lakbima.lk

පසුගිය අප්‍රියෙල් විසි එක්වෙනි පාස්කු ඉරුදින කිතුනු දේවස්ථාන තුනක් සහ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කරගෙන එල්ල වූ මරගෙන මැරෙන බෝම්බ ප්‍රහාර නිසා රටේ සෑම ජන කොටසක් තුළම ඇතිවූයේ අසීමිත භීතියකි. කොළඹ ඇතුළු නගර බොහෝමයක්ම පාළුවට ගියේ ජනතාව නිවෙස්වලින් එළියට නොබැස තම ජීවිත
පිළිබඳ අසීමිත භයකින් කාලය ගත කළ නිසාය.

අන්තවාදීන් පිරිසකගෙන් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පසු බුර්කාව පිළිබඳ දැන් යළි වරක් රටේ ආන්දෝලනයක් ඇතිව තිබේ.  සම්පූර්ණ ශරීරය සහ මුහුණද වැසෙන පරිදි බුර්කාවකින් සැරසුණු කාන්තාවන් ලෙස පැමිණෙන අන්තවාදීන් පහසුවෙන්ම ප්‍රහාර එල්ල කළ හැකිය යන සිතුවිල්ල බොහෝ දෙනෙකු තුළ විය. එයට ‍පොහොර සපයමින් කාන්තාවක් ලෙස බුර්කාවකින් සැරසුන තරුණයකු වත්තලදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගනු ලදුව ‍පොලීසියට භාර දුණි.

කෙනකුගේ අනන්‍යතාව ප්‍රකට වෙන්නේ එම තැනැත්තාගේ මුහුණෙනි. මුහුණ වසාගත් අයකුගේ අනන්‍යතාවක් සොයා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය සමාජයෙන් මතු වෙන්නට විය.
එවැනි වාතාවරණයක් රටතුළ පවතිද්දී ඒ හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිවරයා විසින් මුහුණ ඇතුළු සම්පූර්ණ ශරීරය ආවරණය වන ඇඳුම ඇඳීම තහනම් කරන ලදී.

ජමෙයියල් උලමා සංවිධානයද තම මුස්ලිම් ප්‍රජාව වෙත නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසීමෙන් වැළකෙන ලෙසය. එහි මාධ්‍ය ප්‍රකාශක ෆාදිල් ෆාරුක් පැවැසුවේ මුහුණ ආවරණය කිරීමට අකමැති කාන්තාවන් නිවස ඇතුළටම වී සිටිය යුතු බවය.

මෙහිදී තහනමට ලක්වී ඇත්තේ මුස්ලිම් කාන්තාවන් අඳින දිග ගවුම නොව හිස සහ මුහුණ සම්පූර්ණයන් ආවරණය වන ඇඳුමය.

මුස්ලිම් කාන්තාවන් මෙලෙස හිස ආවරණය කරනු ලබන ක්‍රම කීපයක්ම ඇත. බුර්කාව මගින් සම්පූර්ණ ශරීරය සහ මුහුණද ආවරණය වන අතර දෑස් දැලකින් ආවරණය කරනු ලබයි. දෑස් පිටතට පෙනෙන මුහුණු ආවරණය “නිකාබ්” යනුවෙන් හඳුන්වනු ලැබේ.

“හිජාබ්” යනුවෙන් හැඳින් වෙන්නේ හිස සහ ගෙල ආවරණය කිරීමටය. “චදෝර්” යනු ශරීරය සම්පූර්ණයෙන් වැසෙන ලෝගුවකි. “ෂයිලා” යනුවෙන් හැඳින්වෙන්නේ හිස වටා දවටන දිගු සළුවටය. “අල්-අමීරා” යනුවෙන් හැඳින්වන්නේ ඒ කොටස් දෙකකින් යුතුවන හිස් අවාරණයටය. “චිමාර්” යනු කොණ්ඩය ගෙල සහ උරහිස් වැසෙන සේ පලඳින ආවරණයකි.

