lakbima.lk

ජාත්‍යන්තර ‍පොලිසිය හෙවත් ඉන්ට‍පෝල් ආයතනයේ  සභාපතිවරයා ලෙස කටයුතු කළ චීන ජාතික මෙංග් හොංග්වේ හිටිහැටියේ අතුරුදන් වීම මෙයට මාස කිහිපයකට පෙර විශාල ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය. ඉන්ට‍පෝල් ආයතනයේ මූලස්ථානය පිහිටි ප්‍රංශයේ සිට සිය මව්බිම වූ චීනය වෙත ගිය අවස්ථාවක හොංග්වේ මේ ආකාරයෙන් අතුරුදන් වූයේ සැප්තැම්බර් මාසයේය. ඔහුට සිදු වූයේ කුමක්ද යන්න දින ගණනාවක් යනතුරුත් අබිරහසක්ව පැවැති අතර පසුව චීන රජය නිවේදනය කළේ අල්ලස් චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බවයි. මෙම සිද්ධිය සිදුවී මේ වනවිට මාස දෙකකට ආසන්න කාලයක් ගත වී තිබේ. මෙංග් හොංග්වේ ගැන එයට පසු වැඩි තොරතුරක් දැනගන්නට නොලැබිණි. කෙසේ හෝ වේවා ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියක් ඉන්ට‍පෝල් ආයතනය වෙත ලැබුණු අතර, ආයතනය මෙම ඉල්ලා අස්වීම භාරගත් බව ප්‍රකාශ විය. මේ සිදුවීම් දාමයට අදාළව දැන් තවත් අලුත් තොරතුරක් මාධ්‍ය හරහා වාර්තා වෙයි. එනම් ඉන්ට‍පෝල් ආයතනයේ නව සභාපතිවරයා ලෙස දකුණු කොරියානු ජාතිකයකු තෝරාගෙන ඇති බවයි. ඔහුගේ නම කිම් ජොංග්-යැංග්ය. හොංග්වේ යටතේ ඔහු උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ අතර හොංග්වේ අත්අඩංගුවට පත්වීමෙන් පසු වැඩ බලන සභාපතිවරයා ලෙසද ක්‍රියා කළේය. පසුගිය 21 වැනි දින ඩුබායි හිදී පැවැත්වුණු ඉන්ට‍පෝල් ආයතනයේ මහා සම්මේලනයේ දී කිම් එහි නව සභාපතිවරයා ලෙස පත් කරගෙන තිබේ.
කෙසේ වෙතත්, ඉන්ට‍පෝල් වැනි ආයතන තුළ ජාත්‍යන්තර දේශපාලන බලවේග ක්‍රියාත්මක වන ආකාරය නිරාවරණය කර පෙන්වීමට ද මෙම පත්වීම හා බැඳුණු ක්‍රියාවලිය සමත්ව තිබේ. මෙවර සභාපති ධුරය සඳහා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකු අතර තරගයක් තිබිණි. ඒ, කිම් ජොංග්-යෑංග් සහ ඇලෙක්සැන්ඩර් ‍ප්‍රොකෝප්චුක් අතරය. 57 හැවිරිදි ‍ප්‍රොකෝප්චුක් රුසියානු ජාතිකයෙකි. ඔහු ද මෙම ආයතනයේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කරයි. කෙසේ නමුත් සභාපති ධුරයට ඔහු පත්වීම වැළැක්වීමට ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු පාර්ශ්ව රැසක් කටයුතු කළ බවට තොරතුරු පළවී තිබේ. රුසියාව තුළ සිටින මානව හිමිකම් කණ්ඩායම් ද එයට අයත් බව සඳහන්ය. මේ ආකාරයෙන් ‍ප්‍රොකෝප්චුක් ට විරුද්ධ වීමට හේතුව වී තිබුණේ ඔහුට එරෙහිව කලකට පෙර එල්ල වී තිබූ චෝදනා වගයකි. විවිධ වැරදි සම්බන්ධයෙන් චුදිතයන්ව සිටින අය අත්අංඩගුවට ගැනීම සඳහා ඉන්ට‍පෝල් ආයතනය එවැනි චුදිතයන්ට එරෙහිව රතු නිවේදන නමැති වරෙන්තුවක් නිකුත් කරන බව රහසක් නොවේ. මෙම රතු නිවේදන ක්‍රමයට මුවා වී ‍ප්‍රොකෝප්චුක් රුසියානු රජයට සහ පුටින්ට එරෙහිව කටයුතු කරන දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. කෙසේ වෙතත් ඔහු එම ආයතනයේ උප සභාපති ධුරයකට පත් වීමෙන් පසු එවැනි චෝදනා එල්ල වී නොමැති බව ද සඳහන් වෙයි. යම් හෙයකින් ‍ප්‍රොකෝප්චුක් සභාපති තනතුරට පත් වී නම් ඔහු එම ධුරයේ බලතල යොදා ගනිමින් නැවතත් රුසියානු රජයේ විරුද්ධවාදීන් දඩයම් කිරීමට පටන්ගනු ඇතැයි පසුගිය දිනවල චෝදනා එල්ල වී තිබිණි. මේ නිසා ඔහුට එම ධුරය හිමිවීම වැළැක්වීම සඳහා බටහිර කඳවුර ඇතුළු පාර්ශ්ව විශාල බලපෑමක් කළ බව සඳහන් වෙයි. රුසියාව මේ පිළිබඳ සිය අප්‍රසාදය පළ කරමින් පවසා ඇත්තේ තම රටට එරෙහිව ක්‍රියාත්මක වන බලවේග නැවතත් ජයග්‍රහණය කර ඇති බවයි. ‍ප්‍රොකෝප්චුක් ගේ පරාජය හේතුව සිය විරුද්ධවාදීන් විසින් මුදාහරින ලද දැවැන්ත පීඩනය සහ මැදිහත්වීම් බව ද ඔවුන් ප්‍රකාශ කර තිබේ.


