රියන්ත අම්පාවෙල ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි.

මූල්‍ය අපරාධ පිළිබඳ පරීක්ෂණ රැසකට නායකත්වය දී ඒවා සාර්ථකව විසඳාගෙන ඇති ‍පොලිස් අධිකාරි ප්‍රියන්ත අම්පාවෙල ඒ විෂයය සම්බන්ධයෙන් මේ වන විට රහස් ‍පොලීසියේ සිටින විශේෂඥයාය. බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණ පවත්වා සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කළේ එවැනි අත්දැකීම් සහිත නිලධාරි කණ්ඩායමකි.

සාවද්‍ය පරිහරණය, ‍පොදු දේ‍පොළ විෂයෙහිලා සිදුකරන වැරදි කුමන්ත්‍රණය කිරීම මෙන්ම ඒවාට අනුබල දීම ඇතුළු චෝදනා හතක් සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම සැකකරුවන් දසදෙනෙකු නම් කළේය.

එහි පළමු සැකකරු වූයේ මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ය. ඔහු ‍පොලිස් අත්අඩංගුවට පත්වීමට පෙර සිංගප්පූරුවට පලා ගියේය. අර්ජුන් මහේන්ද්‍රන් එරටේ පුරවැසියෙකි. මේ සිද්ධියේ දෙවැනි සැකකරු වූයේ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන ඇලෝසියස්ය. තුන්වැනි සැකකරු වූයේ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමය. සිවුවැනි සැකකරු වූයේ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඖෂධි පලිසේනය. මෙයින් අර්ජුන ඇලෝසියස් හා කසුන් පලිසේන දෙදෙනා මීට ප්‍රථම ‍පොලිස් අත්අඩංගුවට පත්වූ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මාස එකොළහක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියහ. ඔවුන් දෙදෙනා ඇප මත මුදාහැරුණේ ඉකුත් ජනවාරි මාසයේදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊළඟට හඹා ගියේ මෙම නඩුවේ සෙසු සැකකරුවන් වෙතය. ඉකුත් 22දා නීතිපති උපදෙස් ලබාගත් අපරාධ පරීක්ෂණ නිලධාරීන් 24 වැනිදා කණ්ඩායම් හතරකට බෙදී සිය මෙහෙයුම ආරම්භ කළෝය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති රවි සෙනෙවිරත්න, එහි අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ උපදෙස් පරිදි ‍පොලිස් අධිකාරි ප්‍රියන්ත අම්පාවෙල එම මෙහෙයුමට නායකත්වය දුන්නේය.

ඒ අනුව ඔවුන් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි නමැත්තා පන්නිපිටිය පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබිය. ඔහු මෙම නඩුවේ දසවෙනි සැකකරුය. 2015/02/15දා වූ මහබැඳුම්කර වංචාව වූ අවස්ථාවේදී ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා වූයේ මොහුය.

පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂ පුෂ්පමිත්‍ර ගුණවර්ධන අත්අඩංගුවට ගනු ලැබුයේ කළුබෝවිල පිහිටි ඔහුගේ නිවසේදීය. ඔහු මෙම නඩුවේ හයවැනි සැකකරු වේ.

මෙම බැඳුම්කර වංචා නඩුවේ හත්වෙනි සැකකරු වූ චිත්‍රා රංජන් හුළුගල්ලය. ඔහු ‍ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ වූ ඩී.ආර්. විජයවර්ධනගේ සමීපතමයකු වූද ඩී.ආර්. විජයවර්ධන චරිතාපදානය ලියූ එච්.ඒ.ජේ. හුළුගල්‍ලේගේ මුනුපුරාය. එමෙන්ම රංජන් හුළුගල්‍ලේ විජයවර්ධන පරම්පරාවේ ඥාතියෙකුද වේ. ‍ලේක්හවුස් ආයතනයේ මූල්‍ය ප්‍රධානියා ලෙස ඔහු පත්වීම් ලැබුවේ පසුගියදා රුවන් විජයවර්ධන ජනමාධ්‍ය රාජ්‍ය ඇමැතිධුරයට පත්වීමෙන් පසුවය. මූල්‍ය වංචාවකට චෝදනා ලද පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන රංජන් හුළුගල්‍ලේ ‍ලේක්හවුස් මූල්‍ය ප්‍රධානියා ලෙස පත්කිරීම ගැන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී රුවන් විජයවර්ධන ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය. එම තනතුරට රංජන් හුළුගල්‍ලේට සුදුසුකම් ඇති බවත් ඔහු පත් කළේ ඔහුගේ සීයා හා තම සීයා (ඩී.ආර්. විජයවර්ධන) සමග එකට වැඩකළ බැවින් ඒ.එම්.ඒ.ජේ. හුළුගල්ලට දැක්වූ සැලකීමට බවය.

කෙසේ නමුදු රංජන් හුළුගල්‍ලේ අත්අඩංගුවට ගනු ලැබුයේ ඔහු සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදීය. ඒ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදීය. ‍ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂවරයා වූ රංජන් හුළුගල්‍ලේ පදිංචිව සිටියේ ෂැංග්‍රිලා සුපිරි නිවාස සංකීර්ණයේය. අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අලුයම 5ත් 5.30ත් අතර එම නිවාස සංකීර්ණයට ගොස් එහි ආරක්ෂක නිලධාරියාගෙන් හුළුගල්ල මහතා හමුවීමට අවශ්‍ය බව පවසා ඇති අතර එහිදී දුරකථනයෙන් පෞද්ගලික ආරක්ෂකවරයා ඒ බව ඔහුට දන්වා තිබේ. එහිදී රංජන් හුළුගල්‍ලේ නිවාස සංකීර්ණයේ අතිරේක දොරකින් රථ ගාලට ගොස් මෝටර් රථය ගෙන පලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බවද ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නඩුවේ අටවෙනි සැකකරු වූයේ මට්ටක්කුලිය, මෝදර පදිංචි පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂ මුතුරාජ සුරේන්ද්‍රන්ය.

