lakbima.lk

සිංහරාජයේ සමනළයන්ට පාස්‍පෝට් දෙන්නට ගොස් වනජීවියට කොටු වූ සුද්දෝ

දිනය පසුගිය බදාදාය. ලහි ලහියේ පැමිණි අමුත්තෙකු කලවාන අඩවි වන කාර්යාලයට ඇතුළු වූයේ කෝ මේ කැලෑ මහත්තයා ඉන්නවාදැ? යි විමසමිනි. කිසිවකුගේ අවසරයක් ලැබෙන්නට පෙර ප්‍රධාන අඩවි ආරක්ෂක ලක්ෂ්මන් රත්නවීරගේ කාර්යාලයට ඇතුළු වූ ඔහු ලොකු රහසක් කියන්නට මෙන් හරිබරි ගැහුණේය.

මහත්තයෝ, දැන් දවස් දෙක තුනක් මම මේක දැක්කා. රෑට රෑට මහ කැ‍ලේ මැද්දේ ටෝච් එළි වදිනවා. මගේ හිතේ තුන් හතර දෙනෙක් රාත්තිරියේ කැ‍ලේ හක්කලං කරනවා. හැබැයි මහත්තයෝ ඒ හොඳකට නං වෙන්න බෑ. නරකද ටිකක් සොයලා බැලුවොත් යැයි පවසමින් හුනස්නෙන් නැගී සිටි අමුත්තා අඩවි ආරක්ෂක ලක්ෂ්මන් රත්නවීරගෙන් සමු ගත්තේය.

ප්‍රමාණයෙන් හෙක්ටයාර 11,000 ක් පමණ වන සිංහරාජය ලෝකයේ අංක එකේ වැසි වනාන්තරයකි. ලාංකිකයන් මෙහි අගය තවමත් නිසි ලෙස දැන නොසිටියද සිංහරාජය ලෝකයටම සම්පතකි. එහෙයින් මේ රූස්ස වනයේ සිදුවන වන අපරාධ බොහෝය. මේ රාත්‍රියේ දිස්වෙන ටෝච් එළි තවත් කුමක් හෝ අපරාධයක හෝඩුවාවක් බව වටහා ගන්නට අඩවි ආරක්ෂක රත්නවීරට එතරම් වේලා ගියේ නැත. එහෙත් විසල් සිංහරාජයේ කට්ට කළුවර රැයක වදිනා ටෝච් එළියක් පසුපස හඹා යෑම එතරම් පහසු නොවනා බව වනයටම සින්න වූ රත්නවීරට අවබෝධ විය. එහෙත් මේ වූ කලී ‍ලේසියෙන් අතහැර දැමිය හැකි ආරංචියක් නොවේ. කෙසේ වෙතත් ඔහු මේ කරුණ පිළිබඳ තම සහෝදර කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කොට තීරණයක් ගැනීමට හේ අවසානයේ තීරණය කළේය.

සර්, අපි සංරක්ෂණ මධ්‍යස්ථානේ අයගෙන් උදව් ගමු. ඒ අය තමයි නරඹන්නෝ එක්ක සම්බන්ධ. සාකච්ඡාවේදී අලුත් අදහසක් මතු වූයේය.  ඒ අනුව සංරක්ෂණ මධ්‍යස්ථානය ඇමතූ ලක්ෂ්මන් රත්නවීර අබිරහස් ටෝච් එළි සිද්ධිය සැල කර සිටියේය. ඒ අතර කලවාන කාර්යාලයේ සේවකයන්ද නිකම් සිටියේ නැත. ඔවුහු අවට ගැවසෙමින් සූක්ෂ්මව තොරතුරු රැස් කළේය.

සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් කලවාන අඩවි කාර්යාලයට ඇමතුමක් ලැබෙන්නේ මේ අතරතුරේදීය. පසුගිය දෙවනදා උදයේ ලැබෙන මේ ඇමතුමෙන් කියවුණේ සැක කටයුතු සංචාරක පිරිසක් රඳවාගෙන සිටින බවත්, වහා පැමිණ ඔවුන් පරීක්ෂා කර බලන ලෙසත්ය. ඒ අනුව කලවාන බිට්ටු නිලධාරීන්, අයගම බිට්ටු නිලධාරීන් ඇතුළු පිරිසක් ලක්ෂ්මන් රත්නවීර සමග රඳවා ගත් සංචාරකයන් පරීක්ෂා කිරීමට එක්විය.

