lakbima.lk

ලංකා සමසමාජ පක්ෂය විසින් සකස්කළ සුවිශේෂ ‍පෝස්ටරයක් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල පසුගිය දිනවල දැකගත හැකිවිය. එම ‍පෝස්ටරයේ ලොකු අකුරින් ලියා තිබුණේ “ජනරජ දිනය සමරමු” යන පාඨයයි. 
 
1972 මැයි 22 දින මෙරට සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වී සමාජවාදී ප්‍රජාත්‍රන්තවාදී ජනරජයක් බවට පත්වූ බව බොහෝ දෙනාට අද අමතකව ඇත. 
 
“හැත්තෑවෙ සමගි පෙරමුණ ආණ්ඩුව කාලෙ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්කරන්න ප්‍රමුඛ ක්‍රියාමාර්ගයක් ගත්තේ ලංකා සමසමාජ පක්ෂය. අපි කවදත් ජනරජ දිනය අමතක කළේ නැහැ.” ලංකා සම සමාජ පක්ෂයේ දැනට සිටින පැරණිම සාමාජිකයකු වූද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ල.ස.ස.පයේ වත්මන් ජාතික සංවිධායක වරයා වන රුවන්වැල්‍ලේ වයි. ජී. පද්මසිරි පවසයි. 
 
“හැත්තෑ දෙකේ ඉඳල මැයි විසි දෙක ජනරජ දිනය රජයේ  නිවාඩු දිනයක්ව පැවතුණා. හැත්තෑ අටේදී ඒ නිවාඩු දිනය අවලංගු කළා ඔහු පවසන්නේ කනගාටුවෙනි. 
 
එක්දහස් නවසිය තිස් පහේදී ඇන්.ඇම්. පෙරේරා ඇතුළු නායකයන් ලංකා සම සමාජ පක්ෂය පිහිටුවා ගැනීමේ මූලික අභිප්‍රාය වූයේද ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරගැනීම බවත්, එම නායකයන්ගේ ජීවිත කාලය තුළදී එය ඔවුන්ට ඉටුකර ගැනීමට හැකිවීම ඔවුන්ගේ වාසනාවක් බවත් වයි.ජී. පද්මසිරි පවසයි. 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය එක්ව 1968 දී මහනුවර බෝගම්බර පිටියේදී සමගි පෙරමුණක් වශයෙන් අත්සන් කළ කරුණු විසිපහක් ඇතුළත්ව තිබූ ලියවිල්ලෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් නිදහස් වූ ජනරජයක් බිහිකළ යුතුය යන්න ඇතුළත්ව තිබූ බව හෙතෙම පවසයි. 
 
1948 ලංකාවට ලැබුණ නිදහස හැඳින්වූයේ ඩොමීනියන් තත්ත්වයේ ලැබුණ නිදහසක් ලෙසය. එම ඩොමීනියන් තත්ත්වය යටතේ ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍යයේ කිරුළ හිස දරාගත් රජු හෝ රැජින වූ අතර ඔහුගේ හෝ ඇයගේ මෙරට නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරයා කටයුතු කළේය. මේ අනුව ලංකාවේ නීතිමය කරුණු පිළිබඳව ඉහළම බලය තිබුණේ බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සලයටය. 
 
ලංකා රාජ්‍යයේ නායකයා රැජින හෝ රජු වූ නිසා ලංකා රජයට විරුද්ධව සිදුකරනු ලබන කුමන්ත්‍රණයක් හඳුන්වනු ලැබුයේද රජු හෝ රැජිනගේ ආණ්ඩුවට විරුද්ධව සිදුකරනු ලබන කුමන්ත්‍රණයක් ලෙසය.   
1962 ජනවාරි 24 දින යුද හමුදාවේ සහ ‍පොලීසියේ නිලධාරින් පිරිසක් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සිරභාරයට ගෙන රාජ්‍ය බලය ලබාගැනීම සඳහා සිදුකළ අසාර්ථක කුමන්ත්‍රණයේදී ඔවුනට චොද්නා නැගුණේ මහ රැජිනගේ රජයට විරුද්ධව සිදුකළ කුමන්ත්‍රණයක් ලෙසය.
 
එම කුමන්ත්‍රණය පිළිබඳව මෙරට සිදුකරන ලද අධිකරණ ක්‍රියාවලියේදී ඔවුන් වරදකරුවන් වූහ. නමුත් මේ පිළිබඳ අභියාචනයක් බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සලයට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් නිදොස්කරන තීන්දුවක් එහිදී ලැබිණි. 
 