කාන්තාවක් තම මුහුණ හා මැණික් කටුව දක්වා අත් හැරෙන්න අනිකුත් සියලුම ශරීර අවයව නොපෙනෙන පරිදි ලිහිල් ඇඳුමක් ඇඳිය යුතු බව ඉස්ලාම් දහමෙහි විස්තර වෙයි. ‍පොදුවේ මෙය “හිජාබ්” යනුවෙන් හැඳින්වෙයි. “හිජාබ්” යනු අරාබි වදනකි. එහි අරුත යමක් පෙනීමෙන් සැඟවීම හෝ වසං කිරීම යන්නය. හිජාබ් යන්න මුස්ලිම් කාන්තාවන්ගේ විනීත ඇඳුමය. නමුත් “හිජාබ්” යන්නෙන් මුස්ලිම් දහම එයට එහා ගිය අරුත් සමූහයක් පෙන්වා දෙයි. එය ඇඳුමකටත් එහාට විහිද කාන්තාවකගේ හැසිරීම, චර්යාව, කතාබහ සහ ‍පොදු ස්ථානයන්හි පෙනී සිටීම සංකේතවත් කරයි. “හිජාබ්” ඇඳුම එහි එක් මුහුණුවරක් පමණි.

ඉස්ලාමීය ආගමික විශාරදයන් පෙන්වා දෙන්නේ ඉස්ලාම් නීතියේ අරමුණ හුදෙක්ම කාන්තාවන්ට ඇඳුමක් නිර්මාණය කරදීම නොව සාරධර්මවලින් පිරුණ සමාජයක් බිහි කිරීමය. මුස්ලිම් කාන්තා ඇඳුම ක්‍රියාකරන්නේ එම අරමුණ ඉටුකර ගැනීම සඳහා වූ එක් සාධකයක් ලෙසය.

අල් කුර් ආනයහි විසි හතර වන පරිච්ජේදයහි තිස් එක්වෙනි වගන්තියෙහි මුස්ලිම් කාන්තා ඇඳුම පිළිබඳව දක්වා ඇත්තේ මෙසේය.
“ඔබ විස්වාසවන්ත කාන්තාවන් හමුවෙහි, ඔවුන්ගේ බැලුම් පහත්කර ගත යුතු යැයිද, ඔවුන්ගේ අලංකාරයෙ හා පිටතට පෙනෙන දේ හැර ඔවුන් වෙන කිසිවක් හෙළි නොකළ යුතු යැයිද, තමන්ගේ හිස් වැසුම් වස්ත්‍රය තමන්ගේ පියයුරු මත දමා ගන්නා ලෙසද පවසන්න.

තවද ඔවුන් තමන්ගේ අලංකාරය තමන්ගේ ස්වාමිපුරුෂයන් හෝ තමන්ගේ පියවරුන් හෝ, තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ පියවරුන් හෝ තමන්ගේ පිරිම දරුවන් හෝ තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ සහෝදරයන් හෝ තමන්ගේ සහෝදරයන්ගේ පිරිමි දරුවන්  හෝ තමන්ගේ ගැහැනුන් හෝ ගැහැනුන් කෙරෙහි  ඇල්මක් නැති ඔවුන්ට සමීපයෙහි ජීවත් වන මහලු පිරිමින් හෝ ගැහැනුන්ගේ රහස් ස්ථාන ගැන අවබෝධ නොකරගත් කුඩා ළමුන් හමුවෙහි හැර අනිකුත් අය හමුවෙහි හෙළි නොකළ යුතුය.”


ඉස්ලාම් දහමෙහි කාන්තා ඇඳුම පමණක් නොව මුස්ලිම් පිරිමියෙකුගේ ඇඳුම පිළිබඳවද කරුණු දක්වා ඇත. පිරිමින් ශරීරයේ නාභියේ සිට දණහිස දක්වා ඇති කොටස් ආවරණය කළ යුතුය. ඔවුන් එම කොටස් නිරාවරණය කළ හැක්කේ තම බිරින්දෑවරුන් ඉදිරියේ පමණකි. තවද ඔවුන්ගේ ඇඳුම් කාන්තාවන්ගේ හැඟීම් අවදිකරන තද වස්ත්‍රයන්ද නොවිය යුතුය.

