lakbima.lk

මරාගෙන මැරුණු ප්‍රහාරයේ නායකයා සහරාන්ගේ මාමණ්ඩිය ‘ලක්බිම’ට කතා කරයි

පසුගිය අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ල වූයේ කොළඹ, මීගමුව හා මඩකලපුවේ රට ප්‍රකට පල්ලි තුනකට හා කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකටය. ඒත් ඒ සමගම බෝම්බ කෑල්ලක්වත් නොවැදුන කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටු‍පොත, කැකුණගොල්ල ගමත් රට ප්‍රකට වූයේය.

රට මතු නොව ලොවම සසළ කළ පාස්කු ඉරිදා බෝම්බ වැල පුපුරුවා හැරීමේ ත්‍රස්තවාදී ක්‍රියාවේ නායකයා වන්නේ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේද නායකයා වන සහරාන් හෂිම් බව කියති. මේ කියන සහරාන් හෂිම්ගේ බිරිඳ විසිහතර වියැති අබ්දුල් කාදර් ෆාතිමා  හාදියාය. මේ කියන හාදියාගේ ගම ඉහත කී කැකුණගොල්ලයි. කැකුණගොල්ල රටේ මිනිසුන්ගේ මාතෘකාව වූයේ මේ සම්බන්ධතා ජාලය හෙළිදරව් වීමත් සමගය. මේ කියන ෆාතිමා හාදියා සිය අට අවුරුදු පුත්‍රයා සහ වයස අවුරුදු හතරක දියණියද සමග මීට මාස දෙකතුනකට ඉහතදීත් ජීවත් වී ඇත්තේ කටු‍පොත කැකුණගොල්‍ලේ ඇගේ පියාගේ නිවසේය.

හාදියාගේ පියා පනස්හතර වියැති මොහොමඩ් හුසෙන් අබ්දුල් කාදර්ය. මව පනස් වියැති යාසිම් සින්ඩි සහීරාය. ඔවුන්ට දරුවන් හයදෙනෙකි. සිව්දෙනෙක්ම පුත්‍රයින්ය. දියණියන් දෙදෙනෙකි. ෆාතිමා හාදියා පවු‍ලේ සිවුවැන්නීය.

මොහොමඩ් හුසේන්ලා ජීවත් වන කැකුණගොල්ලට යාබදව මඩලැස්ස අරක්යාල ගාල්ලේගම මැටිවැව සියඹලාගස්කොටුව තොරණගෙදර ආදි ගම් වෙයි. ඒ සියල්ලෙහිම බහුතරය මුස්ලිම් ජනතාවයි.

පසුගිය 28 වැනිදා අපි මොහොමඩ් හුසේන්ගේ ගෙදර සොයා කැකුණගොල්ලට ගියෙමු. ඊට පෙර දිනයක මුළු ගමම ‍පොලිස් පරීක්ෂාවට ලක්කර තිබූ බැවින්දෝ මහ දහව‍ලේත් ගම පාළුවට ගොස් තිබුණි. පාරක තොටක මිනිස් ප්‍රාණියෙක් වී නම් ඒ කලාතුරකිනි. කොළඹ පිපිරුන බෝම්බයේ බිය කටු‍පොත කැකුණගොල්ලටද දැනී තිබූ සෙයකි.

අප එහි යනවිට කැකුණගොල්ල මුස්ලිම් ජාතික පාස‍ලේ රැස්වීමක් විය. රැස්වීම කැඳවා තිබුණේ ‍පොලීසිය විසිනි. එම විශේෂ රැස්වීම සඳහා මුළු පළාතේම මුස්ලිම් පල්ලිවල මව්ලවිවරුන්ද දායකයෝද ‍පොලීසියේ උසස් නිලධාරීහුද පැමිණ සිටියහ.

පාස්කු ඉරිදා බෝම්බ පිපිරවීමේ මහ මොළකරු බව කියන සහරාන් කාෂිම්ගෙ මාමණ්ඩිය වන මොහොමඩ් හුසේන්ගේ ගෙදරට යන විට ඒ ගෙදර සියලු දොර ජනෙල් වසා දමා තිබුණි. දෙතුන් වරක් දොරට තට්ටු කළ විට බාගෙට ඇරුණු දොරෙන් මැදිවියේ පිරිමියෙක් මුහුණ දැම්මේය. ඒ මොහොමඩ් හුසේන් අබ්දුල් කාදර්ය. අනතුරුව ඔහුගේ බිරිඳ සහීරාද ඔහු පසුපසින් ආවාය. තවත් තරුණ පුතුන් දෙදෙනකු ගේ තුළ සිට එළියට පැමිණ යන්නට ගියේය.