සංරක්ෂණ මධ්‍යස්ථාන නිලධාරීන් රඳවාගෙන සිටියේ පස්දෙනකුගෙන් යුත් විදේශිකයන් පිරිසකි. ඔව්හු සියලු දෙනාම ස්ලෝවැකියන් ජාතිකයෝ වූහ. කෙටි කලකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි මේ පිරිස දුරකථන මාර්ගයෙන් සිංහරාජ මායිමේ ලැගුම් හලක් ජනවාරි 28 වැනිදා සිට පෙබරවාරි 4 වැනිදා දක්වා කාලයකට වෙන් කරගෙන තිබුණි.
නමුත් තමුන් කවුරුන්ද, කුමන වෘත්තියේ නියැලෙන්නෝද යන්න වන සංරක්ෂණ නිලධාරීන්ට හෙළි කිරීමට විදේශිකයෝ මැළි වූහ. කොතෙක් විමසුවද ඔවුන් සංචාරකයන් බව මිස අන් යමක් පැවැසීම ඔව්හු
ප්‍රතික්ෂේප කළහ. එහෙයින් ඔවුනගේ ගමන් මලු ආදිය පරීක්ෂා කර බැලීමට නිලධාරීහු ක්ෂණිකව තීරණය කළහ.

ස්ලෝවැකියානුවන්ගේ ගමන් මලු ෙජෙව විවිධත්ව ප්‍රදර්ශනාගාරයකට දවෛනි නොවීය. ඒවායේ හැකරැල්ලන්, පත්තෑයන්, කැලෑ ගෝනුස්සන්, සළඹයන්, දිවි මකුළුවන්, සමනලයන්, වන්දන් දෙහි කොලයන් සහ විවිධ කෘමීන් විශාල ප්‍රමාණයක් විය. ඊට අමතරව නානාවිධ ශාක පත්‍ර, ගෙඩි, මල් ආදී ශාක කොටස් රාශියක්ද සිංහරාජයෙන් එකතු කර මලුවල ගබඩා කොට තිබුණි. වැඩිදුරටත් කරුණු සෙවීමේදී සංචාරකයන් තමන්ගේ එක් ගමන් මල්ලක් ගැමි නිවසක් අසල සැඟවූ බව අනාවරණය කරගැනීමට අඩවි ආරක්ෂක නිලධාරීන්ට හැකිවිය. පිරිසද කැටිව වහා එහි ගිය වන සංරක්ෂණ නිලධාරීන් එම මල්ලද අත්අඩංගුවට ගත්තේය. ඒ පිළිබඳ අඩවි ආරක්ෂක නිලධාරී ලක්ෂ්මන් රත්නවීර මෙසේ පවසන්නේය.

අපි ඒ ගමන් මල්ල විවෘත කරලා බැලුවා. ඒක ඇතුළෙත් සත්ව කොටස් විශාල ප්‍රමාණයක් තිබුණා. රාත්‍රියේ හැසිරෙන සළඹයන් විශාල පිරිසක් මේ අතර හිටියා. ඊට අමතරව සමනලුන් වර්ග 700 ක් විතර මේ මල්‍ලේ ඉඳලා අපි සොයා ගත්තා. මේ ඔක්කොම වගේ ඒක දේශික සතුන් විශේෂ. ඇතැමුන් සිංහරාජයට ආවේණිකයි.

ඉන් අනතුරුව සෝදිසි වරෙන්තුවක් ලබාගත් වනජීවී නිලධාරීන් සංචාරක පිරිස නතරව සිටි ලැගුම් හල සෝදිසි කිරීමට පියවර ගත්තේය. එහිදීද තවත් සමනළ නිදර්ශක කිහිපයක් සොයා ගැනීමට හැකිවූ බව වන අඩවි නිලධාරී ලක්ෂ්මන් රත්නවීර පවසන්නේය.

