lakbima.lk

ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළසේනා මූලස්ථානය පිහිටා ඇත්තේ වවුනියාව බූ ඔයේය. එම හමුදා කඳවුරේ ඈත කෙළවරට වන්නට විවිධ ගස්මල්වලින් සෙවණ වූ තැනක පෙනෙන්නට ඇත්තේ සොහොන් කොත් කිහිපයකි. මේ සොහොන් කොත් යට නිදන්නේ සුනඛයන්ය. මේ සුනඛයන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු  බළකායේ රාජකාරි කරමින් වළදැමූ බිම් බෝම්බ සොයා ගැනීමේ කාර්යයට මැදිහත් වෙමින් කටයුතු කළ පිරිසකි.
ඉංජිනේරු බළසේනාවේ කපිතාන් නිපුන් කරුණාරත්න පවසන අන්දමට බිම්බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රොන්කෝ  කෝපරේෂන් ආයතනය සහ මාර්ෂල් ලෙගසි ආයතනය විසින් ලබාදුන් සුනඛයන් අතරින්, එම බිම් බෝම්බ ඉවත් කිරීමේ රාජකාරියේ යෙදී සිටියදී මිය ගිය සුනඛයන් 8 දෙනෙක් වෙනුවෙන් මෙම සුසාන භූමිය වෙන් කර තිබේ.
සින්ඩි, සීසීි, ලිහාඩා, වයෝමින්, කයිරෝ, ජැකී, බර්ජි, බල්ලහාන් යන සුනඛයන් සදාකාලික නින්දේ සිටින්නේ මේ සොහොන් ගැබ් තුළය.
මේ සුනඛයන් අතරින් කයිරෝ විශේෂ වූ අයෙකි.
2012 වර්ෂයේදී රටවල් 37ක් අතරින් බිම් වෙඩි ඉවත් කිරීමේ හොඳම සුනඛයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ කයිරෝය. එම සම්මානය කයිරෝට හිමි වූයේ ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදීය. කයිරෝ ඔහුගේ හසුරුවන්නාද සමග එම රටට ගොස් එම සම්මානය රැගෙන යළි දිවයිනට පැමිණියේය. කයිරෝ එම වකවානුව තුළ වර්ග මීටර 39,000කට වඩා භූමිය, බිම්බෝම්බ සොයා ගැනීමට කටයුතු කර තිබිණ. ඔහු සොයා ගෙන ඇති බිම් බෝම්බ සංඛ්‍යාව 130කි. පුපුරා නොගිය වෙඩි ද්‍රව්‍ය 65කට අධිකය. කයිරෝ ඇතුළු මේ සියලුම සුනඛයන් මිය ගොස් ඇත්තේ රෝගාතුර වීම නිසාය. එසේ නැතිනම් සිය ආයු කාලය සම්පූර්ණ කරය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සුනඛයෝ දෙවර්ගයක් සිටිති. එක් කොටසක් අනුයුක්ත කර ඇත්තේ කොමාන්ඩෝ බළසේනාවටය. සටන් සුනඛයන් ලෙස නම් කරන ඔවුන්ගේ රාජකාරිය ඇත්තේ අති විශේෂ පුද්ගලයන් වෙනුවෙන් ආරක්ෂාව සපයන කොමාන්ඩෝ සෙබළුන් සමග සේවය කිරීමය. පුපුරණ ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම, සතුරන් අඩපණ කිරීම වැනි වැඩ රාජකාරි ඔවුන්ට පැවැරී ඇත්තේය. යුද හමුදාවට සම්බන්ධ අනෙක් සුනඛයන් රාජකාරි කරන්නේ යුදහමුදා ඉංජිනේරු රෙජිමේන්තුව සමගය. බිම් වෙඩි හඳුනා ගැනීම ඔවුන්ගේ ප්‍රමුඛම රාජකාරිය වන්නේය.
