lakbima.lk

දිනය පසුගිය 31 වෙනි ඉරිදාය. ඉස්ටේෂන් මාස්ටර් වෙල්ගම මහත්තයා හාන්සි පුටුවේ ඇලවී උන්නේය. ඊළඟ දුම්රිය එනතුරු වෙනදා මෙන් අලස සුව විඳින්නට ඔහුට අද නොහැකි සේය. පසෙක බිත්තියේ එල්ලා ඇති බිත්ති ඔරලෝසුව රාත්‍රී නවයේ කණිසම සටහන් කරද්දී ඔහු හුනස්නෙන් නැගී සිට දුම්රිය ‍පොළේ වේදිකාවට කර‍පොවා බැලුවේය. මහත්තයෝ වගට ටිකට් එකක් දෙන්න ටිකට් කවුන්ටරය දෙසින් නැගුණ හඬ ඔහුගේ සිතුවිලි ලෝකය බිඳ දැමුවේය. ටිකට් එකක් තමාටම මුමුණා ගත් ඔහු වහා ප්‍රවේශ පත්‍ර කවුන්ටරය වෙත පිය මැන්නේය. පසෙක ඇති ටිකට් කැබිනෙට්ටුවේ නියමිත ටියුබයට අත තැබූ ඔහු වග දක්වා වන ප්‍රවේශ පත්‍රය අතට ගත්තේය. අඟල් 2 1/4 දිග දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනදාට වඩා බර වැඩි යැයි ඔහුට සිතුණි.

කෝච්චිය එනවා මහත්තයා මගියා ප්‍රවේශ පත්‍රය කඩිනම් කළේය. ආ මෙන්න. දින මුද්‍රක යන්ත්‍රයට ප්‍රවේශ පත්‍රය ඇතුළු කළ ඔහු එය සැණින් මගියා අත තැබුවේ මහා බරක් බිම තැබූ ලෙසිනි. තමා මේ නිකුත් කළේ වසර සියයකට ආසන්න ඉතිහාසයක් ඇති මාලපල්ල දුම්රිය ‍පොළේ අවසාන ටිකට් පත බව දුම්රිය ස්ථානාධිපතිතුමා දැන සිටියද මගියා ඒ බව දැන සිටියේ නැත. ඔහු සැහැල්ලුවෙන් දුම්රියට ගොඩ වූයේය. බර අඩි තබමින් වේදිකාවට ගොඩවූ එස්.එම්. වෙල්ගම සිය නළාව මුවට ගත්තේය. බොහෝ බර හදවතින් මාලපල්‍ලේ නතර කළ අවසන් දුම්රියට පිටත් වීමේ සංඥාව දුන් ඔහු දුම්රියේ අවසන් මැදිරියේ රතු පැහැ විදුලි බුබුල ඈත වංගුවෙන් නොපෙනී යනතුරු බලා සිටියේය.

පසුගිය මාර්තු 31 වැනිදා රාත්‍රී නවයකුත් ගණනකට අවිස්සාවේල්ල බලා ගිය දුම්රියට පසු එලෙස වසා දැමූ මාලපල්ල දුම්රිය ‍පොළ කැලණිවැලි මාර්ගයේ හමුවන අද්විතීය සිහිවටනයකි. අදින් සිය වසකට පමණ පෙර ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට නතුව තිබූ සමයේ ඉදිවූ මාලපල්ල දුම්රිය ‍පොළ එවකට හැඳින්වූයේ කොට්ටාව නමිනි. කොළඹ සිට යටියන්තොට දක්වා ගමන් ගත් කැලණි මිටියාවත් දුම්රිය මෙන්ම ඕපනායක දක්වා ගමන් ගත් සබරගමු දුම්රියටත් මේ කොට්ටාව දුම්රිය ‍පොළ සුවිශේෂී නවාතැනක් විය. ලූප්ලයින් සහිතව දුම්රිය දෙකක් මාරු විය හැකි පරිදි ඉදිවූ මෙම දුම්රිය ස්ථානයේ 1930 වනවිට බඩු ප්‍රවාහනය කරන සැහැල්ලු දුම්රිය ගැල් කිහිපයක් නතර කර තැබිම සාමාන්‍ය සිදුවීමක් විය.