මෙම සත්ව කොටස් අතර සිටි මියගිය සතුන් විවිධාකාරයෙන් අසුරා තිබුණි. ඇතැම් සතුන් ෆෝමලින් ද්‍රාවණයන්ගේ බහා තිබූ අතර තවත් සතුන් ඒඡඵධතභබඥ ඒතජඩධඩධතඥ ද්‍රාවණයන්ගේ ගිල්වා තිබි ඇත. ඊට අමතරව විවිධාකාර වූ රසායනික ද්‍රාවණ රාශියක්ද මොවුන් සන්තකයේ තිබි ඇත. ඒවායෙන් බහුතරයක් ශ්‍රී ලංකාවේ දක්නට නැති ඒවාය. ඊට අමතරව අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර විවිධාකාර වූ කෙළි බඩුද තිබි ඇත. එහෙත් ඒවා විවර කළ පසු ඇතුළත තිබි ඇත්තේ විවිධාකාර වූ රසායනික ද්‍රව්‍යය.

මේ ස්ලෝවැකියානුවන් මෙතරම් විශාල කෘමීන් තොගයක් රටින් පිට කිරීමට උත්සාහ කළේ ඇයිද යන ගැටලුව බොහෝ දෙනකුට ඇතිවිය හැක.එහෙත් අඩවි ආරක්ෂක ලක්ෂ්මන් රත්නවීර පවසනුයේ එහි කිසිදු රහසක් නැති බවත් ලෝකය පුරා ක්‍රියාත්මක ෙජෙව ජාවාරමක එක් පියවරක් සිංරාජයේදී කොටුවූ බවත්ය.

ආසියාවේ වැසි වනාන්තරවල තියෙන සරු ෙජෙව විවිධත්වය මිල කළ නොහැකි සම්පතක්. ඒ සම්පත කොල්ලකන්න මහා පරිමාණ ජාවාරම් සිදුවෙනවා. මේ එහි එක් කොටසක්. අනිවාර්යයෙන් මොවුන් ෙජෙව ජාවාරමක නියැළෙන ජාත්‍යන්තර ෙජෙව මංකොල්ලකරුවන්. එහි සැකයක් නෑ. සමනලයන් විතරක් නොවේ, සමනල බිත්තර ඇලවූ ශාක පත්‍ර පවා මොවුන් සූක්ෂම ලෙස එකතු කර තිබුණා. මේවා හොඳ ෙජෙව සම්පත්. දිවි මකුළුවන්, පත්තෑයන්, කැලෑ ගෝනුස්සන් වැනි විශේෂ රැගෙන යන්නේ ඔවුනගේ විෂ යොදා ගෙන විවිධ වූ ප්‍රති විෂ සහ ඖෂධ නිපදවීමට විය හැකියි.

අත්අඩංගුවට ගත් සත්වයන් අතර හැකරැල්ලන් වැනි සතුන්ද වෙයි. ඒ ලෝ පුරා දැනට රැල්ලක් ලෙස පැතිර යන පාංශු සංරක්ෂණ ක්‍රමයක් උදෙසා දැයි යන සැකය ඔවුනට ඇතිවී තිබෙන බව වැටලීමට දායක වූ නිලධාරීහු පවසති.

සාර්ථක කෘෂිකර්මයක් උදෙසා පසේ කාබනික අගය මෙන්ම ඔක්සිකරණය ඉහළ දැමීමක් අත්‍යවශ්‍යයි. ඒකට හොඳම සාධකය තමයි වගාවට හානි නොකරන හකරැල්ලන්, බිම් පණුවන් වැනි සතුන් යොදා ගැනීම. මේ සතුන් පස බුරුල් කරමින් පාංශු වායු සංසරණය ඉහළ දමනවා. ඒ සමගම විශාල කාබනික ද්‍රව්‍ය ප්‍රවාහයක් ‍පොළොවට එක් කරනවා. මෙය ඉතා සාර්ථක ක්‍රමයක්. බටහිර රටවල් දැන් රසායනික ද්‍රව්‍ය සහ උපකරණ භාවිතය අවසන් කරමින් මෙවැනි සතුන් යොදාගෙන පස සරු කර ගන්න උත්සාහ ගන්නවා. මේක හරියට අපේ මුතුන් මිත්තෝ ගැඩවිලුන් යොදාගෙන කළ දේමයි වැටලීමට දායක වූවෝ පවසති. බටහිර රටවලින් ගෙන ආ රසායනික ද්‍රව්‍ය යොදා අපේ රටේ ‍පොළොව වනසමින් පාංශු ජීවීන් වනසා ගන්නා අවස්ථාවක ඔවුන් රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කරමින් පාංශු සංරක්ෂණයට අපේ හැකරැල්ලන් වැනි සතුන් හොරකම් කරගෙන යෑම ලාංකික අපට අපූරු පාඩමක් කියා දෙන්නේය.

