lakbima.lk

මේ ‍පොපි මල් සැමරුම් මාසය යි. රතු පැහැ කරදාසි මලක් පැලැඳ, යුද්ධයෙන් මිය ගිය විරුවන් සිහිකිරීමටත්, තුවාල ලැබූවන් වෙනුවෙන් උපකාර කරන්නටත්, ලෝකවාසී සියල්ලෝ ම මෙය සමරන්නේ,  සෑම වසරකදී ම නොවැම්බර් මාසයේදී ය. ශ්‍රී ලංකාවේද උත්සවාකාරයෙන් සැමරෙන මෙම සැමරුම, සෑම වසරකදී ම පැවැත්වෙන්නේ කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල පිහිටි කොළඹ මහජන පුස්තකාල භූමියෙහි වන යුද ස්මාරකය අබියසදී ය. මේ, ලෝක යුද්ධ සමයේ දී ගාලුමුවදොර බිම උපත ලබා, පසුව මහජන පුස්තකාල භූමිය සිය නවාතැන කරගත් මෙරට ප්‍රධානත ම යුද ස්මාරකයේ කතාව ය.

ලෝක යුද්ධ දෙකෙහිදී ම මිය ගිය ලාංකිකයන් ඇතුළු මිත්‍ර හමුදාවේ භටයන් සිහි කිරීම සඳහා යුද ස්මාරක කිහිපයක් ලංකාව පුරාම ස්ථාපිත කර ඇත්තේ ය. එහෙත් අපේ රටේ වන ප්‍රධානත ම යුද ස්මාරකය වන්නේ, කොළඹ මහජන පුස්තකාල බිමේ ඇති ස්මාරක කුලුන ය. “ජයග්‍රහණයේ ස්ථම්භය” නමින් විරුදාවලී ලබමින්, අභිමානවත් ව ඉහළට විහිදුන සෘජු සිලින්ඩරාකාර කුලුනක් වන මෙය අඩි එකසිය දහනවයයි අඟල් හයක උසකින් යුක්ත ය. කළුගල් සහ විශේෂ බදාම මිශ්‍රණයකින් ගොඩ නගා ඇති මෙම කුලුන මුදුනේ සමචතුරස්‍රාකාර කුටියකි. කුලුන අභ්‍යන්තරය හිස්ව ඇති අතර එමගින් ඉහළට නැගිය හැකි වන ලෙස තැනූ යකඩ ඉණිමගකි.

මේ යුද ස්මාරකය මුලින්ම උපත ලබන්නේ, කොළඹ ගාලුමුවදොර පිටියේය. ඒ, එක්දහස් නවසිය විසි තුනෙහි ඔක්තෝබර් විසිහත් වැනිදාය. ස්මාරකයෙහි සටහන් තබා ඇති ආකාරයට එය විවෘත කර ඇත්තේ, එවකට මෙරට ආණ්ඩුකාරවරයා වූ, විලියම් මැනිං විසිනි. ඒ සඳහා මුල්ගල තබා ඇත්තේ ද ඔහු ය. ඒ, එක්දහස් නවසිය විසි එකෙහි දෙසැම්බර් හත්වෙනිදා ය. එහෙත්  එක්දහස් නවසිය තිස් නවයේ දී ඇරඹුණු දෙවන ලෝක සංග්‍රාමයත් සමගින් මෙම කුලුන එතැනින් ඉවත් කිරීමේ අවශ්‍යතාව මතු කැරිණි. ඊට හේතු වූයේ, අහස උසට නැගි මේ කුලුන සතුරාගේ රුදුරු ඇසින් වසාලන්නට අපහසු වීම ය. ඒ කාලයේදී ගාලු මුවදොර ද යුද කටයුතු සඳහා යොදා ගැනිණි. අනෙක් අතට ඒ කාලය වන විට ජපනුන් විසින් ශ්‍රී ලංකාවට ද බෝම්බ දැමීමේ ආසන්න අනතුරක් ද පැවැති බව සමන් කළුආරච්චි ලියූ “කොළඹ පුරාණය” හි සඳහන් වන්නේ ය. එමනිසා තවදුරටත් මෙම ස්මාරකය ඒ බිමෙහි තැබිම අනතුරුදායක විය. ඒ, මෙම කුලුන හේතුවෙන් මෙරට ස්ථානගත පිහිටීම ඉහළ අහසේ සිට හඳුනා ගන්නට සතුරාට ඉඩහසර ලැබෙන බැවිනි. එබැවින් මේ කුලුන විනාශ කරන්නේ ද, නැතහොත් එය ගලවා ඉවත් කරන්නේ ද යන්න පිළිබඳව කඩිනම් තීරණයක් ගන්නට බ්‍රිතාන්‍ය පාලකයන්ට සිදු විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ, කුලුන ගලවා ඉවත් කිරීම සුදුසු බවට තීරණය වීමය. ගාලුමුවදොර පිහිටි කොළඹ ක්‍රීඩා සමාජයට අයත්ව තිබූ ගොඩනැගිල්ලක මෙම කුලුනේ කොටස් ගලවා තැන්පත් කරන්නට පියවර ගන්නේ ඒ අනුව ය. යුද ස්මාරකය මහජන පුස්තකාල භූමිය සිය ස්ථාවර නවාතැන කරගන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් අහවර ය.

