lakbima.lk

ජනපති අගමැති ගැටුමේදී පාපන්දුවක් වූ බුද්ධි අංශ

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීමට අ‍පොහොසත් වීම හේතුකොට  ජනපතිවරයා හා අගමැතිවරයා අතර අලුත් ගැටුමක් නිර්මාණය වූයේ එම ප්‍රහාරයෙන් මියගිය අයගේ මළසිරුරු භූමදානය කිරීමටත් පෙරය. එම අලුත් ගැටුම උද්ගත වූයේ දෙදෙනා අතර තිබූ පරණ ගැටුම්වලට අමතරවය. එම ගැටුම් කොතරම් දුරදිග ගියේද කිවහොත් ජනාධිපතිවරයා විදෙස් ගත වූ පසුබිමක වැඩබලන රාජ්‍ය නායකයා වන අගමැතිවරයා කැඳවූ ආරක්ෂක කවුන්සලයට ‍පොලිස්පතිවරයා හැර ත්‍රිවිධ හමුදාපතිවරු සහභාගිවීමෙන් වැළකී සිටියහ. එහෙත් මහින්ද රාජපක්ෂ දින පනස් දෙකකට අගමැති පුටුවේ වාඩි වූ මොහොතේ ‍පෝලිමේ ගොස් ආචාර කළේද මේ ත්‍රිවිධ හමුදාපතිවරුමය.

එබැවින් මහින්ද රාජපක්ෂට සැලියුට් ගසන්නටත් රනිල් වික්‍රමසිංහගේ කැඳවීම ප්‍රතික්ෂේප කිරීමටත් හේතුව ධුරාවලියේ ප්‍රශ්නයක් නොව දේශපාලන ප්‍රශ්නයක් බව පැහැදිලිය. එක් අතකින් ඔවුන්ගේ පාර්ශ්වයෙන් කියන්නට කරුණක් ඇත. ඔවුන්ගේ පත් කිරීමේ හා සේවා දිගු දීමේ බලධාරියා වන්නේ ජනපතිවරයාය. ඔහුගේ නොසතුටට හේතු වන තීරණ ගැනීමට හමුදාපතිවරු පෙළඹෙන්නේ නැත. පාස්කු ප්‍රහාරයට පෙර සිටම ජනපතිවරයාගේ උදහසට ලක්ව සිටින අගමැතිවරයා ප්‍රහාරයෙන් පසු ඇඟ බේරා ගැනීමට උත්සාහ කළේ තමාව ආරක්ෂක මණ්ඩලයට නොකැඳවීම නිසා කිසිවක් නොදන්නා බව කියමිනි. ඊට ජනපතිවරයාගේ පාර්ශ්වයෙන් උත්තර දුන්නේ අගමැතිවරයා ආරක්ෂක                කවුන්සලයේ තොරතුරු පිටට දුන් නිසා ඔහු ඊට නොකැඳවූ බවය. මේ සියලු තර්ක විතර්කවලින් පැහැදිලි වන්නේ ඔවුන්ගේ ගැටුමය. කෙසේ නමුදු මේ සිද්ධියේදී ආරක්ෂක ප්‍රධානීන්ගේ හැසිරීමද ජනපති හා අගමැතිවරයාට නොදෙවැනිය. ඇතැම්හු මේ ප්‍රශ්නය මාස තුනෙන් අවසන් කරන බවට පුරාජේරු කතා කීහ. එහෙත් එය මාස තුනෙන් අවසන් කළ නොහැකි බව පරිණත යුද සෙනවියකු වූ ආරක්ෂක ‍ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩද ගිය සතියේ කීවේය. ඔහු ඒ බව කීවේ මීට බොහෝ කලකට පෙර සිටි හමුදාපතිවරයෙක් මාස හයෙන් උතුරේ ප්‍රශ්නය විසඳන්නට ගොස් වූ විනාශය ගැනද සිහිපත් කරමිනි. ඔහු ඒ ගැන විස්තර නොකළද අසූව දශකයේ උතුරේ වූ දේ යුද ඉතිහාසය දන්නා අයෙකුට අමතක වීමට හේතුවක් නැත. ජේ.ආර්. ජයවර්ධන ජනපතිවරයා එල්.ටී.ටී.ඊ.ය වැනසීම භාර කළේ බුල් වීරතුංග ලෙස ප්‍රකට බ්‍රිගේඩියර් තිස්ස වීරතුංගටය. අවශ්‍ය නම් ඔබ යාපනය බිමට සමතලා කරන්න. මම එය යළි ගොඩනගන්නම් යනුවෙන් ජේ.ආර්. කීවේය. ඒ කීම අසා බ්‍රිගේඩියර් වීරතුංග යාපනයට කළ දෙයින් හටගත් ප්‍රතිඵල නිවන්නට තිස් අවුරුද්දක් ගත වූවේය. ඒ බව ආරක්ෂක ‍ලේකම්වරයා දැනුවත්ව සිටියද ඔහු යටතේ සිටින ඇතැම් ජෙනරාල්වරු නොදන්නා බව ඔවුන්ගේ කියුම් කෙරුම්වලින් පැහැදිලිය. මේ මොහොතේ ඔවුන කරන්නේ තම ස්ථානය තවදුරටත් තබා ගැනීමට ආයෝජනය කරනවා මිසක් වෙන කිසිවක් නොවේ. ඒ අතින් බලන විට ජනපති - අගමැති මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර වෙනසක් නැත. ඔවුන් නියැලෙමින් සිටින්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍රවල මිසක් ජාතික ආරක්ෂාව ගැන සිතා නොවේ.

