lakbima.lk

 
අනාදිමත් කාලයක පටන් අපේ අලුත් අවුරුද්ද බැඳුණේ පරිසරයත් සමගය. එරබදු මලුත්, කොහෝ නාදයත් ඊට හොඳම සාක්ෂි සපයන්නෝය. එදා සිටම අලුත් අවුරුද්දේ සුබ නැකතට ආහාර අනුභව කරන්නට ප්‍රථමයෙන් ගසක් සිටුවා නැකතට වැඩ ඇරඹීම සිරිතකි. එහෙත් එදා මෙදා තුර කාලයේදී පැළ සිටුවීම සඳහා වෙනම සුබ නැකතක් අපේ අවුරුදු නැකැත් සීට්ටුවේ ඇතුළත් කර තිබුණේ නැත. නමුත්, මේ අවුරුද්දේ නැකැත් සීට්ටුවට පැළ සිටුවීම සඳහා අලුතින් නැකැතක් සාදන්නට නැකැත් කමිටුව පියවර ගෙන තිබිණි. 
 
ඒ අනුව අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත යෙදී තිබුණේ ඉකුත් පහළොස්වැනිදාය. එදින පූර්ව භාග එකොළහ පසුවී මිනිත්තු දහහතක් ගත වූ කල්හි, ශ්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ රෝපණය කිරීම මැනැවැයි නැකැත් සීට්ටුවේ දැක්විණි.
 
අලුත් අවුරුද්දට නැකැත් හදන්නේ ජාතික නැකැත් කමිටුවයි. ඔවුන්  ඒ  සඳහා ලකලෑස්ති වෙන්නේ ඊට පෙර වසරේ ජුනි මාසයේ පටන්මය. ඒ අනුව මේ අවුරුද්දේ ද නැකැත් හදන්නට ජාතික නැකැත් කමිටුව ඉකුත් වසරේ ජුනි මාසයේදී රැස් විය. එහෙත් එදා මේ නැකැත් සීට්ටුවට පැළ සිටුවීම වෙනුවෙන් නැකැතක් තනන්ට අදහසක් ජාතික නැකැත් කමිටුවට තිබුණේ නැත.
 
“අපි අවුරුදු නැකැත් හදලා ඉවර වුණාම තමයි, අවුරුද්ද නිමිත්තෙන් පැළ දසදහසක් සිටුවීමේ අදහස කරළියට ආවෙ. ඒත් පැළ සිටුවීම සඳහා නැකැතක් සැකසීම ජාතික නැකැත් කමිටුවට භාර දෙන්න ඕන කියල සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කරනවා. 
 
ඒ සඳහා නැකැතක් හදන්න නැකැත් කමිටුව සම්බන්ධ වෙන්නෙ ඒ අනුවයි” ඈපා පංචාංග ලිත් කර්තෘ ඉන්දික ඈපා සෙනෙවිරත්න පවසන්නේය. ඔහු ජාතික නැකැත් කමිටුවේ එක් සාමාජිකයෙකි. ඔහු පෙන්වා දෙන්නේ දිනෙන් දින රටේ වනාන්තර ප්‍රතිශතය අඩුවීම බරපතළ ගැටලුවක්ව පවතින කාලයක ගසක් සිටුවීම අවුරුදු චාරිත්‍රයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාම දැඩි වටිනාකමක් ඇති කරවන කාරණයක් බවයි.
 
එමෙන් ම මේ නැකැතේ සඳහන් වූයේ එදිනට තුන් ‍පොකුරු යෝගයක් ද උදා වී ඇති බවයි. ඉන්දික ඈපා සෙනෙවිරත්න පෙන්වා දෙන පරිදි, තුන්‍පොකුරු යෝගය යනු ඵලදාව තුන් ගුණයකින් ලැබෙන දිනයක් බවය. එනම් ‍ජ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව එම නැකැත යෙදී ඇති සඳු දිනට හිමි චන්ද්‍ර ග්‍රහයා, මා නැකත, මිථුන ලග්නය, සිකුරු හෝරාව, ශනි පංචමය හේතුවෙන් එදින තුන් ‍පොකුරු යෝගයක් යෙදී ඇති බව සඳහන් වේ. එය, ඈපා පංචාංග ලිත් ආරම්භක කර්තෘ දොන් පිලිප් ඈපා අප්පුහාමි විසින් රචිත මුහුර්ත චින්තාමනී කෘතියේ 214 හා 215 යන කවිවල ද සඳහන් කර ඇත. ඒ මෙසේ ය.
 