පුවත්පත් කලාවේදියකු වන එම්. එස්.එම්. අයුබ්ගේ “යෝනකයා සහ බිරියන් සිව්දෙනා” කෘතියේ මුස්ලිම් කාන්තා ඇඳුම පිළිබඳව බොහෝ විස්තර ඇතුළත් වෙයි.
“මේ හැර මුස්ලිම් කාන්තාවන්ට රූපාලංකාරය සඳහා එතරම් වෙහෙසෙන්නට අවශ්‍ය නැත. ඊට ප්‍රධාන හේතුව ඔවුන් මුහුණත් මැණික් කටුවෙන් හා වළලුකරෙන් පහළ කොටස හැර මුළු සිරුරම ආවරණය වන පරිදි ඇඳුම් ඇඳිය යුතු වීමය.”

“දැන් දැන් ඒ සඳහා අබායා නම් අරාබි ඇඳුම ජනප්‍රියවෙමින් පවතී. එය උරහිස්වල සිට දෙපතුල දක්වා දික් වූ ගවුමකි. ඒවායේ අත් මැණික් කටුව දක්වා ඇත. මෙය හැඳ හිිජාබ් හෝ ෆර්දා යනුවෙන් හැඳින්වෙන ආවරණයකින් හිස ආවරණය කරගනු ලැබේ.

“ඉස්ලාමීය ඉගැන්වීම් අනුව කාන්තාවන් තම සිරුරේ හැඩය ඉලිප්පි පෙනෙන ආකාරයටත් ළැම, උකුල ආදී අවයව පමණ ඉක්මවා ඉලිප්පී පෙනෙන ආකාරයටත් ඇඳුම් නොඇඳිය යුතුය. අබායා මේ ඉගැන්වීමට මනා ලෙස ගැළපේ.”
“හිජාබ් හෙවත් කාන්තා හිස් ආවරණය විවිධය. ශ්‍රී ලංකාවේ වඩාත් බහුල වර්ගය සෘජු කෝණි ත්‍රිකෝණයකට සමාන ස්කාෆ් එකකි.

යෝනකයා සහ බිරියන් සිව්දෙනා කෘතියේ එම්.එස්.එම්. අයුබ් දක්වන්නේ ඔහු කුඩා කාලයේ මුස්ලිම් නිවසකට අමුත්තෙක් පැමිණියහොත්, එම නිවසේ කාන්තාවන් තම සේල කෙළවරින් මොට්ටැක්කිලියත් දමාගත් බවය. වෙනත් නිවසකට යන විටත් මහ මග යන විටත් එකල මුස්ලිම් කාන්තාවන් අනුගමනය කළේ එම පිළිවෙතය.
“පිටිසර පළාත්වල සහ දෙමළ ආභාෂය වැඩි ප්‍රදේශවල මුස්ලිම් තරුණියෝ දෙමළ චිත්‍රපටවල ගම්බද තරුණියන් මෙන් දිග සායත් හැට්ටයක් ඇඳ ළැම වැසෙන සේ රෙදි පටක් පටලවා ගනිති. ඔවුන් හිස වසා ගන්නට යොදා ගන්නේද මේ රෙදි පටය.

අම්පාරට නුදුරු පසුගියදා වඩාත් කතා බහට ලක්වූ සෙයින්දමරදු ගම්මානයේ ඉපිද කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ඉගෙනුම ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කලා  උපාධිය ලබා, දේවි බාලිකා විද්‍යාලයේ උගන්වා කොළඹ මුස්ලිම් කාන්තා විදුහ‍ලේ විදුහල්පතිනිය ලෙස සේවය කළ ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක වන ජෙසීමා ඉස්මයිල් පවසන්නේ බුර්කා ඇඳුම් මුස්ලිම් කාන්තාවන් මෑතදී අඳින්නට ආරම්භ කළ එකක් මිස ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන් අතීතයේ සිටම අඳින ඇඳුමක් නොවන බවය.