එහි උච්චස්ථානය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යන ගරු ගාම්භීර වචනයෙන් සරසා ඇති නාටකයෙන් දැන් එළියට පැමිණ තිබේ. එය ජනපති හා අගමැති අතර උද්ගතවී තිබෙන බල අරගලයේ ප්‍රතිඵලයකි. එජාපය එම කමිටුව පත් කළේ ජනපතිවරයා කොටු කිරීමට බව පැහැදිලිය. අනෙක් පැත්තේ ජනපතිවරයාද එජාප යෝජනා කරන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ‍පොලීසිය භාර ඇමැතිකම දෙන්නේ නැත. ඔහු පිළිබඳ කෙබඳු දේශපාලන විවේචන තිබුණද මේ මොහොතේ පාර්ලිමේන්තුවේ සිටින දෙසිය විසිපහ අතරින් ආරක්ෂක විෂය දන්නා ප්‍රමාණිකයා ඔහු බව සියල්ලෝම ‍පොදුවේ පිළිගන්නා කරුණකි. ඔහු යුද්ධය අවසන් කළ හමුදාපතිවරයා පමණක් නොවේ. ආරක්ෂක විෂය පිළිබඳ ඔහු එංගලන්තයේ රාජකීය ආරක්ෂක විද්‍යාලයේ උපාධිධරයෙකි. (අඛිච්ඉ) ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ එවැනි සුදුසුකම් ඇති එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද ඔහුය. අගමැතිවරයා ෆීල්ඩ් මාර්ෂල්      ෆොන්සේකාට නීතිය හා සාමය භාර දෙන්නට යෝජනා කරන්නේ යහපත් ච්ෙතනාවෙන් නොවේ. එවැනි යහපත් ච්ෙතනාවක් අගමැතිවරයාට තිබුණේ නම් ඔහු මින් පෙර කළ යුතුව තිබුණේ සිය මස්සිනාට (රුවන් විජයවර්ධන) ප්‍රතිරූප තනන්නට ඔහුට දුන් ආරක්ෂක  රාජ්‍ය අමාත්‍ය ධුරය ෆීල්ඩ් මාර්ෂල්         ෆොන්සේකාට දීමට ජනපතිට නිර්දේශ කිරීමය. එකල ජනපති හා ෆීල්ඩ් මාර්ෂල් සුහදව සිටී බැවින් එවැනි නිර්දේශයක් ජනපතිවරයා ලවා අනුමත කරන්නට ඉඩ තිබුණි. එහෙත් දැන් අගමැතිවරයා මේ යෝජනාව කරන්නේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරා ගැනීමට විය හැකිය.

කෙසේ නමුදු අගමැතිවරයාගේ තවත් එක් දේශපාලන උපක්‍රමයක් ලෙස බැලූ බැල්මට පෙනෙන්නට ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ අසරණ වන්නේ ජනපති හෝ අගමැති නොව ආරක්ෂක බුද්ධි ප්‍රධානීහුය. පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම මෙන්ම රිෂාද් බදියුදීන් ඇමැතිවරයාට එල්ල වී ඇති චෝදනා විභාග කිරීම මෙම කමිටුවේ විෂය පථයය. එම කමිටුවට මුලින්ම කැඳවා තිබුණේ ආරක්ෂක ‍ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ හා ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති සිසිර මෙන්ඩිස්ය. රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු බුද්ධි නිලධාරීන් කීපදෙනෙක් සාක්ෂිකරුවන්ගේ ‍පෝලිමේ සිටින බවට දැනගන්නට ලැබි ඇත.

