lakbima.lk

වෙසක් ඇත තොරණ නැත

 

ඉස්සර කාලයේ පාරුවක හෝ ගොනු බැඳි බරබාගයක නැගී කොළඹ වෙසක් බලන්නට ආ ගැමියන්ගේ කතා මෙන්ම පසුකාලීනව පාපැදි රංචු ලෙසද ලොරි බාගයක, ලෑන්ඩ් මාස්ටරයක, බට්ටා ලොරියක හෝ ත්‍රිරෝද රථයක නැගී කොළඹ වෙසක් සිරි බලන්නට ආ අයගේ කතාද අපි ඕනෑතරම් අසා ඇත. ඊට හේතුව වෙසක් නම් “කොළඹ”ය, ‍පොසොන් නම් “අනුරාධපුර”ය, ඇසළ නම් “නුවර”ය කියමින් අපේ ජන සමාජය ‍පෝය උත්සව ඉරිගසා වෙන්කරගෙන ඇති නිසාය. එහෙත් මෙදා සැරේ කොළඹ වෙසක් සිරි ඇති කරන තොරණද දන්සල්ද වෙසක් කලාපද පැවැත්වෙන්නේ නැත. ඊට හේතුව ආරක්ෂක වාතාවරණය පිළිබඳව තවමත් සෑහීමකට පත්විය නොහැකි නිසාය.

තිස් අවුරුදු යුද සමයේ හෝ 1988-89 භීෂණ සමයේ වුව නොනැවතුණු කොළඹ වෙසක් කලාප, තොරණ හා දන්සල් සම්පූර්ණයෙන්ම නතර වන්නේ ඉතිහාසයේ පළමු වැනි වතාවටය. මේ හේතුවෙන් අපහසුතාවට පත්වන්නේ කොළඹ වෙසක් බලන්නට දිවයිනේ නන් දෙසින් කොළඹට ඇදුණු ජනතාව පමණක් නොවේ. වෙසක් සැරසිලි ආශ්‍රිතව ජීවිකාව කරගත් බොහෝ දෙනෙක්ද එහි වින්දිතයෝ වෙති.

විශේෂයෙන් තොරණ නිර්මාණය කිරීමට එක්වන කටු සැකිලි නිර්මාණ ශිල්පීන්, විදුලි ආලෝක නිර්මාණ ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්, ගායන ශිල්පීන් ඇතුළු විශාල පිරිසකට මේ හේතුවෙන් ජීවිකාව අහිමි වෙයි. මේ සමහර ශිල්පීන් වසර පුරා ජීවත් වන්නේ උත්සව සමයේ උපයා ගන්නා ආදායමිනි. එසේම තොරණ ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු සංවිධානය කරන වෛශාඛ්‍ය සමිතිද මේ තීරණය හේතුවෙන් විශාල අපසුතාවකට පත්ව සිටිති.

තොටළඟ කොල්විල් පෙරේරා ප්‍රමුඛ තරුණ පිරිසක් මීට වසර හැට හැත්තෑවකට ඉහතදී සම්බුදු තෙමඟුල නිමිත්තෙන් තොටළඟ ප්‍රදේශයේ කුඩා තොරණක් නිර්මාණය කරන්නට සූදානම වීම මෙරට වෙසක් තොරණ ඉතිහාසයේ ආරම්භය  සේ සැලකිය හැකිය. මෙසේ පුංචියට කරන්නට යන තොරණ ගැන කනවැකුණු ප්‍රදේශයේ කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ විල්බට් පෙරේරා තරුණ පිරිසට යෝජනා කළේ හැමෝම පුදුම කරවන ලොකු තොරණක් හදන්නට තමන් වියදම් දරන්නට කැමැති බවය. ඒ කාලයේ කොළඹ වුවද හැම ගෙදරටම විදුලිය තිබුණේ නැත. එහෙයින් විදුලි බුබුළු 35,000කින්ද, අඩි 85ක උසකින්ද යුතුව නිර්මාණය වූ තොටළඟ තොරණ ජනතාවට විස්මයජනක නිර්මාණයක් විය.

විදුලි ආලෝක රටා ඇතුළත්ව නිර්මාණය වුණු මේ පුදුම තොරණ බලන්නට ට්‍රෑම් කාරයේ සිට බස්, ලොරි මතු නොව බරකරත්තවලින්ද පා ගමනින්ද මිනිස්සු ආහ. එතැන් සිට 67 වසක් මුළුල්‍ලේ ප්‍රදර්ශනය කරන්නට යෙදුණු තොටළඟ තොරණ මීට පෙර ප්‍රදර්ශනය නොවී ඇත්තේ 71 කැරැල්ල හේතුවෙන් පමණක් බව වර්තමානයේ තොටළඟ තොරණ නිර්මාණය කරන තොටළඟ වෛශාඛ්‍යාලෝක සමිතියේ සභාපති නිමල්වංශ ලෝගුස් පෙන්වා දෙයි.

