lakbima.lk

හලාවත බෝට්ටු හොරා ප්‍රංශයට මිනිසුන් ගෙනගිය හැටි

බුඩි කිර්තිසේන විසින් දෙදහස් හතර වර්ෂයේ “මිල්ල සොයා” සිනමා පටය නිර්මාණය කිරීමේදී ඊට වස්තු විෂය කරගත්තේ නීති විරෝධී ලෙස වයඹ හා බටහිර මුහුදු තීරය ඔස්සේ බෝට්ටු මගින් මෙරට තරුණයන් ඉතාලිය වෙත හොර රහසේ පලා යාමයි.

එය කෙතරම් දුෂ්කර, අවදානම්  ගමනක් වුවද ඉතාලියේ වැටුප ගැන සිතමින් එකල එක ‍පොදියට මෙරට පිරිස් ඉතාලියට යාමට ‍පොර කෑවේ තමන්ගේ මුළු ජීවිතය පුරා හරි හම්බකරගත් දේපළ උකසට තබමිනි.

ලාංකික තරුණ කොටස් ඉතාලිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව ආදී රටවලට මෙසේ නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමෙන් පසු එම රටවලින් පිටුවහල් කළ අවස්ථාද එමටය. එහෙත් බොහෝ දෙනා බෝට්ටුකරුවන්ට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගෙවා  නීති විරෝධී ආකාරයෙන් රට පැනීම  නැවැත්තුවේ නැත.

මෙම මිනිස් ජාවාරමේ ඇති අවදානම පිළිබඳ රජය දිගින් දිගටම මහජනතාව දැනුවත් කිරීමට පෙලඹුණ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නීති විරෝධී ලෙස රට පැනීම පහුගිය සමයේ මදක් අඩපණ විය.

එහෙත් නීති විරෝධී ලෙස බෝට්ටු මගින් රට යාමේ ජාවාරම නැවතත් සක්‍රීයව පවතින බව ඉකුත්දා හෙළි විය. ඒ හලාවත බහුදින යාත්‍රාවක්‍රින් පුද්ගලයන් හැත්තෑ දෙදෙනෙකු යුරෝ සොයා ප්‍රංශයේ රියුනියන් දූපතට පලා යාමත් සමගය.

මෙම මිනිස් ජාවාරමේ අලුත්ම ගමනාන්තය දැන් ප්‍රංශයය. ප්‍රංශ වසන්තය ගැන සිහින දකින මොවුන් පළමුව ගොඩබසින්නේ ප්‍රංශයට අයත් රියුනියන් දූපතටය.

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් මැඩගස්කරයට ආසන්නයේ පිහිටා ඇති රියුනියන් දූපත විශාලත්වයෙන් වර්ග කිලෝ මීටර් 2511 කි. ධීවර, පතල් කර්මාන්ත රැකියාවලින් යුක්ත මෙම දූපතේ මේ වන විට පුද්ගලයන් ලක්ෂ නවයක් පමණ ජීවත් වෙති.

මෙරට මිනිස් ජාවාරමේ යෙදෙන්නන් රට පැනීමේ සිහින දකින වූවන්ට පෙන්වන්නේ රුපියල් ලක්ෂ අටකින්, දහයකින් ප්‍රංශයට පැනීමට හැකි බවය. එහෙත් සැබැවින්ම සිදුවන්නේ ප්‍රංශයට අයත් රියුනියන් දූපතට ගොස් දැමීමය. මේ සඳහා දින විසි පහක් පමණ ගතවේ. මෙරට සිට එම දූපතට ඇති දුර නාවික සැතපුම් තුන්දහසක් පමණ වේ. දූපතට ගොඩ බැසීමෙන් පසු ප්‍රංශයට ඇතුළු වීමේ මාර්ගය යන පුද්ගලයා විසින් සකසා ගත යුතුව ඇත. එසේ යා නොහැකි වූවෝ දූපතේම සිටියි. එසේත් නැතිනම් එරට අත්අඩංගුවට පත් වෙති.

හලාවත, විජය මාවතේ පදිංචි එම්. ජේ. සුදර්ශන බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙකි. ඔහු ඒවා මිලට ගත්තේ සිය දේපළ උකසට තබමිනි. ඔහුගේ එක් බහුදින යාත්‍රාවක් නම් කර තිබුණේ ජේ. ප්‍රසංශා නමිනි. එහි නියමුවා ලෙස සේවය කළේ මහවැව - තොඩුවාව පදිංචි එම්. සී. කේ. ප්‍රනාන්දුය. ඊට අමතරව තවත් පුද්ගලයන් හය දෙනෙකු මෙහි සේවය කළහ.