හැට දෙකේ මෙම අසාර්ථක කුමන්ත්‍රණයට එවකට අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලකගේ නම ඈදී තිබිණි. 
එහි අවසාන ප්‍රතිඵලය 1962 පෙබරවාරි 26 දින මැදියම් රැයේ  සිරිමාවෝ අගමැතිනියගේ නිවේදනය නිකුත් විය. එංගලන්තයේ මහ රැජිනගේ ලංකා ආණ්ඩුව විසින් යෝජනා කළ පරිදි සර් ඔලිවර් ගුණතිලකගෙන් පසුව ලංකාවේ අග්‍රාණ්ඩුකාරයා ලෙස විලියම් ගොපල්ල මහතා පත් කිරීමට එංගලන්තයේ මහ රැජිනගේ කාරුණික එකඟතාවය පළවී ඇති බව එම පණිවුඩයේ සඳහන් විය.
 
එම පත්වීම 1962 මාර්තු 20 දින සිට වලංගු බවද එම නිවේදනයේ සඳහන් විය. මෙහි විශේෂත්වය වෙන්නේ එම වෙලාවටම බකිංහැම් මාලිගය විසින්ද එයාකාර නිවේදයක් නිකුත් කරනු ලැබිමයි. 
ඩොමීනියන් තත්ත්වය යටතේ ලංකාවේ පරිපාලන කටයුතු සිදු කෙරුණේ එලෙසින්ය. 
 
සෑම හමුදා ‍පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමෙහි රාජ්‍ය ලාංඡනය අනිවාර්යය විය. ඕනෑම යුද හමුදා නිලධාරියකු නිල ඇඳුමෙන් සැරසී සිටී නම්  තද වැස්සකදීවත් හිසට ඉහළින් කළු කුඩයක් ඔසවාගෙන සිටීම තහනම්ය. එය බ්‍රිතාන්‍ය රාජ්‍යත්වය සංකේත කළ ඔටුන්නට සිදුකරන අගෞරවයක් ලෙස සැලකුනි. 
හැත්තෑවේ මැතිවරණයෙන් සමගි පෙරමුණට තුනෙන් දෙකක බලයක් සහිත රජයක් පිහිටුවීමට අවස්ථාව ලැබිණි. 
 
ඔවුන්ගේ මැතිවරණ සටනේ ප්‍රථම හා ප්‍රධානම ‍පොරොන්දුව වූයේ ලංකාව බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් නිදහස් ජනරජයක් බවට පත් කිරීමට නීති සකස් කරනා බවය. 
 
එනිසා සමගි පෙරමුණ රජයේ ප්‍රථම ප්‍රයත්නය වූයේ ජනරජ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමය. එයට සහයක් ලෙස කලින් එකඟකරගත්  පරිදි ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමැති ධුරයට නීති  විශාරදයකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා පත් කෙරුණි. එම අමාත්‍යංශයේ ‍ලේකම් ධුරයට පත් කෙරුණේ ප්‍රකට නීතිවේදියෙකු වූ නොයෙල් තිත්තවැල්ලයි.
 
එසේම එතෙක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තිබූ සංස්කෘතික දෙපාර්තමේන්තුව සංස්කෘතික අමාත්‍යාංශය නමින් වෙනම අමාත්‍යාංශයක් බවට පත්වූයේද 1970 වේදීය. ඒ රට ජනරජයක් බවට පත්කිරීමේදී අවශ්‍ය කටයුතු කිරීම සඳහාය. එහි අමාත්‍යවරයා වූයේ එස්.එස්. කුලතිලකයි. ‍ලේකම් වරයා වූයේ එවකට කීර්තිමත් පරිපාලන නිලධාරියෙකු වූ නිශ්ශංක විජේරත්නයි.  
 
එක්දහස් නවසිය හැත්තෑව ජූලි 19 දින කොළඹ රාජකීය විද්‍යාල නව රඟහ‍ලේදී සියලුම මන්ත්‍රීවරුන් රැස්වූයේ ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ වැඩකටයුතු සඳහා මුල පිරීම සඳහාය. මෙහිදී කතා කළ ව්‍යවස්ථා සම්පාදන අමාත්‍ය ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා පැවැසුවේ රැස්වීම පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව තෝරා නොගෙන අලුත් නිවසකට ගොඩ වැදුණේ අලුත් දෙයක් නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් බවය. 
 
කොළඹ රාජකීය විදුහ‍ලේ නව රඟහ‍ලේදී රැස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ව්‍යවස්ථාදායක සභාවක් ලෙස කටයුතු කරමින් ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගන්නා ලදී. 
 
පිරිත් සජ්ක්ධායනා මධ්‍යයේ 1972 මැයි 22 දින දහවල් 12.43ට යෙදී තිබුණ සුබ මොහොතින් කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහ‍ලේදීම ගරු සිරිමාවෝ  බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී  ජනරජයේ ප්‍රථම අගමැතිනිය ලෙස දිවුරුම් දුන්නාය. 
 
ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමග සිදු වූ සුවිශේෂ පරිවර්තනයන් බොහෝය. බ්‍රිතාන්‍ය පාලන සමයේ 1948 - 72 දක්වා පවා මෙරට හැඳින්වූයේ සිලෝන් නැතිනම් ලංකාව නමිනි. ජනරජයක් බවට පත්වීමත් සමග අපේ රට “ශ්‍රී ලංකාව“ බවට පත්විය.
 
1972 වසරට පෙර මන්ත්‍රීවරුන් මෙන්ම හමුදා ප්‍රධානීන් මෙන්ම වෙනත් අමාත්‍යාංශ ආයතන ප්‍රධානීන්  දිවුරුම් දුන්නේ මහ රැජිනට පක්ෂ පාතවන බවය. නව ව්‍යවස්ථාව  සම්මත වීමෙන් පසු සියලු දෙනාම දිවුරුම් දෙන්නේ ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාතව සිටින බවටය. 
 
කිසියම් නඩුවක අභියාචනය සඳහා ප්‍රිවි කවුන්සලයට යොමු කිරීම වෙනුවට මෙරට උපරිමාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදාවූයේ 1972 මැයි 22 වැනිදායින් පසුවය. 
 
නව ව්‍යවස්ථාව සම්මත වීමත් සමග ලංකාව සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය යනුවෙන් හැඳින්වෙන්නට වූ අතර එම ව්‍යවස්ථාව මගින් මෙරට ඒකීය රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කෙරුණි. බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙමින් බුද්ධාගම ආරක්ෂා කිරීම සඳහා රජය   බැඳී සිටින බවත් එහි සඳහන් විය. 1956 එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක රජයෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වූ වග ප්‍රකාශ කළත් සිංහල භාෂාව, රාජ්‍ය භාෂාව ලෙස ව්‍යවස්ථාවට ඇතුළුවූයේ හැත්තෑ දෙකේ ජනරජ ව්‍යවස්ථාවෙන්ය. 
 
සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පැවැති සෙනෙට් මණ්ඩලය අහෝසි වූ අතර එක ව්‍යවස්ථාදායකත්වයක් බිහිවෙමින් එය ජාතික රාජ්‍ය සභාව යනුවෙන් හැඳින්වෙන්නට විය. පසු කාලයක එය පාර්ලිමේන්තුව - ව්‍යවස්ථාදායකය යනුවෙන් වෙනස්විය. 
 
හැත්තෑ දෙකේ ජනරජ ව්‍යවස්ථාව යටතේ මෙරට රැජිනගේ නියෝජිකත්වය අහෝසිව ගොස් අග්‍රාණ්ඩුකාරයා වෙනුවට නාමික ජනාධිපතිවරයකු පත් කරන ලදී. එලෙස පත් වූ ප්‍රථමයා විලියම් ගොපල්ලවය. 
 
ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූ විට ජාතික කොඩියේ මුළු හතරේ නියම බෝපත් පෙනුම ලැබෙනසේ  වෙනස්කළ අතර 1972 මැයි 22 ජනරජ දින උත්සවයේදී මෙම සංශෝධිත කොඩිය ඔසවන ලදී. 
1948ට පෙර අප බ්‍රිතාන්‍ය රාජ ලාංඡනය භාවිත කළ අතර 1948 සිට 1972 දක්වා භාවිත කළේ පලාපෙති සහිත වෘත්තයක් තුළ සිංහයා සිටින අතර එහි මුදුනෙහි ඔටුන්නක්ද පහතින් ලංකා යන්න සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන්ගෙන් සඳහන් විය. 
 
1972 මැයි 22 දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසුව එතෙක් පැවැති රාජ්‍ය ලාංඡනය වෙනුවට ජනරජ ලාංඡනයක් සකස් කෙරුණි. මෙය සකස් කිරීමේ කමිටුව වශයෙන් කටයුතු කළේ එවකට සංස්කෘතික අමාත්‍යාංශයේ ‍ලේකම්ව සිටි නිශ්ශංක විජේරත්න, නන්දදේව විජේසේකර, සෙනරත් පරණවිතාන, එම්.ආර්. ප්‍රේමරත්න, රෝලන්ඩ් සිල්වා, මැකී රත්වත්තේ ඇතුළු පිරිසකි. 
 
එම ජනරජ සංකේතයේ මැද සිංහයා දැක්වෙන අතර සිංහයා වටා පලා පෙති මෝස්තරයකි. මෙම චක්‍රය දරා සිටින්නේ පුන් කළසකි. පුන් කළසෙන් විහිදෙන වී කරල් දෙකකි. පුන්කළසේ දකුණු පස ඉරත්, වම් පස හඳත් දැක්වෙයි. ප්‍රධාන චක්‍රය මුදුනේ කුඩා චක්‍රය ඇතුළත ධර්ම චක්‍රය දක්නට ලැබෙයි. මෙම සෑම සංකේතයකින්ම ගැඹුරු අර්ථයක් නිරූපණය කෙරේ. 
 