“අපේ අම්මලා සාරි ‍පොටෙන් තමයි ඔළුව වසාගත්තෙ. ගොවිපළට යද්දිත්, කඩ පිළට යද්දිත් ඒ විදියට තමයි ඇන්දේ” ජෙසීමා ඉස්මයිල් පවසයි.
ඇය පවසන ලෙසින්ම අතීතයේ අරාබියේ හෝ ඉන්දියාවේ සිට පැමිණි මුස්ලිම්වරු, ඔවුන් සමග පැමිණි බිරින්දෑවරුන් හෝ මෙරට කාන්තාවන් විවාහ කරගත් පසු ලාංකික සමාජයේ පැවැති ඇඳුමට තම සංස්කෘතිය මුසුකර ගත්හ.

සිංහල කාන්තාවන් මෙන් සාරිය ඇන්ද මුස්ලිම් කාන්තාවන් සාරිය ඇඳ සාරි‍පොට හිස මත තබාගෙන හිස ආවරණය කර ගත්තා. ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන්ගේ ප්‍රථම ඇඳුම එය විය. පර්දාව ජනප්‍රිය වූයේ එයට පසුවය. මුස්ලිම් තරුණියන්ගේ ජනප්‍රිය ඇඳුම සල්වාර් ඇඳුම වූ අතර එයට අයත් සලුවෙන් හිස වසා ගත්හ.

කළු ලෝගුව සහිත බුර්කා ඇඳුම මෙරට මුස්ලිම් කාන්තාවන් අතර ප්‍රචලිත වන්නට වූයේ එක්දහස් නවසිය අසූව අනුව කාලයේ පටන්ය. ඒ මුස්ලිම් කාන්තාවන් මැද පෙරදිග රටවල සේවය කිරීමට පටන් ගැනීමෙන් පසුවය.
යොනකයා හා බිරියන් සිව් දෙනා කෘතියේ කර්තෘ මෙන්ම ඩේලි මිලර්  පුවත් පතේ උපදේශක ප්‍රවෘත්ති කර්තෘ එම්. එස්. එම්. අයුබ් පවසන ලෙස, ශුද්ධ වූ කුරානයේ මුස්ලිම් කාන්තාවන් තම ළැම වසා ගන්නා ඇඳුමෙන් හිස වසා ගත යුතු යැයි සඳහන් වූවත් එය සිදුවිය යුත්තේ හිස සිට නළල හරහා පහතටද, නැතිනම් එම වසාගැනීම සිදුවිය යුත්තේ හිසේ එක් පාර්ශ්වයක් හරහා යන්න අන්දම පිළිබඳව සඳහනක් නොවන නිසා මෙම ගැටලුව ඇති වූ බවය.
“ආගමේ කොහොමත් බුරුකා ඇඳුමක් ගැන සඳහන් වෙන්නෙ නැහැ” පුවත්පත් කලාවේදී එම්. එස්. එම්. අයුබ් පැවැසීය.

මුස්ලිම් ආගමෙන් කියන්නේ කාන්තාවන්ගේ ඇඳුම් ගෞරවනීය විය යුතු කියලයි. බුර්කා ඇඳුම අපේ සංස්කෘතියට ආවෙ බැහැර ඉඳලයි. අපේ අම්මල ඉස්සර සාරි ‍පොටින් තමයි හිස වසා ගත්තෙ. මේ රටේ ඉන්න මුස්ලිම් අය සමාජයේ අනිත් අයට ගෞරව කරන්න ඕන. බුර්කා ඇඳුම සිංහල, දෙමළ ජනතාවගේ සිත් තුළ භයක් ඇති කරනවානම්, මුස්ලිම් කාන්තාවන් බුර්කාව නොඇඳිය යුතුයි.” ජෙසීමා ඉස්මයිල් කියන්නීය.

මෙලෙස පවසන ඇය කොළඹ මුස්ලිම් කාන්තා විදුහ‍ලේ වසර දහතුනක් සේවය කළ විදුහල්පතිනිය පමණක් නොවේ.  ඇය ලංකාවේ නැගෙනහි  පළාතේ මුස්ලිම් කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය සුරැකීම මෙන්ම මුස්ලිම් කාන්තාවන් අධ්‍යාපනය ලැබිමට උනන්දු කිරීමට විප්ලවීය වෙනසක් කිරීමට පුරෝගාමීව කටයුතු කළ තැනැත්තියෙකි. එමෙන්ම ඇය මුස්ලිම් කාන්තා පර්යේෂණ හා ක්‍රියාකාරී සංසදයෙහි හා  අධ්‍යක්ෂවරියකුද වෙයි.