ඉන්ට‍පෝල් සභාපතිවරයා තෝරාගනු ලබන්නේ එහි සාමාජිකත්වය දරණ රටවල් 194 හි ඡන්දයෙනි. ‍ප්‍රොකෝප්චුක් සභාපති ධුරයට පත් වුවහොත් එය නරියාට කුකුළන් භාර දීම හා සමාන වනු ඇති බවට ඇමෙරිකානු සෙනෙට් සභිකයන් පිරිසක් පවසා තිබූ බැව් මාධ්‍ය වාර්තා කර තිබිණි. රුසියා විරෝධී තවත් පාර්ශ්වයක් පවසා තිබුණේ මෙය ඉන්ට‍පෝල් ආයතනය මාෆියාවට භාර දීමක් හා සමාන වනු ඇති බවකි. රුසියාව කියන්නේ ‍ප්‍රොකෝප්චුක් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම ඉන්ට‍පෝල් වැනි ජාත්‍යන්තර ආයතනයක ඡන්ද විමසීමකට අනවශ්‍ය ලෙස මැදිහත් වීමක්  බවයි. කිම් ජොං-යැංග් ට ඡන්ද 101 ක් ලැබි තිබූ අතර ‍ප්‍රොකෝප්චුක් ට ලැබි තිබුණේ ඡන්ද 61 ක් පමණි.
මේ වනවිට එක පැත්තකින් රුසියාව, චීනය වැනි පාර්ශ්වත්, අනෙක් පැත්තෙන් ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර කඳවුරත් අතර බල අරගල වඩාත් උණුසුම් වෙමින් ඇති ආකාරයක් දක්නට ලැබේ. මෙවැනි ජාත්‍යන්තර ආයතනවල තනතුරු සඳහා ඇති වන ඉහත කී ආකාරයේ අරගල තුළින් ද පිළිබිඹු වන්නේ එම තත්ත්වයම බව පැවැසිය හැකිය. දකුණු කොරියාව යනු බටහිර කඳවුරේ මිත්‍ර පාර්ශ්වයක් ලෙස සැලකෙන රාජ්‍යයකි. මේ අනුව ඉන්ට‍පොල් සභාපති ධුරයට දකුණු කොරියානුවකු පත්වීම බටහිර කඳවුරේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක්කකි.
මේ අතර චීනය විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු සභාපති මෙංග් හොංග්වේ ගැන තොරතුරක් නොමැති වීම ද නිතර අවධානයට හසුවන කාරණයකි.  චීන බලධාරීන් හොංග්වේ අත්අඩංගුවට ගෙන තිබුණේ අල්ලස් චෝදනා මතය. අල්ලසට, දූෂණයට එරෙහි දැවැන්ත මෙහෙයුමක් චීන ජනාධිපති ෂී ජින්පිං ගේ නායකත්වය යටතේ මේ වනවිට චීනය තුළ ක්‍රියාත්මක වෙයි.

පසුගිය කාලය තුළ තවත් ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිපදෙනකුම මේ ආකාරයෙන් දූෂණ චෝදනා මත අත්අඩංගුට පත් විය. වරක් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ එරට සුප්‍රකට නිළියක් මාස කිහිපයකට පසු නැවත එළියට පැමිණි අතර ඇය අත්අඩංගුවට පත්ව තිබුණේ බදු මුදල් පැහැර හැරීමේ චෝදනා මතයි. පසුව ඇය තම වරද ගැන ජනතාවගෙන් සමාව ඉල්ලීමට ද පියවර ගත්තාය. එපමණක් නොව නොගෙවා තිබූ බදු මුදල් ගෙවීමට ද ඇයට සිදු විය. ඇමෙරිකානු ඩොලර් මිලියන 130 කට ආසන්න මුදලක් ඇය මේ ආකාරයෙන් ගෙවා ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. (මෙය ලංකා මුදලින් රුපියල් කෝටි 2,000 කට ආසන්නය.) මෙම දූෂණ විරෝධී මෙහෙයුම ගැන එක පැත්තකින් පැසසුම් ලැබෙන අතර චීන පාලකයන්ට විරුද්ධ උදවිය අත්අඩංගුවට ගැනීම සඳහා ද මෙම  මෙහෙයුම යොදාගන්නා බවට ඇතැම් පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වෙයි. හොංග්වේ අත්අඩංගුවට ගැනීමට හේතුව ද එවැනි පළිගැනීමක් විය හැකි බව ඔහුගේ බිරිඳ ග්‍රේස් මෙංග්ගේ අදහසයි. ඇය තවමත් සිටින්නේ ප්‍රංශයේය. පසුගිය දිනෙක ග්‍රේස් පවසා තිබුණේ තම සැමියා ජීවත්ව සිටිනවා ද යන්න පවා තමාට සැකසහිත බවයි. මේ අතර තමාද අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක බව පෙනෙන්නේ යැයි ද ඇය සඳහන් කර තිබිණි. වරක් තමාට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබුණු බවත් සැමියාගේ අතුරුදන් වීම ගැන කතාකිරීමෙන් වැළකී සිටින ලෙස තර්ජනය කළ බවත් ඇය පවසා තිබිණි. මෙම ඇමතුම සම්බන්ධයෙන් ප්‍රංශයේ ආරක්ෂක අංශ විමර්ශනයක් සිදුකර තිබූ නමුත් එය සනාථ කරන සාක්ෂි සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් එය අත්හැර දමා ඇත.

නිහාල් පීරිස්
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.