ආරක්ෂක ‍ලේකම් සාක්ෂි දෙන විට එම කමිටුවේ අසුන්ගෙන සිටි එක් අයෙකු පහළොස් වසරකට ඉහතදී ඔහුගේ දෙවැනියා හෙවත් යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා වී සිටියේය. ඔහු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. ඔහුත් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩත් හමුදාවට එකට බැඳී එකම පාඨමාලාව හැදෑරූ සගයෝය. එහෙත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනිය ෆොන්සේකාට පෙර කෝට්ටේගොඩ හමුදාපති පුටුවේ වාඩි කළාය. පසුකලක ඔවුහු විරසක වූහ. එහෙත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක            ‍ලේකම්වරයා සාක්ෂි දෙන විට ඔහුගෙන් සංයමයකින් ප්‍රශ්න ඇසීමට තරම් විචාර බුද්ධියක් තිබුණේ ෆොන්සේකාට පමණි. ඇතැම් මන්ත්‍රීහු, කිසිදු දිනක කිසිදු තැනක හෙළි නොකැරෙන, ප්‍රශ්න නොකැරෙන යුද හමුදා බුද්ධි අංශයේ රහස්‍ය ගිණුම ගැනද හාරා අවුස්සා ප්‍රශ්න විමසීය. එම ගිණුමෙන් මුදල් දෙන ඔත්තුකරුවන් ගැන ප්‍රශ්න කරන්නේ නැත. ඊට හේතුව වන්නේ ආරක්ෂක       ‍ලේකම් හා යුද හමුදාපතිවරයා එහි වගකීම භාර ගන්නා නිසාය. අවාසානාවන්තම සිද්ධිය වන්නේ මේ සියල්ල ප්‍රශ්න කෙරෙන්නේ මාධ්‍ය ඉදිරියේ බැවිනි. එහි අනෙක් කතාව වන්නේ ඊට අවසර දුන් එක් අයකු වන කථානායක කරු ජයසූරියද හිටපු යුද හමුදා නිලධාරීයකු වීමය. ඉදිරියේ කෙරෙන ප්‍රශ්න කිරීම් හමුවේ අසරණ වූ ආරක්ෂක ‍ලේකම්වරයා යුද හමුදා බුද්ධි අංශයේ රහස්‍ය ගිණුම ගැන අවශ්‍ය නම් පෞද්ගලිකව තොරතුරු දිය හැකි බව කීවේ හමුදාපතිවන්නට පෙර ඔහුද සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි කර තිබූ නිසා විය යුතුය.

ආරක්ෂක ‍ලේකම්වරයාට වඩා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ අසරණ වූයේ ජාතික බුද්ධි ප්‍රධානියා වන විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති සිසිර මෙන්ඩිස්ය. ජාතික ආරක්ෂාව වැනි සංවේදී කටයුතුවලදී ජාතික බුද්ධි අංශ භාරව සිටින ප්‍රධානීන් කැඳවීම ජාතික ආරක්ෂාව අතින් ඉහළින්ම සිටින ඇමෙරිකා එක්සත් ජනපදය පවා කරන්නකි. සී.අයි.ඒ. සංවිධානයේ ප්‍රධානියා 'සැප්තැම්බර් 11' ප්‍රහාරයෙන් පසුව කරුණු විමසීමට ප්‍රසිද්ධියේම ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයට කැඳවීය. ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ ප්‍රධානියාත් එසේ තොරතුරු දීමට කැඳවති. ඒ බුද්ධි ප්‍රධානින්් ඒ රටවල්වලට ප්‍රකට චරිතයක් බැවිනි. පිළිගත් ක්‍රමය වන්නේ බුද්ධි අංශ ප්‍රධානීන් ප්‍රසිද්ධියේ කැඳවූවත් බිම් මට්ටමේ නිලධාරීන් ප්‍රසිද්ධියට පත් නොකිරීමය. එසේ බලන විට ජාතික බුද්ධි ප්‍රධානියා හෝ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ප්‍රසිද්ධ සභාවකට කැඳවීමේ වරදක් නැති බව තර්ක කළ හැකිය. එවැනි දෑ මින් පෙර ලංකාවේ වී නැති බව කිසිවෙකු කියන්නේ නම් එය ඔහුගේ දැනීම ගැන ප්‍රශ්නයකි. ආසන්නම උදාහරණය වන්නේ මහින්ද රාජපක්ෂ ජනපතිව සිටි අවධියේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වන විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හේන්දාවිතාරණ මාධ්‍යයට කැඳවීමය.