“අපිට තොරණ සඳහා ලක්ෂ 29ක් විතර වැය වෙනවා. විදුලි කාර්මික ශිල්පියාට චිත්‍ර ශිල්පියාට හා කටු සැකිල්ල නිර්මාණයට අපි විශාල මුදලක් ගෙවලා ඉවරයි. ඒ ඔක්කොම කැලණි ගඟට ගියා වගේ තමයිි ඔහු පෙන්වා දෙන්නේය.

සුප්‍රකට කොස්ගස්හන්දියේ තොරණ නිර්මාණය කරන ග්‍රෑන්ඩ්පාස් ශ්‍රී වෛශාඛ්‍ය සම්බුද්ධාලෝක තොරණ සමිතියේ ‍ලේකම් තුසිත වරාගොඩ පෙන්වා දෙන්නේ බෞද්ධ ජනතාව පමණක් නොව ග්‍රෑන්ඩ්පාස් තොරණ නිර්මාණයට මුස්ලිම් දෙමළ ජනතාවද සම්මාදන් දුන් බවයි.

තොරණ තැනීමද දිනකින් දෙකකින් කළ හැක්කක් නොවේ. එය මාස එකහමාරක් පමණ ගතවන කාර්යයකි. මේ කාලය තුළ කොස්ගස් හන්දියේ තොරණ් ශිල්පීන් හැමදෙනාටම කෑම බිම සපයනුයේ කොස්ගස් හන්දියේ තොරණ ඉදිරිපිට සියාරා බේකරියේ හිමිකාරිනී චමිලා ප්‍රභානි එදිරිසිංහ විසිනි. එසේම තොරණෙහි වියදමෙන්ද සැලකිය යුතු කොටසක් ඇය විසින් දරයි. තොරණ ප්‍රදර්ශනය නොවීම ගැන ඇයද පසුවන්නේ කනස්සල්ලෙනි.

“මේ තොරණ සඳහා රුපියල් ලක්ෂ 22ක් විතර වැයවෙනවා. එයින් ලක්ෂ 16ක් විතර මේ වන විටත් අපට වියදම් වෙලා ඉවරයි. මේක අඩි 60ක් උස, අඩි 52ක් පළල එල්.ඊ.ඩී. තොරණක්.

කුහක ජාතකය තමයි මේ වතාවේ පෙන්වන්න හිටියේ. තොරණ නොපෙන්වන්න තීරණය කරන කොටත් එහි වැඩ අවසන් කරලයි තිබුණේ. ලබන අවුරුද්දේ මේ තොරණම පෙන්වන්න උත්සාහ   කරනවා. හැබැයි ලෑලි, රීප්ප ආදිය වේයෝ කාලා, දිරලා ගියොත් අපට ඒක කරගන්න බැරිවේවි. රජය බටර් පාර ගානවා තහනම්ම නෑ කියලා. ඒත් අපිට මිනිස්සුන්ගේ ජීවිතවල වගකීම ගන්න බෑ. ‍පොලීසියෙන් ඇහුවාම ආරක්ෂාව මත අවසර දෙන්න විදිහක් නෑ කියනවා.” තුසිත වරාගොඩ පෙන්වා දෙයි.

තොරණ චිත්‍ර නිර්මාණ ශිල්පී ජාඇල ආනන්ද ජයලත් පෙන්වා දෙන්නේ තොරණට දායක වූ ශිල්පීන්ට බඩේ පාර වදිනවා මෙන්ම මේ වැඩෙන් මුළු කොළඹම වෙසක්දාට පාළු වනු ඇති බවයි. 

“නවලෝක තොරණ ඇරෙන්න කොළඹ ගහන හැම තොරණටම වගේ මම චිත්‍ර ඇඳලා තියෙනවා. මම කතෝලික වුණත් මේ බොහෝ තොරණ්වලට චිත්‍ර ඇන්දේ මමයි. කොස්ගස්හන්දියේ තොරණ ඉවර කරන්න තිබුණේ පාදම විතරයි. පිටකොටුවේ බෝධිය ළඟ තොරණේ නම් බුදු රැස් මාලාව විතරක් පෙන්නනවා කීවා. විහාර චිත්‍රත් පල්ලිවල චිත්‍රත් අඳින නිසා මට මේක ඒ හැටි දැනෙන්නේ නෑ. ඒත් තොරණ නිසාම ජීවත් වුණු විදුලි ආලෝක ශිල්පීන් එහෙම වැටුණේ අලි අමාරුවක” හෙතෙම පෙන්වා දෙයි.