මුලින් මුලින් අප හා කතා කරන්නටද අදිමදි කළ හුසේන් යුවළ පසුව හෙමින් හෙමින් අපට තොරතුරු දෙන්නට වූහ.

හරිම දෙයක් තමයි මහත්තයෝ වුණේ. අපි මේවා කිසිදෙයක් දැනගෙන හිටියේ නැහැ. අපි අහිංසක මිනිස්සු. ඒ වුණාට දැන් මුළු ගමම අපිව කොන් කරලා. නෑදෑයෝ හිතවතෙක් දුක සැප බලන්න එන්නේ නෑ. ආවත් බයෙන් සැකෙන්. වචනයක් දෙකක් කතා කරලා දුවනවා.

බිම බලාගත් ඔහු කතා කරන්නේ  කළකිරීමෙන් යුතුවය.

හුඟදෙනෙක් කියනවා මේ පවුල නිසා මුළු පළාතෙම මුස්ලිම් මිනිස්සු අමාරුවක වැටුණා කියලා. මුං මේවා දැනගෙන ඉඳලත් කාටවත් කිව්වේ නෑනේ කියලත් කියනවා. ඒත් මහත්තයෝ අපි මේ කිසිදෙයක් දැනගෙන හිටියේ නෑ. දන්නව නං අපි මෙහෙම දේකට ඉඩ දෙන්නෙත් නෑ ඔහු කියයි.

මට දරුවෝ හය දෙනයි. ඔය ෆාතිමා හාදියා හතර වැනියා. එයා ඔය කාත්තන්කුඩියේ සහරාන්ව කසාද බැන්දේ 2009 අවුරුද්දේ. එතකොට එයාගේ වයස අවුරුදු පහළොවක් විතර ඇති. ඔහු සිය දියණිය හා සහරාන්ගේ විවාහය සිදුවූ ආකාරය ගැන සිහිපත් කරන්නේය.

මොහොමඩ් හුසේන් කියන හැටියට සහරාන් මොහොමඩ්ගේ බිරිඳගේ නැගණියගේ ස්වාමිපුරුෂයා වන කාත්තන්කුඩියේ පදිංචි ඊබ්‍රහම් නව්ෆර්ගේ මිත්‍රයෙකි. ඔහුද පල්ලිවල දේශන පවත්වන්නෙකි. පසුගිය 21 වැනිදා ඇති වූ බෝම්බ සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට දඹුල්ල ‍පොලීසිය විසින් ඉකුත් දා අත්අඩංගුවට ගත් නව්ෆර් නමැත්තා මොහුය.

දිනක් ෆාතිමා කාත්තන්කුඩියේ සිය පුංචි අම්මාගේ ගෙදර ගියාය. ඒ සිය සීයා සහ මිත්තනිය බැලීමටය. පුංචි අම්මාගේ සැමියා වූ නව්ෆර් හමුවීමට එදාම සහරාන්ද පැමිණ සිටියේය.

එදා දුවව දැකපු සහරාන් දුව ගැන මංගල යෝජනාවක් ගෙනාවා. ඒත් ඒ වෙනකොට කෙල්ල පුංචියි. මම කිව්වා වයස හරිගියාම බලමු කියලා. ඒත් සහරාන් සැරෙන් සැරේ දුවව ඉල්ලුවා. දෑවැද්ද මොකුත් එපා. දෑවැද්ද ගන්න එක ආගමට විරුද්ධයි. දුව විතරක් දෙන්න කියලා අපට කීපවතාවක්ම පණිවුඩ එව්වා. පස්සේ ඉතින් අපිත් කැමැති වුණා. මඟුල ගත්තෙත් කාත්තන්කුඩියේදී.

මොහොමඩ් හුසේන් කියන හැටියට සහරාන් කාත්තන්කුඩියේදී තව්හීද් ජමාත් නමින් පල්ලියක් හදාගෙන එහි දේශන පවත්වා තිබේ. කාත්තන්කුඩියේ අනික් මුස්ලිම් අය මේකට විරුද්ධ වුණා. සහරාන්ට ගැහුව, ගෙදරටත් ගැහුවා. ඒ නිසා මම දුවයි දරුවෝ දෙන්නයි ආපහු ගෙදර අරන් ආවා. ඒ 2017 අවුරුද්දේදී.