මේ දුම්රිය ‍පොළ පිළිබඳ දෙපාර්තමේන්තුවේ පැරණි ‍ලේඛන පිරික්සීමේදී තහවුරු වූ කරුණක් විය. ඒ 1930 වනවිටත් කොට්ටාව (වත්මන් මාලපල්ල) බොහෝ ජනප්‍රිය මෙන්ම කාර්යබහුල දුම්රිය ‍පොළක්ව තිබූ බවය.

කොළඹ කොටුවේ සිට සැතපුම් 12කුත්, දම්වැල් 60ක් දුරින් පිහිටි කොට්ටාව දුම්රිය ‍පොළේ භාණ්ඩ ප්‍රවාහන සැහැල්ලු දුම්රිය ගැල් නතර කිරීමට අවසර දුන් බව එවැනි එක් ‍ලේඛනයක සඳහන් වෙයි.

එලෙස දිනෙන් දින කාර්යබහුල වූ කොට්ටාව දුම්රිය ‍පොළ මාලපල්ල ලෙස නම්කර ඇත්තේ 1950 මාර්තු පළවෙනිදාය. එදින මාලපල්‍ලේ වැසියෝ බොහෝ සේ ප්‍රීතියට පත්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික, නාවලපිටියේ ෂන්මුගම් පවසන්නේය.

ඒ කා‍ලේ මම ‍පොඩියි. අපේ තාත්තත් රේල්ලුවේ වැඩ කළා. මිනිස්සු කිරිබත් එහෙම උයලා ඉස්ටේෂමේ අයට ගෙනල්ලා දුන්නා ෂන්මුගම් පැරණි මතක අතරට පිවිසෙන්නේය.

කොට්ටාව මාලපල්ල බවට පත්වූ පසුවද එහි ජනප්‍රිය බව අඩු නොවීය. ඒ වනවිටත් මාලපල්ල ජනාකීර්ණ ගම්මානයකි. එහි වැසියෝ තම ගමේ අනන්‍යතාව ලෙස මාලපල්ල දුම්රිය ‍පොළ අවිවාදයෙන් පිළිගත්තෝය. වත්මන් කොට්ටාව එදා පැවැතියේ මානා ඉලුක් ආදියෙන් වැසීගත් හුදකලා බිම්කඩක් ලෙසිනි. කෙසේ වෙතත් 1956 පෙබරවාරි 15 වැනි දින කොට්ටාව නමින් දුම්රිය නැවතුම් ‍පොළක් (අචඪතඹචර ඩ්චතබ) විවෘත කර තිබූ අතර එය වත්මන් කොට්ටාව දුම්රිය ‍පොළට ඔබ්බෙන් පිහිටා තිබුණි.

එකල කොට්ටාව අවට දුම්රිය මගීන්ගේ සියලු අවශ්‍යතා ඉටුවූයේ මාලපල්ලෙනි. මාලපල්ල දුම්රිය ‍පොළේ සරුසාර බව විශ්‍රාමික දුම්රිය සේවක ෂන්මුගම් පවසනුයේ මෙසේය.

මම ‍පොඩි කා‍ලේ මේ පාරේ ගොඩක් ගියේ ජේ ක්ලස් එන්ජින්. සමහර ඒවා යටියන්තොට ඉඳන් මිනිරන් පටවන් එනවා. ඒවට දිව්වේ ලොකු එන්ජින්. අපි ඒවට කියන්නේ බිග් කේ.වී. කියලා. සිරිපාදේ කාලෙට ගොඩක් අය මාලපල්ලට ඇවිත් කෝච්චියේ නැග්ගා. කුරුවිටින් බැහැලා තමයි ඒ අය සිරිපාදේ ගියේ. ගොඩාක් එන්ජින් ඩ්‍රැයිවර්ලා බර්ගර් මහත්තුරු. ඊට පස්සේ හැන්ස්ලට් ඩීසල් එන්ජින් ආවා. ඒවා ‍පොඩියි කියලා පස්සේ කුරුප්පු එන්ජින් ගෙන්නුවා. මිනිස්සු කියන්නේ ඒවට ගවනර් එන්ජින් කියලා. මොකද ලංකාවේ ගවනර්ගේ ඒජන්සියෙන් තමයි ඒවා ගෙන්නලා තියෙන්නේ. ඒ   කා‍ලේ මාලපල්‍ලේ ඉස්ටේෂමේ පහළොවක්, විස්සක් විතර වැඩ කළා. පන්නිපිටියත් ලොකු ඉස්ටේෂමක් ෂන්මුගම් පවසන්නේය.