තොරණක් අලංකාරවත් කිරීමේ ප්‍රධානතම කාර්යභාරය ඉටුකරන විදුලි කාර්මික ශිල්පියාට මේ ගැටලුව බලපාන්නේ සරලව නොවේ. ඔවුන්ගේ ජීවිකාවම වී ඇත්තේ තොරණ නිර්මාණය කිරීමය. පිටකොටුව, මරඳගහමුල හා වරකා‍පොළ තොරණ තුනෙහිම විදුලි ආලෝක රටා නිර්මාණය කළ නාරම්මල සුසන්ත පියල් පවසන්නේ මේ අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන් තමන් ඇතුළු විදුලි නිර්මාණ ශිල්පීන් සියල්ලම කබලෙන් ළිපට වැටුණු බවයි.

“මගේ ළඟ බල්බ් පාස්සන්න විතරක් 8 දෙනෙක් වැඩකළා. ඔක්කොම සේවකයෝ 18ක්. ඒ හැමෝටම පඩි ගෙවලත් ඉවරයි. තොරණ තුනේම වැඩ සියයට සියයක් ඉවරයි. මම දන්න විදුලි ශිල්පීන් 100ක් විතර ඉන්නවා මේකම විතරක් කරන. ඒ හැමදෙනාම ‍පොලියට ලක්ෂ ගණන් අරගෙනයි මේ නිර්මාණ කරන්නේ. ඒ අයට ඉස්සරහට වෙන්නේ ගේදොර වතුපිටිත් විකුණලා ණය බේරන්න” ඔහු පෙන්වා දෙන්නේය.

උද්ගත වූ තත්ත්වය හේතුවෙන් තොරණ සංවිධායකයන් සේම නිර්මාණ ශිල්පීන්ද අසරණව සිටින බව පෙනේ. විදුලි ශිල්පී සුසන්ත පියල් යෝජනා කරන්නේ දෙපාර්ශ්වයටම සාධාරණයක් වන පරිදි ඊළඟ වසරේ මේ නිර්මාණ පෙන්වනවා නම් නියමිත මුදලින් 50ක් හෝ තමන්ට ලැබිය යුතු බවයි.

“අපි නිර්මාණ කටයුතු කරලා ඉවරයි. ඊළඟ පාරට මේකම තියාගන්න ඒකෙන් වෙන්නේ අපේ වැඩ ගොඩක් බ්ලොක් වෙන එක. අපි මේ තොරණ ‍පොසොන් ඇසළ උත්සවවලට පිට පළාත්වලට විකුණනවා. ඒ වගේම මේ ලයිට් ගලවලා පෙරහර හා විවිධ උත්සව සඳහා යොදා ගන්නවා. ඒ එකක්වත් කරන්න වෙන්නේ නෑ මේවා මෙහෙම තියාගන්නවා නම්. ඒ නිසා අපිට සාධාරණයක් විය යුතුයි. ඒ වගේම ආණ්ඩුව පැත්තෙන් අපේ අසරණකම බලලා සහනයක් දෙනවා නම් වටිනවා.  අන්තිමට ණය ගෙවාගන්න බැරි වුණොත් අපිටත් වෙන්නේ බෝම්බයක් පුපුරවාගෙන මැරෙන්න.”

විදුලි නිර්මාණ ශිල්පී සුසන්ත පියල් පවසන්නේය.

මැනිං වෙළෙඳ‍පොළ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෛශාඛ්‍යදාන සමිතියේ සභාපති නිමල් අත්තනායක පෙන්වා දෙන්නේ යුද්ධය පැවැති කාලයේවත් මේ අන්දමින් තොරණ නැවැත්වීමට සිදු නොවූ බවයි.

“මෙවර අපි තොරණ පෙන්වන්න හිටියේ 58 වැනි වතාවටයි. යුද්ධය පැවැති කාලයේදීවත් කවදාවත් තොරණ නවත්වලා නැහැ. පළමු වතාවටයි මෙවැනි දෙයක් සිද්ධ වුණේ. ඒ ගැන අපට හරිම කනගාටුයි. හැබැයි සැබෑ බෞද්ධයන් විදිහට අපි එයින් සැලෙන්නේ නැහැ. ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දීලා සාමකාමීව වෙසක් සමරනවා. මාස ගණනාවක් අපි මේ වෙනුවෙන් මහන්සි වුණා. අවසානයේ අපේ මහන්සිය වතුරේ ගියා.