ලෝක යුද්ධවලදී මිය ගිය විරුවන් සිහිකරමින් ඉදි කෙරුණ මෙම කුලුනෙහි සැලසුම් කටයුතු භාර වූයේ ඒ පිළිබඳ විශේෂඥයෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් එඩ්වින් එල්. ලුට්යෙන්ස් ට ය. ලන්ඩනයේ වයිට් හෝල් යුද ස්මාරකයේ සැලසුම් ශිල්පියා ද ඔහු යි. ඉන්දියාවේ මදුරාසියට ආසන්න ‍පොලින්ගාර් හි සිට නැව් මගින් ගෙන්වන ලද ටොන් එකත් හතරත් අතර බරකින් යුතු විශාල ගල්කුට්ටිවලින් මෙම ස්මාරකය නිමවා ඇත. ඉන්දියාවේ සිට පැමිණි දක්ෂ ශිල්පීන් පිරිසක් මෙහි ඉදිකිරීමට දායක වූ වග ද ඉතිහාස ග්‍රන්ථවල සඳහන් ය.

මෙම කුලුන ඉදිකරන්නට තීරණය වූ මුල් කාලයේදී බොහෝ දෙනා තුළ ඒ සම්බන්ධයෙන් පැවැතියේ විරෝධාකල්පයකි. මෙවැනි කුලුනක් සඳහා ඒ සා මුදලක් වැය කරනවාට වඩා, ඒ මුදලින් මිනිසුන්ට ප්‍රයෝජනවත් රෝහලක් හෝ නැවියන්ගේ විනෝදාගාරයක් සහිත නිවහනක් ඉදිකිරීම සුදුසු බවට ද මුල් කාලීනව මත පළවී ඇත්තේ ය. එහෙත් මෙහි සැලසුම් ශිල්පී ලුට්යෙන්ස් පවසා ඇත්තේ, නිදහස ආරක්ෂා කිරීම සඳහා දිවි දුන් විරුවන් සිහිකිරීම වෙනුවෙන් ඉදිකෙරෙන ස්මාරකයක වෙළෙඳ පරමාර්ථ කිසිවක් නැති බව ය.

කුලුන ඉදි වූයේ මියගිය විරුවන් සිහිකරනු වස් ය. එබැවින් එහි සටහන්ව ඇත්තේ යුද ගැටුම්වලට දිවි දුන් විරුවන්ගේ සදානුස්මරණීය නාමයන් ය. ඒ අනුව පළමු ලෝක යුද සමයේදී මිය ගිය භටයන් හාරසිය හතළිහකගේ නාමයන් එහි  රෝම ඉලක්කම්වලින් සඳහන් කර ඇත්තේ ය. එමෙන් ම එය, මහජන පුස්තකාල බිමෙහි තැන්පත් කළ පසු, ඒ පිටුපස අලංකාර කුලුනු හා පුවරු සහිත කොටසක් තනා, එහි දෙවැනි ලෝක යුද්ධයෙන් මිය ගිය භටයන්ගේ නම් සඳහන් කර ඇත.

ඊට අමතරව කුලුනේ නිමවා තිබෙන රාජකීය ඔටුන්නට පහළින් අට් යනුවෙන් සුවිශේෂී සටහනක් ද දක්වා ඇත. එහි අර්ථය “ජෝර්ජ් අධිරාජ්‍යයා” යන්න බව ඇතැම් තැන්වල සඳහන් වන්නේ ය.

ගයාත්‍රි ගීගනආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.