ප්‍රනාන්දු වසර කිහිපයක් මෙම බහුදින ධීවර යාත්‍රාවේ නියමුවා ලෙස සේවය කළ බැවින් සුදර්ශන ඔහු විශ්වාස කළේය.

මෙම වසරේ පළමු ධීවර ගමනට මොවුන් සියලු දෙනාම සූදානම් වූයේ ඉකුත් දෙසැම්බර් මස අවසන් දින කිහිපයේ සිටය. එම දිනවල සුදර්ශනගේ දරුවෙකු අසනීප තත්ත්වයෙන් රෝහල් ගත කර තිබූ හෙයින් මේ පිළිබඳ අවධානය යොමු කිරීමට සුදර්ශනට හැකි වූයේ නැත.

දිනක් ප්‍රනාන්දු පවසා සිටියේ “මහත්තයා බෝට්ටුවේ එන්ජිම හරි නෑ වගේ. අලුත් එකක් තියමුද ලෙසිනි. ප්‍රනාන්දු විශ්වාස කළ සුදර්ශන ඒ සඳහා මුදල් ලබා දුන්නේය.

නව එන්ජිමත් සහිත ජේ ප්‍රසංශා ඉකුත් ජනවාරි 09 වැනි දින මීගමුව ධීවර වරායෙන් දියඹට ඇදී ගියේ ප්‍රනාන්දු හා සේවකයන් හය දෙනා සමගිනි. පුද්ගලයන් හත් දෙනාට සරිලන මාස දෙකකට අවශ්‍ය ආහාරපාන, ඉන්ධන ලීටර් 10000 ක්, රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මත්ස්‍යයන් ඇල්ලීමේ උපකරණ මෙකී යාත්‍රාව තුළ විය.

ටුනා මත්ස්‍යයන් සොයා යාම වෙනුවට මෙදින ප්‍රනාන්දු කෙළින්ම ජේ. ප්‍රසංශා පැදවූයේ හලාවත කෙළින් ගැඹුරු මුහුදටය. ඔහුගේ අරමුණ පිළිබඳ යාත්‍රාවේ සිටි අය දැනුවත්ව සිටි බැවින් අමතර ප්‍රශ්න කිරීමක් සිදු වූයේ නැත. ඔවුන් හලාවත ගැඹුරු මුහුදේ සිට පළමුව සිදු කළේ යාත්‍රාවේ නම මකා දැමීමය. පසුව හලාවත ගොඩබිමේ සිට කුඩා බෝට්ටුවලින් රැගෙන එන ලද පුද්ගලයන් රැසක් යාත්‍රාවට පටවා ගත්හ.

මෙසේ යාත්‍රාවට ගොඩ වූයේ ප්‍රංශ යාමට සිහින දුටු පිරිස්ය. මේ අතර පිරිමි 60 ක්, කාන්තාවන් 07 ක් හා කුඩා දරුවන් පස් දෙනෙකු වූහ. ප්‍රනාන්දුගේ පවු‍ලේ පිරිසද මෙහි සිටි අතර සෙසු පුද්ගලයන්ගෙන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 6 සිට 15 දක්වා මුදල් ගෙන තිබුණේ ඔවුන් ප්‍රංශයට ගෙන යාමේ ගාස්තුව ලෙසිනි.

හලාවත ගැඹුරු මුහුදේ දින කිහිපයක් නවතා තිබූ ජේ. ප්‍රසංශා යාත්‍රාව කෙළින්ම ගමන් කළේ රියුනියන් දූපත බලාය.

මේ අතර යාත්‍රාව දියඹට ගිය පසු සම්බන්ධ කර ගන්නා ස්ථානයකට ගොස් ප්‍රනාන්දුගේ සහෝදරයෙක් ජේ ප්‍රසංශාවේ හිමිකරු ලෙස පෙනී සිටිමින් යාත්‍රාව හා සම්බන්ධ වී තිබේ. මේ ගැන සුදර්ශනට සැලවීමෙන් පසු ඔහුට ප්‍රථම වතාවට ප්‍රනාන්දු පිළිබඳ සැකයක් මතු විය.