තොරණ පෙන්වනවා විතරක් ‍නෙවෙයි සෑම අවුරුද්දෙම වෙසක් එකට අපි ලොකු දන්සලකුත් දෙනවා. මෙදා පාර අපි දන්සලත් නවතා දැමුවා. අපිට වගේම තොරණේ විදුලි කාර්මික ශිල්පීන්ටත් මේක ලොකු ගැටලුවක්. වෙසක් ‍පෝයට තොරණෙන් ඒ ශිල්පීන්ට ලාභයක් ලැබෙන්නේ නැහැ. ‍පොසොන්, ඇසළ ‍පෝයවලට ඈත පළාත්වල තොරණ පෙන්වලයි ඔවුන් ලාභයක් ලබා ගන්නේ. මේ වතාවේ වෙසක් එකට තොරණ නොපෙන්වන නිසා ඒ තොරණ පසුව පිට පළාත්වලට ගෙනියන්න හුඟක් සමිති, ඉඩ දෙන්නේ නැහැ.” ඔහු පවසන්නේය.

දෙමටගොඩ එක්සත් වෙළෙඳුන්ගේ වෛශ්‍යාඛ්‍යදාන සමිතිය සංවිධානය කරන දෙමටගොඩ තොරණේ ඉතිරිව තිබුණේ කප් සිටුවීමට නැකක් බැලීම පමණි. එහි ‍ලේකම් ජේ.ඒ. ජගත් පෙන්වා දෙන්නේ සියලු ආගම් නියෝජනය කරන ව්‍යාපාරිකයන් 250කගෙන් පමණක් සැදුම්ලත් තම සංගමයේ ෙදෙනික සම්මාදම් ඇරඹුණේ සත විසිපහෙන් බවය. එසේ ආරම්භ කර අද දක්වා සාර්ථකව කරගෙන ආ තොරණ නැවැත්වීම මහත් කනගාටුවක් බව ඔහු පෙන්වා දෙයි.

“අපේ සමිතියෙන් 45වැනි වතාවටයි මෙවර තොරණ පෙන්වන්න සූදානම්ව හිටියේ. තොරණ අඩි 57ක් උසයි. අඩි 60ක් පළලයි. මේක බුදු පිළිම 2ක් සහිතව විදුලි බල්බ 45,000කින් නිර්මාණය කරන්න සැලසුම් කරලා තිබුණු තොරණක්. තොරණේ කතාවෙන් කියවෙන්නේ අසංඛේ‍යය ජාතකය. අපිට තව කරන්න තිබුණේ හොඳ නැකතක් බලලා තොරණ හිටවන එක විතරයි.  ඒ වෙද්දි අපි තොරණ වෙනුවෙන් ආරාධනා පත්‍ර පවා ගහලා ඉවරයි. පසුගිය අවුරුදු 45ටම කවදාවත් මේ තොරණ නවත්වලා නැහැ. චිත්‍ර අව පැහැ ගැන්වෙන්නේ නැතිව, ප්‍රයෝජනයට ගන්න පුළුවන් ආකාරයට ආරක්ෂා වෙලා තිබුණොත් ලබන වෙසක් ‍පෝයට මේ තොරණම ප්‍රදර්ශනය කරනවා. එහෙම කරන්න බැරිවුණොත් අපිට පාඩුව දරා ගන්න වෙනවා.” හෙතෙම පවසන්නේය.

පුවක් ගස් හෝ ගැල්වනයිස් බට යොදාගනිමින් තොරණක කටු සැකිල්ල නිර්මාණය කරනුයේ එක් කණ්ඩායමකි. චිත්‍ර පුවරු හා පාදම නිර්මාණය කරනුයේ තවත් පිරිසකි. විදුලි ආලෝක රටා, විදුලි පරිපථ සැකසීම හා වයර් ඇදීම කරනුයේ තවත් කණ්ඩායමකි. විදුලි උත්පාදක යන්ත්‍ර සපයනුයේ තවත් පාර්ශ්වයකි. තොරණෙහි කතාව ඇතුළත් හඬපටය නිර්මාණය කරනුයේ  වෙනත් පාර්ශ්වයකි. තොරණෙහි වියදම දරමින් එහි කටයුතු සංවිධානය හා සම්බන්ධීකරණය කරනුයේ තවත් පිරිසකි. මේ හැම දෙනාටම වෙසක් උත්සව නොපැවැත්වීම දැඩිව දැනී තිබේ. එමෙන්ම අලුත් අවුරුදු උත්සවයට පසු උත්සවශ්‍රීයෙන් සැමරු වෙසක් ‍පොසොන් උත්සව නොපැවැත්වීම මහජනතාවටද දැඩිව දැනෙනු ඇත. කෙසේ වෙතත් ආරක්ෂාව තහවුරු කිරීමට ආණ්ඩුව සමත්වන තුරු මහජනයා ඒකරාශී වන කිසිම අවස්ථාවකට කිසිවෙකු සහභාගි වෙත්දැයි ඇත්තේද බරපතළ සැකයකි.

මිහිරාන් කරුණාරත්න, කිෂාන් කනංකෙ

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.