සියවසකට ආසන්න ඉතිහාසයක් තිබූ මාලපල්ල දුම්රිය ‍පොළ වැසී යෑම පිළිබඳ දුම්රිය ‍පොළ පෙනෙනා මානයේ පදිංචි කේ. මාලිනී මේ පිළිබඳ මෙසේ පැවැසුවාය.

මාලපල්ල දුම්රිය ‍පොළ කියන්නේ අපේ ගමේ අනන්‍යතාව. දැන් ඒක ඉවරයි. අපි කෙනකුට පාර කීවේ මාලපල්ල ඉස්ටේෂම ළඟ ඉඳන්. එහෙම නැත්නම් කොටුවෙන් කෝච්චියට නැගලා මාලපල්ලෙන් බහින්න කියලා. අවුරුදු සියයක් විතර ගම ගොඩනැගුණේ දුම්රිය ‍පොළ කේන්ද්‍ර කරගෙන. මිනිස්සුන්ගේ ජීවිතවලට ගොඩක් සමීප මේ ඉස්ටේෂම ආරක්ෂා කරලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ඈ පවසන්නීය.

මාලපල්ලෙන් දිගු කලක් ගමන් පහසුව සලසා ගත් ඉරේෂා සඳමාලී දැන් කෝච්චියට නගින්නේ කොට්ටාවෙනි.

මාකුඹුර තියෙන්නේ පේන තෙක් මානයේ වුණාට අපිට එතනට යන්න කරදරයි. ඒ වගේම අවදානම්. මොකද කෝච්චි පාර පැනලා යන්න ඕන. අපේ අයියා ඊයේ එහෙම යන්න හදන කොට රේල් බස් එක ළඟටම ඇවිල්ලා. සද්දේ ඇහිලා නෑ. තව ටිකෙන් හැප්පෙනවලු. ඒ හින්දා එයත් දැන් කෝච්චියට නගින්නේ කොට්ටාවෙන්. ඒක කරදරයි. ඒත් ආරක්ෂා සහිතයි. ගොඩක් අය දැන් ස්ටාෆ් වෑන්වලට පුරුදු වෙලා. අපරාදේ මාලපල්ල ඉස්ටේෂම තිබ්බා නම් කොතරම් වටිනවාද? හයිවේ එකේ එන අයට පහසුකම් දෙන්න අපිට තිබුණ පහසුකම ආණ්ඩුව උදුර ගත්ත. මේ මෝඩ ප්ලෑන් කාගෙද මන්දා? ඇය පවසන්නීය.

මාලපල්‍ලේ පදිංචි නිමල් පතිරගේද දුම්රිය ‍පොළ අහිමිව යෑමෙන් බොහෝ පීඩාවට පත්ව සිටියි.

අපේ ගමට මේ ආණ්ඩුවලින් දුන්න කෙහෙල්මලක් නෑ. සුද්දො දීලා ගිය ඉස්ටේෂමත් ඕං අයින් කළා. ඉස්සර මේක තමයි දුම්රිය ‍පොළ. පස්සේ මේක උප දුම්රිය ‍පොළක් කරා. ඊට පස්සේ වහලාම දැම්මා. දැන් මාලපල්‍ලේ අපි මාකුඹුරට යන්න නං කෝච්චි පාර පැනලා යන්න ඕන. ඒකට රේල්ලුවෙන් අවසර දීලා තියෙනවා. ඒත් ඒක නීති විරෝධීයි. බලන්න ඉස්සර කෝච්චි පාරට පය තිබ්බාම දඩ ගැහුවා. මෙන්න මෙතනින් කෝච්චි පාර හරහා ගියා කියලා මගේ තාත්තට සුද්දගේ කා‍ලේ සත පනහක් දඩ ගැහුවා. ඒත් දැන් ඒවා නෑ. නීති කඩන්න ලොක්කෝ අපිට අවසර දීලා. අපි කියන්නේ කාර්යාල දුම්රියවත් මාලපල්‍ලේ නවත්වන්න කියලා. මාකුඹුර කවදාවත් අපේ ඉස්ටේෂම ‍නෙවෙයි. මිනිස්සුන්ට තිබුණ පහසුකම් නැති කරලා දාන එකට සංවර්ධනේ කියලා කියන්නේ ලංකාවේ විතරයි මගේ හිතේ පතිරගේ ආවේගාත්මකව පවසන්නේය.