මෙම සුනඛයන් රාජකාරි සඳහා යෙදවීම වෙනුවෙන්ද ක්‍රියාපිළිවෙතක් පවතී. අදාළ සුනඛයන් පරිත්‍යාග කරන්නේ විදේශීය සුනඛ පුහුණුකරුවාද සමගය. එම විදේශ පුහුණුකරු කඳවුරට පැමිණ සුනඛ හසුරුවන්නෙක් තෝරා ගැනීම කරයි. මෙහිදී ප්‍රධාන ලෙස සැලකිල්ලට ගන්නා කාරණය වන්නේ සුනඛ හසුරුවන්නා සුනඛයා සමග වැඩකිරීමට කැමැත්ත තිබේද යන්න සොයා බැලීමය. කිසිවක් අකමැත්ත මත සිදුකිරීම ඵලක් නොමැති බැවින් එම කැමැත්ත පිළිබඳව මුලින්ම අවධානය මෙසේ යොමු කරනු ලබයි. එසේම මෙය බැරෑරුම් කටයුත්තක් බැවින් සුනඛ හසුරුවන්නා සැමවිටම සුනඛයා සමග අවධානයේ සිටිය යුතු නිසා මෙම කැමැත්ත සියයට 100ක්ම තිබිය යුතුව ඇත.
එසේ සුනඛ හසුරුවන්නා තෝරා ගැනීමෙන් පසු මුලින්ම කරන්නේ හසුරුවන්නාගේ අණ වචනයට සුනඛයා කීකරු කරගැනීමය. එයට මාසයක පමණ කාලයක් ගත වේ. ඉන් අනතුරුව කෙරෙන්නේ වෙඩි ද්‍රව්‍ය හඳුනා ගැනීමට හුරු කිරීමය.
මෙම සුනඛයන් භාරව සිටින හසුරුවන්නාට නිවාඩු ගොස් හෝ විවිධ හේතුමත කඳවුරෙන් පිටත ගිය විට සුනඛයන් රාජකාරි කටයුතු සඳහා කිසිසේත් යොදවන්නේ නැත. අමතර හසුරුවන්නෙක් සිටිය ද ඔහුට ඇති රාජකාරිය වන්නේ සුනඛයාට කෑම බිම දී මූලික අවශ්‍යතා ඉටුකිරීම පමණකි.
මෙම සුනඛයන් රාජකාරිය කරමින් සිටියදී හදිසියේ අසනීප වුවහොත් මුලින්ම වව්වුනියාව පශු වෛද්‍ය ආයතනයට රැගෙන යන්නේය. රෝගය බරපතළ වී නම් යුද හමුදා කඳවුරේ ඇති ගිලන් රථයෙන් පේරාදෙණිය පශු වෛද්‍ය රෝහලට රැගෙන යනු ලබයි. සුනඛයන් හතර දෙනෙකු එහි ප්‍රතිකාර ලබා තිබේ. පශු වෛද්‍යවරුන්ගේ නිර්දේශය වන්නේ අවුරුදු 8කට වැඩි රාජකාරි ඉටුකළ පසු නැවත රාජකාරි සඳහා යෙදවීමක් නොකරන ලෙසය. අවුරුදු 8න් පසු ස්වාභාවිකවම වැලඳෙන රෝගී තත්ත්වයන් ඇති වීම සාමාන්‍ය තත්ත්වයකි. එසේම විශ්‍රාම ගිය සුනඛයන් ආදරයෙන් සෙනෙහසින් හා ගෞරවයෙන් රැක බලා ගැනීමද සුනඛ අංශය විසින් කරන සුවිශාල කාර්යයකි.  
සුනඛයෙකු මිය ගිය අවස්ථාවක සාමාන්‍ය මනුෂයෙකු වෙනුවෙන් කරනු ලබන සියලුම ගරු බුහුමන් ඒ ආකාරයට ඔවුන් වෙනුවෙන් කිරීමත් මෙහි විශේෂයකි.