මෙම සිව්දෙනාම අත්අඩංගුවට ගත් පසු ‍පොලිස් නිලධාරීන් කණ්ඩායම පෙරවරු 10ට පමණ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගම් සමූහයේ සභාපති වූ ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්ගේ නිවසට ගියහ. ජෙෆ්රි ඇලෝසියස් අර්ජුන ඇලෝසියස්ගේ පියාය. ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ඔහු මහා ධන කුවේරයෙකි.

කොල්ලුපිටිය, ක්වීන්ස් පාර පිහිටි ඔහුගේ නිවසට ගිය නිලධාරීන් කණ්ඩායම පළමුව මුණගැසුණේ ජෙෆ්රි ඇලෝසියස් නොව නිවසේ සෙසු පිරිසය. ඔවුන් පවසා සිටියේ මේ අවස්ථාවේ ජෙෆ්රි ඇලෝසියස් නිවසේ නොමැති බවය. එහෙත් නිලධාරීන් නිවස පරීක්ෂා කිරීමේදී කාමරයක සැඟවී සිටි ජෙෆ්රි ඇලෝසියස් නිලධාරීන්ට හමු විය.

මෙම නඩුවේ නව වන සැකකරු පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අජාන් ගාර්දි පුංචිහේවාද මෙරටින් පලා ගොස් සිටින හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කණ්ඩායමට මතෛක් හැකිව නැත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. මෙම සිද්ධියේ පුදුම කතාව වන්නේ මෙම සැකකරුවන්ට ඇප දීමට නීතිපති දෙපාර්තමේන්තුව කිසිඳු විරෝධයක් නොදැක්වීමය. එහෙත් සැකකරුවන්ට එල්ල වී ඇත්තේ රාජ්‍ය මුදල් වංචාවක් බැවින් ඔවුන්ට ඇප දීම ප්‍රතික්‍ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සැකකරුවන් ලබන 5දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

ශානිකා මාධවී පීරිස්

  1. මේ රස්නය මරණයෙන්ද කෙළවර විය හැක
  2. තුසිතපුරයේ අපා දුක් විඳින, රජකමටත් සුදුසු මිනිස්සු
  3. ජ’පුර සරසවියෙන් ලෝකයට අලුත් වැඩක්
  4. ශ්‍රී ලංකා-ඉන්දියා බැතිමතුන් එකට වැඳ වැටෙන කච්චදූව
  5. සිරිසඟබෝ රජු හිස දන් දුන්නේ අත්තනගල්ලේ දී නොවේ
  6. නීතිඥ නාගානන්දට වුණා වගේ පෙරකදෝරු රස්සාව නැතිවෙන්නේ කොහොමද?
  7. දකුණේ නිදන් හාරද්දී උතුරේ හාරන්නේ රත්තරන්
  8. අවුරුදු විසිපහක්ම රෝදපුටුවේ ගිය හමුදාවේ ධෛර්යය
  9. දරුවන් රකින්නට නුවර කලාවියේ දෙන අපූරූ දානය
  10. ස්ථාන මාරුවකින් කෙළවර වූ ජී. ටී. බොස්ගේ වැදි නැටුම
  11. ඉන්දියාවේදී කොටු වූ බ්ලූමැන්ඩල් සංඛ
  12. කැඩුණු අමුණ බැඳගන්නට මුදල් නැතිව අකලට මහලු වෙන ගමක්
  13. ජංගම දුරකථනයෙන් කතා කර කර දුම්රිය මග දිගේ එලොව යන්නෝ
  14. ඩුබායි ගෙන ගිය බව කියූ කෝටි 700 දියමන්තිය පානදුරෙන් මතුවූ හැටි
  15. මත්පෙති සමග ටෙලි නිළියක් කොටු වූ පොල්හේනේ බිච් පාටිය
  16. කාන්තාවන්ට දුම්රිය මැදිරි වෙන් කිරීමෙන් අනික් මැදිරි වල තද බදයක්
  17. නැගෙනහිර වෙරළේ ඇස්කිමෝ ගෙවල්
  18. ඉතිහාසයේ විශාලම මූල්‍ය ආයෝජනය සමග “ළඟම පාසල - හොඳම පාසල“ වන අයුරු
  19. අල ගෝනියක සැඟව හොංකොං ආ සියවසක් පැරණි බෝම්බය
  20. පාතාලයන්ට නම් තබන්නේ මෙහෙමයි
  21. ලංකාව කිට්ටුවත් මළ මුහුදක්
  22. ලංකාවටත් අලි සිතියමක්
  23. හලාවත බෝට්ටු හොරා ප්‍රංශයට මිනිසුන් ගෙනගිය හැටි
  24. මධුෂ් ගැන ගම්මු කියන කතාව
  25. සිංහරාජයේ සමනළයන්ට පාස්‍පෝට් දෙන්නට ගොස් වනජීවියට කොටු වූ සුද්දෝ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.