පුවපල් පුවසලය සුවනය මුලය විසා - අනුර මා නැකත් රේවති සියාවසා
මීන මිතුන සිංහ සැනි හෝරා වීමසා 
මෙකී නැකැත් සඳු දින තිබුණ නොවලසා 
බටු නම් කොළ තුනට මල් කැකුළු තුන දකී - වැල නම් කොළ තුනට පල ‍පොකුරු තුන සකී
අල නම් තුන බසී දැන ගන්න නියතකී - පවසන් ‍පොකුරු යෝගය සතට වැඩ දකී
 
කෙසේ වෙතත්, තුන් ‍පොකුරු යෝගය යන්නෙන් අදහස් කෙරෙන්නේ වැඩි අස්වැන්නක්, වැඩි ඵලදාවක් ලැබෙනවා යන්න ය.
අද වෙද්දී වනවිනාශය අපේ රටේ පවතින බරපතළ පාරිසරික ගැටලුවලින් එකකි. එක්දහස් නවසිය විස්සේදී සියයට හතළිස් නවයක් වූ වනවැස්ම අද වෙද්දී සියයට විස්සකටත් වඩා අඩුය. වනවිනාශය  වැඩි වශයෙන් දක්නට ලැබුණේ පසුගිය දශක දෙක තුනක කාලයේ පටන්ය. එක්දහස් නවසිය අනූවේ සිට දෙදහ වසර දක්වා වූ කාලය තුළ වසරකට හෙක්ටයාර විසිහයදහස් අටසියය බැගින් වනගහනය අඩු වී තිබේ. 
 
සියයට විස්සක තරම් වන ප්‍රතිශතයක් තවමත් අප සතුව ඇතැයි පැවසුණද ඇත්ත වශයෙන්ම අද වෙද්දී අපේ රටේ පවතින ස්වාභාවික වනාන්තර ප්‍රතිශතය සියයට දහසයක් පමණකි. එවන් තත්ත්වයක් තුළ අවුරුදු චාරිත්‍රයක් ඉටු කිරීමක් ලෙස හෝ ගසක් රෝපණය කරවන්නට මිනිසුන් හුරු කිරීම යහපත් ප්‍රවණතාවක් බව පරිසර යුක්ති  කේන්ද්‍රයේ  ප්‍රතිපත්ති  හා දැනුවත් කිරීමේ නිලධාරී ජනක විතානගේ පවසන්නේ ය.
 
“අපි කොහොමත් ඉස්සර ඉඳන්ම අවුරුද්දෙ වැඩ අල්ලන නැකැතට ගහක් හිටෙව්වා. නමුත් දැන් ඒක අලුත් නැකතක් ලෙස ඉදිරිපත් වෙද්දි වැඩි දෙනෙක් ඒ චාරිත්‍රය ඉටු කරන්න පෙළඹෙනවා වගේ ම ඒකෙන් සමාජයට යහපත් පණිවුඩයකුත් ලැබෙනවා. ඒ නිසා සිංහල අවුරුදු චාරිත්‍ර සමග බද්ධ වීමෙන් හෝ මේ ආකාරයෙන් ගස් සිටුවීමට මිනිසා පෙළඹවීම අගය කළ හැකි කාරණාවක්.”
 
ගස් සිටුවීම ගැන මේ කාලයේදී වැඩිපුර කතාබහට ලක්වෙන්නේ  මුහුණු‍පොත හරහාය. ඒ, විල්පත්තු වන විනාශයත් සමග ඇතිවූ විවිධ මතවාදයන් නිසා ය. එහෙත් ජනක විතානගේ පෙන්වා දෙන්නේ විවිධ කාරණා මුල් කරගනිමින් අද වන විට රට තුළ සිදුවන වනවිනාශයන් දෙස බැලූ කල්හි විල්පත්තු වනවිනාශය එක් සිද්ධියක් පමණක් බවය.
“අපි විල්පත්තුව විනාශ වීම ගැන වැඩිපුර කතාකරන්නේ ඒකට වෙනත් ජන කොටසක් සම්බන්ධ වෙලා සිටින නිසයි. නමුත් වෙනත් තැන්වල ඊට වඩා වැඩි වශයෙන් ගස් කැපීම් සිදුවෙනවා.”
 