දෙදහස් දහයේ ජනවාරියේ මුල් දිනක ඔහු කොල්ලුපිටියේ ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයට පැමිණ ප්‍රවෘත්ති සාකච්ඡාවකටද පවා සහභාගි විය. ඒ කේ.පී.ගේ නැව් ගැන ජනපතිවරණ වේදිකාවේ පළ වූ වාර්තාවලට පිළිතුරු දීමටය.

එසේ බලන විට එකල ජාතික බුද්ධි ප්‍රධානියා කැමරා ඉදිරියට කැඳවීම හරි කියන්නටත් අද එසේ කළ විට වැරදි යැයි කියන්නටත් නොහැකිය. එහෙත් ප්‍රශ්නය වන්නේ ජාතික බුද්ධි ප්‍රධානියා හෝ  රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මාධ්‍ය ඉදිරියේ නිරාවරණය කිරීම නොව ප්‍රසිද්ධියේ නොඇසිය යුතු ප්‍රශ්න කැමරා ඉදිරියේ අසා ඔවුන් අසරණ කිරීමය.

පාර්ලිමේන්තු කමිටුව හමුවේ ජාතික බුද්ධි ප්‍රධානියා කීවේ පෙබරවාරි දහනව වැනිදායින් පසු ජාතික ආරක්ෂක  මණ්ඩලය රැස්වී නැති බවය. ප්‍රහාරය ගැන බුද්ධි තොරතුරු මට ලැබුණේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාගෙන්. ඒක ලැබුණේ 8 වැනිදා. මම ඒක ආරක්ෂක ‍ලේකම්ට කිව්වා. මම කියන විට ඔහු ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. මේක 9 වැනිදා සාකච්ඡා කරමු කියලා ‍ලේකම්තුමා කිව්වා. නමුත් 9 වැනිදා බුද්ධි මණ්ඩලය රැස්වුණත් මේක ගත්තේ නැහැ. සාකච්ඡා කළේ නැහැ. ඊට පස්සේ මම ඒ ලියුම ‍පොලිස්පතිතුමාට යැව්වා. ඒ ලියුම යැව්වේ අයිස් ඔන්ලි කියලයි. මේක බුද්ධි අංශයේ වචනයක්. ඉතාම වැදගත් කියන්නයි ඒක පාවිච්චි කරන්නේ. එහෙම කළේ මේක වැදගත් ලියුමක් නිසයි. ඔහු සාක්ෂි දෙමින් කීවේය. එහෙත් ජනපතිවරයා කියන්නේ ජාතික ආරක්ෂක කවුන්සලය රැස් නොවූයේ එහි තොරතුරු පිටතට ගිය නිසා බවය. ඒ නිසා එම කවුන්සිලයට වඩා වෙනත් කමිටුවක් රැස්වී ජාතික ආරක්ෂාව ගැන තීරණ ගත් බව ඔහු පවසා තිබිණි. එහෙත් එවැනි කමිටුවක් ගැන රාජ්‍ය බුද්ධි ප්‍ර්‍රධානියා   සාක්ෂි දුන් මොහොතේ කියන්නේ නැත. එහි අරුත ජාතික බුද්ධි ප්‍රධානියා සහභාගි නොවන තවත් ආරක්ෂක කවුන්සලයක් තිබුණු බවය. කෙසේ නමුදු බුද්ධි ප්‍රධානීහු අද ජනපතිවරයා හා අගමැතිවරයා අතර ඇති තරගයේ එහා මෙහා විසිවන පාපන්දු බවට පත්ව සිටීම මහා ඛිෙදවාචකයකි. මේ කරුණුවලින් පැහැදිලි වන්නේ කමිටුවේ සාක්ෂි විභාගය අවසන් වන විට ජාතික බුද්ධි ප්‍රධානියාගේ මෙන්ම රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගේ තනතුරු ගැලවී යාමට ඇති සම්භාවිතාව වැඩි බවය. කෙසේ නමුදු ජනපතිවරයා හා අගමැතිවරයා අතර ඇති බලඅරගලය දැන්ම නිමවන පාටක් නැත. දැනට පෙනෙන හැටියට එය නිම වනු ඇත්තේ ඊළඟ ජනපතිවරණයකින් පමණි. එහෙත් තව බොහෝ දෑ සිද්ධ  වීමට ඉඩ ඇත. ඒ දෙස බලා සිටිනවා හැරෙන්න වෙන කිසිවක් කරන්නට ජනතාවට ඉතිරිවී නැත.

සුභාෂ් නානායක්කාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.