එමෙන්ම ධීවර යාත්‍රාව මෙරට ධීවර සීමාවෙන් ඔබ්බට යාමෙන් පසු කිසිදු තොරතුරක් ධීවර කාර්යාලය වෙතද නොලැබුණු බැවින් සුදර්ශන වහාම මේ පිළිබඳ මීගමුව ‍පොලීසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය.  එතනින් නොනවැතුණු ඔහු සිය යාත්‍රාව පිළිබඳ සොයන්නට විය. එහිදී අනාවරණය වූයේ ජේ ප්‍රසංශා පුද්ගලයන් 72 ක් සමග දින විසි පහක් තුළදී රියුනියන් දූපතට ගොස් ඇති බවය.

මේ සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවද විමර්ශන ආරම්භ කළ අතර මොවුන් පිළිබඳ ප්‍රංශයට දැනුම් දෙන ලදී. ඒ අනුව නීති විරෝධීව සංක්‍රමණය වූ මෙම පුද්ගලයන් අතරින් දෙදෙනෙකු හැර 70 දෙනකු අත්අඩංගුවට ගෙන වහාම එරටින් පිටුවහල් කිරීමට ප්‍රංශ රජය තීරණය කර තිබේ. එහිදී අත්අඩංගුවට ගත් මෙම ශ්‍රී ලාංකිකයන් කියා ඇත්තේ ලංකාවේ ජීවත් වීමට සුදුසු පරිසරයක් නැති හෙයින් තමන් මෙසේ පලා ආ බවයි.

කෙසේ වෙතත් ඔවුන් ප්‍රංශයේ විශේෂ ගුවන් යානයකින් ඉකුත් 14 දා මෙරටට පැමිණියේ යුරෝ සිහිනය බොඳ කර ගනිමිනි. එපමණක්ද නොව මෙරටට පැමිණි විගස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔවුන් ‍පොලිස් අත්අඩංගුවට පත් වූයේද නීති විරෝධී ලෙස සංක්‍රමණය විමේ වරදටය.

මෙසේ අත්අඩංගුවට පත්වූ බොහෝ දෙනා හලාවත, උඩප්පුව, යාපනය ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඔවුන්ට නීති විරෝධී සංක්‍රමණයට එරෙහිව චෝදනා ගොනුවෙද්දී යාත්‍රාවේ නියමුවා වූ ප්‍රනාන්දුට නීති විරෝධී සංක්‍රමණයට අමතරව යාත්‍රාව පැහැර ගැනීමේ වරද යටතේද චෝදනා ගොනුවෙනු ඇත.

මොවුන් ගුවනින් මෙරටට ආපසු පැමිණියද සුදර්ශනගේ රුපියල් කෝටි ගණනක් වටිනා යාත්‍රාව තවමත් ඇත්තේ රියුනියන් දූපතේය. එය ආපසු ගෙන්වා දෙන ලෙස ඔහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේය.  ධීවර දෙපාර්තමේන්තුව පවසන පරිදි මේ වන විට මෙරටින් රියුනියන් බලා යාත්‍රා 07 ක් ගොස් ඇති අතර ඉන් දෙකක් නාවික හමුදා අත්අඩංගුවට පත්ව තිබේ. තවත් යාත්‍රාවක් කාර්මික දෝෂයකට ලක්ව වෙනත් දූපතකට ගොස් ඇත.

ශ්‍රී ලාංකීය මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් යාත්‍රා පරීක්ෂා කෙරෙන ස්ථාන කිහිපයක්ම ඇති අතර ඔවුන්ට හොරෙන් මෙලෙස ජේ. ප්‍රසංශා ගමන් කළේ කෙසේද යන්න ගැටලුවක් බවද හලාවත යාත්‍රා හිමිකරුවන් ප්‍රකාශ කර සිටිති.

එමෙන්ම මෙලෙස යාත්‍රා පැහැරගෙන යාම තුළින් යාත්‍රා හිමිකරුවන් යාත්‍රා මුහුදට යැවීමට බියකින් පසුවේ. මින් විදේශයට අපනයනය කෙරන ටුනා මත්ස්‍යයන් කර්මාන්තයට මරු පහරක් වැදෙන බවද ඔවුන්ගේ අදහසයි.

ශානිකා මාධවී පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.