මොහොමඩ් හුසේන් සිය දියණිය කැකුණගොල්ලට රැගෙන ආපසු ඔහුගේ බෑණා වන සහරාන්ද එහි පැමිණ තිබේ. ඒ කාත්තන්කුඩියේදී ඇති වූ ආගමික ගැටුමකින් පසුවය. ඒ ‍පොලීසියෙන් බේරීමටය. එහි පැමිණි ඔහු ජාතික තව්හීද් ජමාත් නමින් කටු‍පොත ප්‍රදේශයේ පල්ලිවලද දේශන පවත්වන්නට පටන් ගත්තේය. සිංහල නොදත් සහරාන් සියලු දේශනා පැවැත්වූයේ දෙමළ බසින්. මොහොමඩ් හුසේන් කියන්නේ ඔහු සිය දේශනාවලින් කුඩු අරක්කු සිගරට් බොන්නන් දැඩි දෝෂදර්ශනයට ලක් කළ බවයි.

මේ අතරතුර සහරාන්ගේ බිරිඳගේ එනම් ෆාතිමාගේ මිතුරියක යැයි කියාගත් සාරා නමැත්තිය හා ඇගේ සැමියාද පැමිණ මොහොමඩ් හුසේන්ගේ ගෙදර කාමරයක් කුලියට ගෙන එහි පදිංචි වන්නේය.

මේ අය සමග සහරාන් එහමෛහේ යනවා. අපිට කියන්නෙත් නෑ. මම දවසක් ඇහුවම සහරාන් මට කිව්වා, එයා ගැන හොයන්නේ නැතිව මගේ වැඩක් බලාගෙන ඉන්න කියලා. ඔය අතරේ පහුගිය පෙබරවාරි 19දා මම ගමනක් ගිහින් ගෙදර එනකොට ෆාතිමායි දරුවො දෙන්නයි ගෙදර හිටියේ නෑ. අර සාරා කියන ළමයා හිටියෙත් නෑ. මම ‍ලේලිගෙන් ඇහුවම කෝ කියලා කුරුණෑගල ගියා කිව්වා. රෑ දහය වෙනකම්ම ආවේ නැති නිසා කටු‍පොත ‍පොලීසියට පැමිණිල්ලකුත් කළා. එදා ඉඳලා අද වෙනකම්ම මම ඒ අය දැක්කේ නැහැ. මොහොමඩ් හුසේන් අප හා කීවේය.

පසුගිය දිනක සමන්තුරේදී හමුදා සෝදිසි කිරීමක් අතරතුර බෝම්බ පුපුරුවාගෙන ත්‍රස්තවාදීන් කීපදෙනෙක්ම මිය ගියහ. එම බෝම්බ පිපිරුන නිවසේ තුවාල ලබා සිටි කුඩා දැරියක් සහ තරුණ ගැහැනියක් අම්පාර රෝහලට ඇතුළත් කෙරිණි. ඒ ගැහැනිය මොහොමඩ් ෆාරුක්ගේ දියණිය නැතහොත් සහරාන්ගේ බිරිඳ හෙවත් ෆාතිමා හාදියාය. දැරිය ඇගේ දියණියයි.

සමන්තුරේ බෝම්බය පුපුරුවාගත් නිවසේ තිබි කාන්තාවන් අඳින සුදු ඇඳුම් කීපයක් ආරක්ෂක අංශ විසින් සොයා ගත්තේය. ඒවා ගිරිඋල්ල නගරයේ රෙදිපිළි වෙළෙඳසැලකින් මිලදී ගත් ඒවා බව පසුව හෙළි විය. එම රෙදිපිළි මිලදී ගැනීමට පැමිණ සිටියේ මුස්ලිම් බුර්කාව හැඳගත් කාන්තාවන් දෙදෙනෙක් සහ කුඩා දරුවන් දෙදෙනෙකි. කටු‍පොත හා ගිරිඋල්ල අතර ඇත්තේ සුළු දුරකි.. එදා එම ඇඳුම් ගැනීමට පැමිණියේ සහරාන්ගේ බිරිඳ වූ ෆාතිමා හා ඇගේ යෙහෙළිය සාරා  යන්න දැන් ආරක්ෂක අංශවලට ඇති සැකයයි. එසේ නම් ඇයද මේ අන්තවාදී කල්ලියට සම්බන්ධ තැනැත්තියක්ද?. ඒ තවත් සැකයකි.

ඒ කෙසේ වෙතත් ෆාතිමාගේ පියාත් අප එහි සිටින විට එහි පැමිණි ඇගේ සීයත් කියන්නේ මිනීමරා අල්ලාහ් දෙවියන් ළඟට යා නොහැකි බව නබිනායකතුමන්ද දේශනා කර ඇති බවයි.

 කේ.ඒ. ජයසූරිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.