කෙසේ හෝ පසුගිය 2 වනදා අත්අඩංගුවට ගත් පිරිස එදිනම කලවාන වැඩ බලන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමට වන අඩවි නිලධාරීන් කටයුතු කරන ලදී. එහිදී පිරිස පෙබරවාරි 13 වැනි දින දක්වා බන්ධනාගාර ගත කළ මහේස්ත්‍රාත්වරිය නියෝග කිහිපයක් ලබාදී ඇත. ඉන් ප්‍රථම නියෝගය වූයේ සජීවී සතුන් සියලුම දෙනාගේ ඡායාරූප ලබාගෙන යළි සිංහරාජයට මුදා හැරීමයි. ඒ නියෝගය අනුව අපි එම සතුන් සියලු දෙනා ඡායාරූප ලබාගෙන සිංහරාජයට මුදාහැරියා  ලක්ෂ්මන් රත්නවීර පවසනුයේ බොහෝ ආඩම්බරයෙනි. 

මේ සා විශාල කෘමීන් තොගයක් මේ පිරිස එක් රැස් කළේ කෙසේදැයි අපි අනතුරුව විමසා සිටියෙමු. මේ පිරිස සතුව තිබි බොහෝ දේ අත්අඩංගුවට ගත්තා. ඒ අතර විශාල කාච සහිත කැමරාවක් මෙන්ම විශාල ඩේ‍රා්න කැමරාවක්ද වෙනවා. ඊට අමතරව වොට් 300-500 වගේ අධි බලැති විදුලි බුබුලක් සමග මීටර් 400-500 විතර දිග වයරයක්ද අපි අත්අඩංගුවට ගත්ත. අපි සැක කරනවා මේ වයරය සහ විදුලි බුබුල යොදාගෙන තමුන් නතර වූ ස්ථානයෙන් විදුලිය ලබාගෙන කැලයේ ආලෝකය දල්වා ඊට ඇදී එන කෘමීන් අල්ලා ගත් බව අඩවි ආරක්ෂක ලක්ෂ්මන් රත්නවීර පවසන්නේය.

එලෙස සූක්ෂ්ම ලෙස එක්රැස් කරගත් ෙජෙව කොටස් රටින් පිට කිරීම අන්තිම මොහොතේ වළකා ලන්නට විමසිලිමත් වන සංරක්ෂණ නිලධාරීන් සමත්වීම ජාතියේ වාසනාවකි. නොඑසේනම් අප රටින් හොරකම් කළ ෙජෙව කොටස් යොදා කළ නිමැයුම් හෙට අපටම විකුණන්නට මේ ජාවාරම්කරුවන් කටයුතු කරනු ඇත.

මීට දෙසතියකට පමණ පෙර සරුසාර සිංහරාජයට කොන්ක්‍රීට් පාරක් නමින් ලිපියක් ලක්බිම ඉරිදා සංග්‍රහයේ පළවිය. එහිදීද අනාගත ලෝකයේ වැඩිම වටිනාකම සැඟව ඇත්තෙ අප්‍රිකාවේ රන් ආකර හෝ අරාබියේ තෙල් ආකරවල නොව ආසියාවේ වැසි වනාන්තරවල බව අපි සඳහන් කළෙමු. දෙසතියකට පසු මේ සැබෑ වූයේ ඒ හෙළිදරව්ව නොවේදැයි අපි විමසා සිටින්නෙමු.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.