එම කාලයේ ජනරජ ගීතයක් සඳහා රජය පත් කළ කමිටුවකින් ගීත රචකයන් වෙත ඇරයුම් කෙරුණි. කිසිදු සාර්ථක පබැඳුමක් නොලැබිණි. පසුව ඒ සඳහා රටේ ප්‍රකට ගීත රචකයෙක්ට ආරාධනා කෙරිණි. එහිදී තෝරා ගැනුණේ මහගම සේකරයන් පබැඳු “රත්නදීප ජන්ම භූමි” ගීතයයි. ඒත් සංස්කෘතික අමාත්‍යංශයේ ඉහළම තැන් වලින් පවසා සිටියේ එම ගීතයේ ජනරජ ව්‍යවස්ථාව ගැන කිසිවක් ඇතුළත්ව නැති බවය. 
 
“එහෙම නම් ජනරජ ව්‍යවස්ථාවට තනුවක් දාගෙන කියන්න” පිළිතුරු  දුන් මහගමසේකර එතැනින් පිටවී ගිය බවද ප්‍රකට කතාවකි. ඒ සමගම ජනරජ ගීතයද ලත් තැනම ලොප් වී ගියේය. එදා ජනරජ ගීතයක් ගැන කල්පනා කළද අදද ජනරජ ගීතයක් නැත්තේ ජනරජ ව්‍යවස්ථාවට තනුවක් දමන්නට බැරිවූ නිසා විය හැකිය.
 
 පීටර් කැනියුට් පෙරේරා
 
  1. ත‍්‍රස්ත ප‍්‍රහාර අවසානයේ එන ඩෙංගු ප‍්‍රහාරයට සූදානම්ද?
  2. මම කියපු දේ අද ඇත්ත වෙලා
  3. වැලට අහුවෙන සහරාන්ගේ ගෝලයෝ
  4. ‍පොළොන්නරුවේ ඇඟලුම් සේවිකාව පුලුස්සා මරා දැමූ “ප්‍රේමය”
  5. කාදිනල්තුමා නිවූ ජාතිවාදී ගින්න යළි ඇවිළුණු හැටි
  6. ෆේස්බුක් බ්ලොක් කළාම ඔක්කොම හරිද?
  7. මුස්ලිම් නෙවේ කියල අපිව පාකිස්තානයෙන් එළෙව්වා මුස්ලිම් කියල ලංකාවෙන් එළවන්න හදනවා
  8. බෝම්බයෙන් නතර කෙරුණ රෝද තුනේ චාරිකාව
  9. වෙසක් ඇත තොරණ නැත
  10. පාස්කු ප්‍රහාරයෙන් පසු රට ඇවිළුවාද ඇවිළුනාද
  11. සහරාන්ගේ පුහුණු කඳවුරුවල රහසිගත සැලසුම
  12. මඩකලපුව ෂරියා සරසවියේ අලගිය මුලගිය තැන් සොයා ගියෙමු
  13. පාස්කු බෝම්බයේ කෑලි ජන ජීවිත තුවාල කළ හැටි
  14. පාස්කු බෝම්බයෙන් යටගිය මධුෂ් කටුනායකින් මතුවෙයි
  15. රහස් බුද්ධි වාර්තා රට කළඹවමින් එළියට යන්නේ කොහොමද?
  16. බුර්කාව ලංකාවේ මුස්ලිම් කතුන්ගේ ඇඳුමක් නොවේ - මුස්ලිම් විද්වත්හු අදහස් දක්වති
  17. පාස්කු ඉරිදා සිට මාධ්‍ය හැසිරුණේ කොහොමද?
  18. ලොකු පුටු හයකට අලුත් මුහුණු හයක්
  19. පුපුරන්න බලා සිටින බෝම්බ නිෂ්ක්‍රිය කරන STF සෙබළු
  20. ගම්‍පොළදී අත්අඩංගුවට පත් සහරාන්ගේ ගෝල හක් සහෝදරයෝ
  21. ආරක්ෂක ‍ලේකම්වරු අස්කරන - පත්කරන රටේ සිටි බලවත්ම ආරක්ෂක ‍ලේකම්
  22. මුස්ලිම් අන්තවාදීන් මරා දැමූ ඔපරේෂන් සයින්තමරුතු
  23. මරාගෙන මැරුණු ප්‍රහාරයේ නායකයා සහරාන්ගේ මාමණ්ඩිය ‘ලක්බිම’ට කතා කරයි
  24. හැත්තෑහත් අවුරුද්දකට පෙර ජපන්නු කොළඹට බෝම්බ දැමූ පාස්කු ඉරිදා
  25. කතෝලිකයන්ට සුවිශේෂී වූ කොච්චිකඩේ සහ කටුවාපිටිය පල්ලි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.