 පීටර් කැනියුට් පෙරේරා

බුර්කාව තහනම් කළ රටවල්

ප්‍රංශය

ප්‍රසිද්ධියේ බුර්කාව පැලඳීම තහනම් කළ පළමු යුරෝපීය රට ප්‍රංශයයි. 2004 දී මෙම නීතිය පැනවුණු අතර ඊට අමතරව ‍පොදු පාසල්වල කුමන ආකාරයේ හෝ ආගමික සංකේතයන් ප්‍රදර්ශනය කිරීම සිසුන්ට තහනම්ය. 2011 දී බුර්කාව සම්බන්ධ නීති තවදුරටත් දැඩි කරන ලද අතර මෙය ප්‍රංශයේ තුළ පිළිනොගන්නා බව එවකට ජනපති නිකොලා සානෝයි පැවසීය. මුහුණ වැසෙන සේ ආවරණයන් ප්‍රංශයේදී දැමුවොත් යුරෝ 150ක දඩයකටද, කිසිවෙකු කාන්තාවනට එසේ පලඳින ලෙස බලකළොත් යුරෝ 30,000ක දඩයකටද යටත් විය යුතු වෙයි.

බෙල්ජියම

2011 දී බෙල්ජියම මුළු මුහුණම වැසෙන සේ ඇඳුම් ඇඳීම තහනම් කළ අතර එසේ කළොත් දින හතක සිර දඬුවමකට හෝ යුරෝ 1378ක දඩයකට යටත් විය යුතුවෙයි.

නෙදර්ලන්තය

2015 දී මෙරට සම්පූර්ණයෙන් මුහුණ වැසීම පාසල්, රෝහල් හා ‍පොදු ප්‍රවාහන සේවා තුළ තහනම් වූ අතර ආරක්ෂක හේතුමත විශේෂ අවස්ථාවන්හිදී එය තහනම් කිරීමට නීතියෙන් ඉඩ ලැබේ.

ඉතාලිය

2010 වසරේ ඉතාලියේ නොවාරා නගරය මුහුණ සම්පූර්ණයෙන් වැසීම තහනම් කළ අතර ඉතාලියේ ඇතැම් කොටස්වල බුර්කාව හා ඉස්ලාමීය කතුන් මුළු සිරුරම වැසෙන සේ පිහිනීමට අඳින ඇඳුමද තහනම්ය.

ස්පාඤ්ඤය

ස්පාඤ්ඤයේ නැටලෝනියාවේ ඇතැම් ප්‍රදේශවල බුර්කා හා නිකාබ් ඇඳුම් සඳහා තහනමක් පනවා තිබේ.

චැඩ්

2015 මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් පසු මෙරට සම්පූර්ණයෙන් මුහුණ වැසෙන සේ ඇඳුම් ඇඳීම තහනම් කරන ලදී. අගමැතිවරයා පවසා තිබුණේ විකිණීමට තබා ඇති සියලු බුර්කාවන් ගිනි තැබිය යුතු බවය. එරටදී බුර්කාවන් ඇඳ සිටින අයෙක් අත්අඩංගුවට ගෙන සිරගත කළ හැකි වෙයි.

කැමරුන්

බුර්කාවන් ඇඳගෙන සිටින අය විසින් මරාගෙන මැරෙන ප්‍රහාර සිදු කිරීමෙන් පසු තහනම් කරන ලදී.

නයිගර්

බොකෝ හරාම් ප්‍රහාර  එල්ලවන ප්‍රදේශයක මුහුණ වැසීම තහනම් කොට ඇති අතර හිස වසන හිජාබයද තහනම් කළ යුතු බවට එරට ජනපතිවරයා යෝජනා ගෙනවිත් තිබේ.

කොංගෝ

2015 සිට ත්‍රස්ත ප්‍රහාරයන් වැළැක්වීම සඳහා තහනම් කර තිබේ.