මාලපල්ල දුම්රිය ‍පොළ වසා දැමීම පිළිබඳ වගකිව යුත්තන්ට විරෝධය නොදැක්වූයේ ඇයිදැයි අප නිමල් පතිරගේගෙන් විමසුවෙමු.

ඇයි නැත්තේ? ඒත් වැඩක් වුණේ නෑ. ඒ හින්දා මීළඟ ආණ්ඩුව පත්වුණාම අපි ගමට සාධාරණයක් කරගන්න බලනවා නිමල් පතිරගේ පවසන්නේය.

මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානය, අධිවේගී මාර්ගය වැනි දැවැන්ත සංවර්ධන ක්‍රම නිසා පාරම්පරික ගම්මානයක් වූ මාලපල්ල අද වන විට ගැටලු ගණනාවකට මුහුණ දෙමින් සිටින බව එහි ගම්වැසියෝ පවසති.

බලන්න, මේ ළඟ ෆ්ලැට් එකක් හදනවාලු කෝච්චි පාර දෙපැත්තේ අය පදිංචි කරන්න. මීට කලිනුත් කොටසක් එහෙම පදිංචි කළා. එතන නානාප්‍රකාර මිනිස්සු. කුඩුකාරයෝ, හොරු. ගමේ අයට හරි කරදර. අපි නාපු ළිඳ තියෙන්නේ පාරෙන් අනිත් පැත්තේ. දැන් ඒ පැත්තට යන එකත් අමාරුයි. වෙල් ටික ගොඩ කරපු නිසා වතුරත් අඩුයි ඔවුහු මැසිවිලි නගති.

මාලපල්ල දුම්රිය ‍පොළ මරා උපන් මාකුඹුර දුම්රිය ‍පොළ පිළිබඳ මගීන් තුළද එතරම් ප්‍රසාදයක් නැත. කොස්ගම යන්නට රේල් බසය පැමිණෙන තුර සිටි ගුණපාල පුංචිහේවා තම අප්‍රසාදය මෙසේ පළ කළේය.

මේකේ ඉස්ටේෂන් එකක පෙනුම නෑ. බලන්නකෝ නිකං ගේ‍රාසරියක් වගේ. ලංකාවේ හැම ඉස්ටේෂමේම බෝඩ් එක එකම විදිහට හදන්නේ. වේදිකාවට ඇතුළු වෙනකොටම ඕන කෙනකුට පේනවා. ඒත් බලන්න මේකේ බෝඩ් එක හයි කරලා තියෙන්නේ අඩි 30 ක් විතර උස වහ‍ලේ. පුංචි අකුරු. කාටද මේවා පේන්නේ? ඔහු පැවැසුවේය.

ගමකට අභිමානය කැන්දූ මාලපල්ල ඉස්ටේෂම  වසා පැරෂුටයකින් බැස්සූ මාකුඹුර දුම්රිය ‍පොළ පිළිබඳ මාකුඹුරේ වැසියන්ගේ අදහස් විමසා බලන්නටද අපි අමතක නොකළෙමු.  අප හා අදහස් දැක්වූ බොහෝ දෙනකු පවසා සිටියේ දුම්රිය ‍පොළ පිළිබඳ එතරම් උනන්දුවක් තමුන් දක්වන්නේ නැති බවයි.