සුනඛයා මිය ගියේ ස්වාභාවික මරණයකින් යැයි පශු වෛද්‍යවරයා තීරණය කර මරණ සහතිකය දුනහොත් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති අතර සොයා ගත නොහැකි දෙයකින් මිය ගියේ නම් මරණ පරීක්ෂණයක් කිරීමද මෙහිදී සිදුවෙයි. එහිදී සොයා බලන්නේ සුනඛයා මියගියේ හසුරුවන්නාගේ වරදින්ද, ස්වාභාවික හේතුවක් නිසාද යන්න අදාළ මරණ පරීක්ෂණය මගින් කරයි. පශු වෛද්‍යවරයා සහතික කළ පසු පූර්ණ ගෞරව සහිතව අවසන් කටයුතු සිදුකරයි.

පද්මිණි මාතරගේ

  1. කටුපොල් මාරයාගේ දිග පළල කරළියට
  2. උඩවලව ජාතික වනෝද්‍යානයට බලංගොඩින් නව පිවිසුමක්
  3. ලක්බිම හෙළිදරව්වෙන් පසු ගාමිණී දිසානායක පදනමෙන් සියවස් පිරි බාලම්මාට උපහාර
  4. යළි සුනාමියක් ආවොත් ලංකාවට මොකක් වෙයිද?
  5. ජංගම ග්‍රහලෝකාගාරයක් තනිවම හැදූ බදුරලියේ තරංග මුළු රටටම එකයි
  6. සංඥා බස අප බසටත් අප බස සංඥා බසටත් පෙරළන අලුත්ම මෘදුකාංගය
  7. හඬක් නැතිව පුපුරණ උතුරේ බිම්බෝම්බ
  8. දරුවන් යකඩ කඩෙන් බේරාගන්න සටන් කරන ටොයෝටා තාත්තලා
  9. බුදුන්ගේ පාද ස්පර්ෂය ලද පින්බිම දීඝවාපිය
  10. සංඝරත්නයේ චීවරය දේශපාලනඥයන්ගේ වළං අල්ලන දැලිකඩක් කරන්න දෙන්න එපා
  11. කාවන්තිස්ස රජුගේ අත්සන සහිත සෙල්ලිපියක් ඇති තරුලෙන්ගල
  12. ආදම්ගේ පාලම ජාතික උද්‍යානයට වින කටිනා ඌරුම‍ලේ හෝටල්
  13. නියගයෙන් බැට කන කාන්තාවෝ කල්පිටියේ වගා බිම්වල රැකියාවන් සොයා යති
  14. හදවත විවෘත නොකර කළ ලංකාවේ පළමු හදවත් කපාට සැත්කම
  15. "සොබා දහමේ යොවුන් ඇස' චිත්‍ර හා ඡායාරූප ප්‍රදර්ශනය 21 සිට
  16. කොළඹ කනත්තේ හුදකලා වූ ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් වෙහෙර ගෙය
  17. රටටම සර්වඥ ධාතු බෙදාදුන් නීලගිරි සෑය
  18. බෙරපදයක හඬට පත්තු වෙන සබරගමු මහ සමන් දේවාලයේ කාලතුවක්කුව
  19. එකම දවසේ එකම කුස ඉපදී එකම දවසේ හමුදාවට බැඳී එකම දවසේ මේජර් ජෙනරාල්වරුන් වූ සොහොයුරන් දෙදෙනා
  20. පරිගණක ක්‍රීඩා කරන්න දෙන්න එපා: දරුවන්ගේ ඇස් දුර්වල වෙනවා
  21. හොඳ පුරවැසියෙක් සමාජයට දායාද කරන තැන දහම් පාසලයි
  22. හදවත විවෘත නොකර කපාට බද්ධ සැත්කම් තුනක් මෙරට දී පළමු වරට
  23. බුද්ධි නදීශාන්ගේ වර්ණාවලි යන්ත්‍රයට ලෝකයේ මුල් තැන
  24. අප ක්ෂණික ආහාර පසුපස දිව යද්දී ඕස්ටේ‍්‍රලියාවත් කාබනික ගොවිතැනට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.