ඔහු පෙන්වා දෙන පරිදි වැඩි වශයෙන් රටේ වනවැස්ම ඉවත් කෙරෙන්නේ විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් සහ නැවත පදිංචි කිරීම් හේතුවෙනි. විශේෂයෙන්ම මොරගහකන්ද ජලාශය, කළු ගඟ ජල යෝජනා ක්‍රමය, යාන් ඔය ජලාශය ආදී සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා පසුගිය කාලයේදී වනාන්තර වැඩි වශයෙන් නිරුවත් වූහ. සාමාන්‍යයෙන් කෘෂිකාර්මික, වැවිලි, ඉන්ධන සහ දැව සඳහා මෙරට වනාන්තර හෙළිපෙහෙළි කරනු ලැබෙයි.
 
ඊට අමතරව විශේෂයෙන්ම මේ දිනවල නැවත පදිංචි කිරීමේ කටයුතු වෙනුවෙන් මැදිරිගිරිය ‍පොළොන්නරුව ආදී ප්‍රදේශවල ශීඝ්‍ර වනවිනාශයක් සිදුවෙමින් පවතින බව ජනක  විතානගේ  පෙන්වා දෙන්නේය.  ඔහු පෙන්වා දෙන පරිදි මේ නිසා පසුගිය මාස කිහිපය පුරා පමණක් දළ වශයෙන් හෙක්ටයාර අටදහසක පමණ වනාන්තර විනාශයක් රට තුළ සිදු විය.
“මැදිරිගිරියෙ, ‍පොළොන්නරුවෙ මේ දවස්වල අක්කර එකහමාරක පමණ කුඹුරු ඉඩමක් සකස් කරන්නෙ සම්පූර්ණයෙන්ම ස්වාභාවික වනාන්තරයක් එළිකරලා. තවත් හෙක්ටයාර හත්සියයක පමණ වනවැස්ම ඉවත් කිරීම සඳහා මැනුම් කටයුතු සිදුවෙමින් පවතිනවා” ඔහු පවසන්නේය. 
 
ඔහු පෙන්වා දෙන්නේ රටේ ස්වාභාවික වනාන්තර විනාශ නොකර, පුරන් වූ කුඹුරු සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ඇරඹීම වඩා වැදගත් බවයි. පුරන් වූ කුඹුරුවලට ජලය සැපයීමේ වැඩපිළිවෙළක් අරඹා ඒ තුළින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම තුළින් වනාන්තර පද්ධතිය රැක ගැනීම වැදගත් වන බව ඔහු පෙන්වා දෙන්නේ ය.
වර්තමානය වන විට සියලු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවෙන්නේ, මෙරට වියළි කලාපීය වනාන්තර විනාශ කර දමමිනි. 
 
යුද්ධය නිසා ඉතිරි වී තිබූ රටේ ස්වාභාවික වනාන්තර පද්ධතිය මේ නිසා දැන් දැන් ශීඝ්‍රයෙන් විනාශ වෙමින් පවතී. එය අප සිතනා තරම් සුළුපටු කාරණාවක් නොවේ. අනෙක් අතට කලින් කීවා සේ අප සතුව දැනටත් ඉතිරිව ඇත්තේ සියයට විස්සක තරම් කුඩා වනගහණ ප්‍රතිශතයක් පමණි. එය තවදුරටත් අඩු වී සියයට අටක් පමණ ශේෂයකට ආ කල්හි “ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක්” ලෙස හැඳින්වූ ‍ලේබලය ඉබේම අපෙන් ගැලවී යනු නොඅනුමානය. 
 
එමෙන්ම වනගහණය සියයට හතරක් තරම් අඩු වුවහොත් අප කොයිතරම් කැමති හෝ අකමැති වුවද, වසර දෙදහස් පන්සියයක් පුරා සාඩම්බරව හිමිකම් කියූ අපගේ  ශිෂ්ටාචාර පද්ධතිය අපට අහිමි වෙනු ඇත. ඒ වෙනුවට අපට හිමි වෙන්නේ කාන්තාර ශිෂ්ටාචාරයකි.
 
