lakbima.lk

ආණ්ඩුකාරවරු ගෙදර යැවූ චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණය

පළාත් නවයේ ආණ්ඩුකාරවරු සියල්ලෝම ගිය සතියේ හිටි හැටියේම ඉල්ලා අස්වූහ. ඔවුන් ඉල්ලා අස් වූයේ සිය පත්වීමේ බලධාරිය, වන ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග පරිදිය. මාධ්‍ය හරහා ප්‍රකාශ වූවේ ඔවුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද කිරීමේ කුමන්ත්‍රණයකට ආණ්ඩුකාරවරුන් සම්බන්ධවීම බවට තොරතුරු හෙළිවීම නිසා බවය.

ආණ්ඩුකාරවරුන්ගෙන් කිහිප දෙනෙකු මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද කිරීමට සූදානම් වන බවට ජනාධිපතිවරයාම පැවැසුවේ ශ්‍රීලනිප සංවිධායකවරුන් කොළඹට ගෙන්වා පැවැත්වූ සාකච්ඡාවේදීය. මේ චෝදනාවෙන් පසු ආණ්ඩුකාරවරුන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබුවේ 2018 දෙසැම්බර් 31දාය.

ජනාධිපතිවරයා කළ දැනුම්දීමකට අනුව ආණ්ඩුකාරවරුන් 09දෙනාම ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති ‍ලේකම්වරයා වෙත යොමු කර තිබුණි.  මුලින්ම එම ලිපිය යොමු කර ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේය. ඔහු හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග සමග සමීපව කටයුතු කරන බව සඳහන්ය. පසුව පිළිවෙළින් සියලු දෙනාම ඉල්ලා අස්වීමේ ලිපි යොමු කර තිබේ. ආණ්ඩුකාරවරුන්ගේ මේ ඉල්ලා අස්වීම ගැන කතා කිරීමට පෙර  ආණ්ඩුකාරවරයා කියන්නේ කවුදැයි දැන ගැනීම වටී. ‍පොතේ හැටියට ආණ්ඩුකාරවරයා කියන්නේ ජනපතිවරයාගේ නියෝජිතයාට සිය පළාත තුළ ඔහු හරියට ජනපති මෙන්ය. ඒ තරම්ම ආණ්ඩුකාරවරයාට බලයක් ඇත්තේය. ඉකුත් කාලයේ උතුරු නැගෙනහිර  සම්පූර්ණයෙන්ම පාලනය කළේ ආණ්ඩුකාරවරයාය. මහ ඇමැතිටත් නැති බලයක් ඔහුට හිමි විය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරධුර ස්ථාපිත කරනු ලැබුවේ 1987දී ගෙනා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරවය. ඔවුන් ජනාධිපතිවරයාගේ නියෝජිතයා  ලෙස පළාතට පත් කිරීමට 13 වෙනි ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන වෙන් කොට තිබේ.

ආණ්ඩුකාරවරයාගේ ධුර කාලය අවුරුදු 02 නොඉක්මවිය යුතුය. වසර දෙකක්, වසර 3ක් හෝ 4ක් හෝ සම්පූර්ණ  කාලයම හිමිවන සේ පත්වීම් කිරීමට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනයෙන් බලතල පවරා ඇත. නිල නිවසක්, නිල වාහනයන්, කාර්ය මණ්ඩලයන් ඇතුළු සුපිරි වරප්‍රසාද රැසක් ආණ්ඩුකාර ධුරයට හිමිය.

ආණ්ඩුකාරවරයෙකුට පළාත් සභාවේ මංගල සැසිවාරය ඇරඹීමට, පළාත් සභාව කල් තැබිමට, පළාත් සභාව විසුරුවා හැරීමට බලය තිබේ. එසේම මහ ඇමැතිවරයා පත් කිරීම හා සෙසු ඇමැතිවරුන් පත් කිරීමට බලය ඇත්තේද ආණ්ඩුකාරවරයාටය. පළාත් සභාවේ වැඩිම බලයක් හිමිකර ගත් පක්ෂයේ නායකයා සමග සාකච්ඡා කොට මෙම පත් කිරීම් කළ යුතුය.

පරිපාලනයේදී මුදල් පාලනය ගැන හදිසි  මුදල් පාලනය ආදී බලතල ද ඔහුට හිමිය. පළාත් රාජ්‍ය සේවය, රාජ්‍ය සේවා කොමිසම ආදී  පරිපාලන බලතල රැසක් ආණ්ඩුකාරවරයාට හිමිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ බලතල ප්‍රකාරව ආණ්ඩුකාරවරු කටයුතු කරද්දී ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට හදිසියේ ඉල්ලා අස්වන්නට කීවේ ඇයිද යන ගැටලුව සැමටම ඇත. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ආණ්ඩුකාරවරුන්ට හිටි හැටියේ ඉල්ලා අස්වන්නට කීවේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුකාරවරුන් සමග ගනුදෙනු කරන්නට පටන් ගැනීම නිසා බව පැවැසේ.