ස්විට්සර්ලන්තය

මෙරට ටෙසින් ප්‍රදේශයේ 2016 සිට මුහුණ වැසීම තහනම් වූ අතර එසේ කරන අයෙකුට යුරෝ 9200ක දඩයකට යටත් වීමට සිදුවනු ඇත.

ඩෙන්මාර්ක්, ඔස්ට්‍රියාව, තජිකිස්ථානය, ලැට්වියාව, බල්ගේරියාව, ගැබොන්, චීනය, කැනඩාවේ කුබෙක් ප්‍රාන්තය සහ මොරොක්කෝව මුහුණ සම්පූර්ණයෙන් වැසෙන සේ ඇඳුම් ඇඳීම තහනම් අනෙක් රටවල්ය.

2014 වසරේ මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධීකරණය මගින් බුර්කාව තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නොවන බවට තීන්දුවක් දී තිබේ.

නිශානි දිසානායක

  1. පාස්කු ඉරිදා සිට මාධ්‍ය හැසිරුණේ කොහොමද?
  2. ලොකු පුටු හයකට අලුත් මුහුණු හයක්
  3. පුපුරන්න බලා සිටින බෝම්බ නිෂ්ක්‍රිය කරන STF සෙබළු
  4. ගම්‍පොළදී අත්අඩංගුවට පත් සහරාන්ගේ ගෝල හක් සහෝදරයෝ
  5. ආරක්ෂක ‍ලේකම්වරු අස්කරන - පත්කරන රටේ සිටි බලවත්ම ආරක්ෂක ‍ලේකම්
  6. මුස්ලිම් අන්තවාදීන් මරා දැමූ ඔපරේෂන් සයින්තමරුතු
  7. මරාගෙන මැරුණු ප්‍රහාරයේ නායකයා සහරාන්ගේ මාමණ්ඩිය ‘ලක්බිම’ට කතා කරයි
  8. හැත්තෑහත් අවුරුද්දකට පෙර ජපන්නු කොළඹට බෝම්බ දැමූ පාස්කු ඉරිදා
  9. කතෝලිකයන්ට සුවිශේෂී වූ කොච්චිකඩේ සහ කටුවාපිටිය පල්ලි
  10. ප්‍රේමදාස මහත්තයා මරන්න එව්ව බාබු ගැන කලින්ම අනතුරු ඇඟෙව්වා
  11. ත්‍රස්තයන් මරාගෙන මැරෙන්නට කළ රහසිගත මෙහෙයුම
  12. බුර්කාව ත‍්‍රස්තවාදය හා අපේ උගතුන්
  13. ආරක්ෂක ප‍්‍රධානීන් පුටු සටනක:ජාතික ආරක්ෂාවට හෙණ
  14. අපේ ඔත්තු සේවාවන් කළේ කුමක්ද?
  15. ගමට නැති ආරක්ෂාව මළගමට ලැබුණ කටුවාපිටිය
  16. කැලිෆෝනියාවට ගිය ඒකීය රාජ්‍යයේ බිඳ වැටීම
  17. මානව සම්පත් කළමනාකාරිනිය තට්ටු අටකින් පහළට පැන්නාද වැටුණාද?
  18. මෙදා අවුරුද්දේ නැකත් සීට්ටුවට එක්වූ අලුත් නැකත
  19. මෙදා සැරේ පිටකොටුවේ වැඩියෙන්ම විකිණුණේ ඇඳුම් නොවෙයි ෆෑන්
  20. හද්දා පිටිසර තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය සමග විනෝද වූ ෆේස්බුක් සාදය
  21. මාලපල්ල මරා උපන් මාකුඹුරේ ඉස්ටේසම
  22. මේ කොළඹ නන්නත්තාර වන සතියයි
  23. ශිවශංකර් මෙනන් ගෝඨා හමුවෙන් රටට දෙන ඉඟිය
  24. එන්.ඩී.ටී. ගහලයෝ ශනිල්ක මරා ගනිති
  25. තරුණයකු අතුරුදන් කර වසර 11ක් නිදැල්ලේ සිටි ඒ.එස්.පී.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.