“ අවුරුදු චාරිත්‍රයක් ලෙස හෝ පැළයක් සිටුවීම ඉදිරියටත් පවත්වාගෙන යාම වැදගත් කියලා අපි කියන්නෙ ඒ නිසයි. නමුත් මේ චාරිත්‍රය ඊළඟ අවුරුද්දෙදි දේශපාලන කාරණා මුල් කරගෙන වෙනස් වෙනවා නම් වැඩක් නැහැ. ඒ නිසා රටට යහපතක් වෙන ආකාරයට පැළ රෝපණය ඉදිරියට ගෙන යාමට අපි වගබලා ගත යුතුයි” ඔහු පවසන්නේ ය.
 
ඉන්දික ඈපා සෙනෙවිරත්න පවසන්නේ ද අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැළ රෝපණය කිරීමේ නැකැත චාරිත්‍රයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාම නැකැත් කමිටුවේද අරමුණ බවයි. කෙසේ වතුදු පැළ රෝපණයේදී පවතින පරිසර පද්ධතියට උචිත ගස් තෝරා ගැනීමද වැදගත් වේ. තමන්ට ඇති පරිසරය තුළ ඊට සරිලන ආකාරයේ ගසක් රෝපණය කිරීම තුළ ඒ ගස වැඩිකාලයක් මේ බිම මත රඳවා ගන්නට අපට හැකි වනු ඇත.
 
 ගයාත්‍රි ගීගනආරච්චි
 
 
  1. මෙදා සැරේ පිටකොටුවේ වැඩියෙන්ම විකිණුණේ ඇඳුම් නොවෙයි ෆෑන්
  2. හද්දා පිටිසර තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය සමග විනෝද වූ ෆේස්බුක් සාදය
  3. මාලපල්ල මරා උපන් මාකුඹුරේ ඉස්ටේසම
  4. මේ කොළඹ නන්නත්තාර වන සතියයි
  5. ශිවශංකර් මෙනන් ගෝඨා හමුවෙන් රටට දෙන ඉඟිය
  6. එන්.ඩී.ටී. ගහලයෝ ශනිල්ක මරා ගනිති
  7. තරුණයකු අතුරුදන් කර වසර 11ක් නිදැල්ලේ සිටි ඒ.එස්.පී.
  8. බැඳුම්කර හොරකමේ තෝරු මෝරු හතරක් ඇල්ලූ මෙහෙයුම
  9. මේ රස්නය මරණයෙන්ද කෙළවර විය හැක
  10. තුසිතපුරයේ අපා දුක් විඳින, රජකමටත් සුදුසු මිනිස්සු
  11. ජ’පුර සරසවියෙන් ලෝකයට අලුත් වැඩක්
  12. ශ්‍රී ලංකා-ඉන්දියා බැතිමතුන් එකට වැඳ වැටෙන කච්චදූව
  13. සිරිසඟබෝ රජු හිස දන් දුන්නේ අත්තනගල්ලේ දී නොවේ
  14. නීතිඥ නාගානන්දට වුණා වගේ පෙරකදෝරු රස්සාව නැතිවෙන්නේ කොහොමද?
  15. දකුණේ නිදන් හාරද්දී උතුරේ හාරන්නේ රත්තරන්
  16. අවුරුදු විසිපහක්ම රෝදපුටුවේ ගිය හමුදාවේ ධෛර්යය
  17. දරුවන් රකින්නට නුවර කලාවියේ දෙන අපූරූ දානය
  18. ස්ථාන මාරුවකින් කෙළවර වූ ජී. ටී. බොස්ගේ වැදි නැටුම
  19. ඉන්දියාවේදී කොටු වූ බ්ලූමැන්ඩල් සංඛ
  20. කැඩුණු අමුණ බැඳගන්නට මුදල් නැතිව අකලට මහලු වෙන ගමක්
  21. ජංගම දුරකථනයෙන් කතා කර කර දුම්රිය මග දිගේ එලොව යන්නෝ
  22. ඩුබායි ගෙන ගිය බව කියූ කෝටි 700 දියමන්තිය පානදුරෙන් මතුවූ හැටි
  23. මත්පෙති සමග ටෙලි නිළියක් කොටු වූ පොල්හේනේ බිච් පාටිය
  24. කාන්තාවන්ට දුම්රිය මැදිරි වෙන් කිරීමෙන් අනික් මැදිරි වල තද බදයක්
  25. නැගෙනහිර වෙරළේ ඇස්කිමෝ ගෙවල්

Page 1 of 75

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.