චන්ද්‍රිකා කුමාරතුංග සමග එක්ව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ශ්‍රීලනිප සංවිධායකවරුන් පිරිසක් සමග කටයුතු කරන බවට ජනාධිපතිවරයාට තොරතුරු වාර්තා වී ඇත. ජනාධිපතිවරයා කැඳවූ සංවිධායක රැස්වීම අතරතුරේ අර්බුදයක් හට ගත්තේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ කොළඹ නිවසේ රැස් වී ආසන සංවිධායකවරු  කළ කතාබහකින් පසුව බව දැන ගන්නට තිබේ. ආසන සංවිධායක රැස්වීම අමතා ජනාධිපතිවරයා පිටව ගිය පසු එස්. බි. දිසානායක හා දයාසිරි ජයසේකර බාධා කරමින් දෝෂාරෝපණය කළේ රෙජිනෝල්ඩ් කුරේගේ නිවසේ කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස බවට මේ වන විට ජනාධිපතිවරයාට තොරතුරු වාර්තා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතරේ ඉකුත් 03 දා ආසන සංවිධායකවරුන් පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වා ශ්‍රීලනිප නායකත්වය විවේචනය

කළේය. එයද ආණ්ඩුකාරවරයෙකුගේ අනුදැනුම මත වූ දෙයක් බවටද තොරතුරු හෙළිදරව් වී තිබේ. එම සාකච්ඡාවට එක් වූ ශ්‍රීලනිප සංවිධායකවරයෙක් කීවේ තමන් රෙජිනෝල්ඩ් කුරේ ආණ්ඩුකාරවරයාගේ නිවසේ රැස් වූ කතාව සත්‍යයක් බවය. මේ නිසා  ශ්‍රීලනිපය භේදකිරීමට ආණ්ඩුකාරවරු කිහිපදෙනෙකු කටයුතු කරන බවට වන ජනාධිපතිවරයාගේ චෝදනාව තහවුරු වෙමින් තිබේ.

මම පැහැදිලිවම ප්‍රකාශ කර සිටින්නේ මාගේ පරිශ්‍රයක එම සාකච්ඡාව පැවැත්වීමට මා ඉඩ දුන්නේ හොර රහසේ වසන් වී කුමන්ත්‍රණයක් කිරීමට නොවන බවයි. එවැනි කුමන්ත්‍රණයක් කිරීමට අවශ්‍ය නම් එවන් ස්ථානයක කිසි විටක එම රැස්වීම පැවැත්වීමට තරම් මා අඳ බාලයෙකු නොවේ.

කුමන්ත්‍රණයක් නම් එම සාකච්ඡාවට පැමිණි සියලු දෙනාගේ අත්සන් ‍ලේඛනයක් ලබා ගන්නේ නැත” යනුවෙන් රෙජිනෝල්ඩ් කුරේ මහතා මේ ගැන විමසීමේදී කීවේය.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම් ලිපි ලබාගත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පත් කර  තිබෙන්නේ 2016 පෙබරවාරි 16දා වන අතර ඔහුට 2021 පෙබරවාරි මස 16 දක්වා කටයුතු කිරීමට බලය තිබුණි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම පත් කර ඇත්තේ 2017 ජූලි මස 04දාය. ඔහුගේ ධුර කාලය අහෝසි වීමට නියමිතව තිබුණේ 2022 ජූලි මස 04දාය. සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක 2018 අප්‍රේල් මස 12දා පත් කළ අතර ඇයගේ සේවා කාලය අවසන්වීමට නියමිතව තිබුණේ 2023 අප්‍රේල් මස 23 දාය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී. බි. දිසානායක පත් කර තිබුණේ  2018 අප්‍රේල් මස 13 දා වන අතර ඔහුගේ සේවා කාලය 2023 අප්‍රේල් මස 13 දායින් අවසන්වේ.

ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බි. රැකව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලද්දේ 2018 මැයි මස 11 දාය. ඔහුගේ ධුර කාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2023 මැයි  මස 11 දාය. වයඹ ආණ්ඩුකාර කේ. සී.

ලෝගේෂ්වරන් ආණ්ඩුකාරධුරයට පත් කර තිබුණේ 2018 අප්‍රේල් 12දා වන අතර ඔහුගේ සේවා කාලය අවසන් වන්නේ 2023 අප්‍රේල් මස 12දාය. දකුණු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා ද 2018 අප්‍රේල් 12දා පත් කර තිබූ අතර ඔහුද 2023 අප්‍රේල් මස 12 දක්වා කටයුතු කිරීමට නියමිතව සිටියේය.

බස්නාහිර ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර හා උතුරු මැද ආණ්ඩුකාර එම්. පී. ජයසිංහ ද 2018 අප්‍රේල් මස 12 දා පත් කළ අතර ඔවුන්ගේද ධුර කාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2023 අප්‍රේල් මස 23 දාය.

මේ අතර ඉල්ලා අස්වූ ආණ්ඩුකාරවරුන් වෙනුවට නව ආණ්ඩුකාරවරුන් පස්දෙනෙක් ජනපතිවරයා විසින් පත්කරනු ලැබූහ.  කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අසාද් සාලි බස්නාහිර පළාත් ආණ්ඩුකාරයා ලෙස පත්කර තිබේ.  පසුගියදා ජනාධිපති නීතිඥවරයෙකු ලෙස පත් කෙරුණු මෛත්‍රී ගුණරත්න දිවුරුම් දුන්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක උතුරු මැද ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් අතර උතුරු මැද මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ පේෂල ජයරත්න වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේය.  නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.එම්. හිස්බුල්ලා නව ධුරයට පත්වීමෙන් පසු ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ලසන්ත වීරකුලසූරිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.