ඕක ඉතින් හයිවේ පැසෙන්ජර්ස්ලා ටාගට් කරලා කරපු වැඩක්නේ. අපි කොහොමත් යන්නේ බස්වල.

ඒ ඔවුන්ගේ සාමාන්‍ය අදහසයි. මාලපල්ලෙන් දුම්රියට ගොඩවූ පිරිසෙන් අඩකට ආසන්න පිරිසක් මාකුඹුර භාවිත නොකරන බව දුම්රිය සේවකයෝද පවසති. ඔවුන්ගේද එකම ඉල්ලීම මාලපල්ල උප දුම්රිය ‍පොළ ආරක්ෂා කරන ලෙසයි.

බලන්න කරවනැල්ල ඉෂ්ටේසම, මාගම්මන ඉස්කෝ‍ලේ විදියට තවම ආරක්ෂා වෙනවා. ඕපනායක ඉෂ්ටේසම දැන් ‍පොලීසියක්. අපි කියන්නේ මාලපල්ලත් එහෙම ආරක්ෂා කරන්න කියලා ඒ දුම්රිය සේවක මතයය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

  1. මේ කොළඹ නන්නත්තාර වන සතියයි
  2. ශිවශංකර් මෙනන් ගෝඨා හමුවෙන් රටට දෙන ඉඟිය
  3. එන්.ඩී.ටී. ගහලයෝ ශනිල්ක මරා ගනිති
  4. තරුණයකු අතුරුදන් කර වසර 11ක් නිදැල්ලේ සිටි ඒ.එස්.පී.
  5. බැඳුම්කර හොරකමේ තෝරු මෝරු හතරක් ඇල්ලූ මෙහෙයුම
  6. මේ රස්නය මරණයෙන්ද කෙළවර විය හැක
  7. තුසිතපුරයේ අපා දුක් විඳින, රජකමටත් සුදුසු මිනිස්සු
  8. ජ’පුර සරසවියෙන් ලෝකයට අලුත් වැඩක්
  9. ශ්‍රී ලංකා-ඉන්දියා බැතිමතුන් එකට වැඳ වැටෙන කච්චදූව
  10. සිරිසඟබෝ රජු හිස දන් දුන්නේ අත්තනගල්ලේ දී නොවේ
  11. නීතිඥ නාගානන්දට වුණා වගේ පෙරකදෝරු රස්සාව නැතිවෙන්නේ කොහොමද?
  12. දකුණේ නිදන් හාරද්දී උතුරේ හාරන්නේ රත්තරන්
  13. අවුරුදු විසිපහක්ම රෝදපුටුවේ ගිය හමුදාවේ ධෛර්යය
  14. දරුවන් රකින්නට නුවර කලාවියේ දෙන අපූරූ දානය
  15. ස්ථාන මාරුවකින් කෙළවර වූ ජී. ටී. බොස්ගේ වැදි නැටුම
  16. ඉන්දියාවේදී කොටු වූ බ්ලූමැන්ඩල් සංඛ
  17. කැඩුණු අමුණ බැඳගන්නට මුදල් නැතිව අකලට මහලු වෙන ගමක්
  18. ජංගම දුරකථනයෙන් කතා කර කර දුම්රිය මග දිගේ එලොව යන්නෝ
  19. ඩුබායි ගෙන ගිය බව කියූ කෝටි 700 දියමන්තිය පානදුරෙන් මතුවූ හැටි
  20. මත්පෙති සමග ටෙලි නිළියක් කොටු වූ පොල්හේනේ බිච් පාටිය
  21. කාන්තාවන්ට දුම්රිය මැදිරි වෙන් කිරීමෙන් අනික් මැදිරි වල තද බදයක්
  22. නැගෙනහිර වෙරළේ ඇස්කිමෝ ගෙවල්
  23. ඉතිහාසයේ විශාලම මූල්‍ය ආයෝජනය සමග “ළඟම පාසල - හොඳම පාසල“ වන අයුරු
  24. අල ගෝනියක සැඟව හොංකොං ආ සියවසක් පැරණි බෝම්බය
  25. පාතාලයන්ට නම් තබන්නේ මෙහෙමයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.