lakbima.lk

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ‍පොලිස්පති සී.අයි.ඩී.යට කී කතාව

‍පොලිස්පති පූජිත් ජයසුන්දර ගිය සතියේ ෙදෙවෝපගත සිද්ධියකට මුහුණ දුන්නේය. ඒ තමා විසින් දෙනු ලැබූ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන පරීක්ෂණයකට කටඋත්තර දීමට තමාටම සිදුවීමය.
‍පොතේ හැටියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹන්නේ ‍පොලිස්පතිවරයා විසින් දෙනු ලබන නියෝගයකට අනුව පමණි. සති කිහිපයකට පෙර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ජනපති හා  ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කිරීමට කළ බව කියන 'කුමන්ත්‍රණයන්' පිළිබඳ  පරීක්ෂණ පවත්වන ලෙසය. මෙම කුමන්ත්‍රණය මාධ්‍යයට කීවේ ‍පොලිස් ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කර ඇති නාමල් කුමාර නමැත්තෙකු විසිනි.
නාමල් කුමාර කියන හැටියට මෙම සිද්ධියට ‍පොලිස්පතිත් සම්බන්ධය.
මේ ගැන පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම නාමල් කුමාරගෙන් කටඋත්තර ගත්තේය. ඉක්බිතිව ‍පොලිස් ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වාගෙන් කටඋත්තර ගෙන ඔහු අත්අඩංගුවට ගත්තේය. දැන් ඔහු සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. ඊළඟට කටඋත්තර ගන්නට තිබුණේ ‍පොලිස්පති පූජිත් ජයසුන්දරගෙනි. ඔහුට ප්‍රකාශයක් දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්නැයි කීපවතාවක්ම දැනුම් දුන්නේය. එහෙත් ඔහු නොආවේය. අන්තිමේදී ‍පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය ඉරිදා (25) උදෑසන ආවේය. අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් නිලධාරීහු ‍පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කිරීම ඇරඹූහ.
එහිදී ‍පොලිස්පතිවරයා පවසා තිබුණේ තොරතුරු දීමට තමාට විවිධ පුද්ගලයන් කතා කරන බවත්, නාමල් කුමාරත් එවැනි අයෙකු මිසක් තමා පෞද්ගලිකව ඔහු නොදන්නා බවය. ඒ අනුව තොරුතුරු දෙන පුද්ගලයන් හෙළිකරන කරුණු අනුව ඔවුන් එම විෂයට අදාළ අංශවලට තමා යොමු කරන බවත්, නාමල් කුමාර කී තොරතුරු අනුව තමා ඔහු එම විෂය අයත් ත්‍රස්ත විමර්ශන අංශට යොමු කළ බවය.

නාමල් කුමාර හා ‍පොලිස්පතිවරයා අතර කෙරුණු දුරකථන සංවාදයක් ගැන ‍පොලීසිය ‍පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළේය. නාමල් කුමාර පටිගත කළ දුරකථන ඇමතුමේ සඳහන්ව ඇත්තේ කොල්ලෝ සල්ලි හම්බ වුණාද? යනුවෙනි. එය නාමල්ගෙන් අහන්නේ ‍පොලිස්පතිවරයාය.
මේ සිද්ධිය ගැන ‍පොලිස්පතිවරයා පවසා ඇත්තේ දිගන හා රෝහින්ග්‍යා සරණාගත සිද්ධිය පිළිබඳ නාමල් කුමාර ‍පොලීසියට දුන් ඔත්තු වෙනුවෙන් ‍පොලිස්පති තෑගි අරමුදලෙන් ඔහුට ලක්ෂ පහක මුදලක් දුන් බවය. එම මුදල ඔහුට දීමට ‍පොලිස්පතිවරයාට නිර්දේශකර ඇත්තේ නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වාය. එම මුදල දී ඇත්තේ දෙලක්ෂ පනස්දහස බැගිනි. ‍පොතේ හැටියට ‍පොලිස් මූලස්ථානය එම මුදල අයත් චෙක්පත ලියන්නේ ඔත්තුකරුගේ නමට නොවේ. ඔත්තුකරු සමග සබඳතා පවත්වන ‍පොලිස් නිලධාරියාගේ නමටය. ඒ අනුව ලක්ෂ පහක මුදල අයත් චෙක්පත ලියා ඇත්තේ ලංකා බැංකු ප්‍රධාන මූලස්ථාන ශාඛාවේ නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වාගේ නමට ඇති ගිණුම් අංකයටය. එම චෙක්පත නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා මාරු කර නාමල් කුමාරට මුදල්දී තිබේ. තමා මුදල් භාරගත් බවට නාමල් කුමාර ලිපියක් අත්සන් කර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට දී තිබේ. එසේ ලද මුදලෙන් නාමල් කුමාර තමාගත් රුපියල් හැටදහසක ණය මුදලක් බේරා තිබුණි. තවත් පනස්දහසක මුදලක් විහාරස්ථානයකට ආධාර පිණිස දී තිබේ.
මේ අතර ජනපති ඝාතන කුමන්ත්‍රණයේදී කරළියට ආ එල්.එම්.ජී. අවි දෙක ගැනද ‍පොලිස්පතිවරයා තොරතුරු හෙළිකර තිබේ.  ජනපති ඝාතනය කිරීමට එම අවිදෙක මුදාහැර ඇති බවත්, එම අවිවලින් ඉලක්ක ගැනීමට පුහුණුවීම් කර ඇති බවත් කතා පැතිර ගියේය. ‍පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයෙන් එම අවි දෙක නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වාට මුදාහැර තිබුණේ ‍පොලිස්පතිවරයාගේ නියෝගයෙනි.

ඒ ගැන ‍පොලිස්පතිවරයා පවසා ඇත්තේ සිවිල් ගැටුම්වලදී යුද හමුදාවට මැදිහත්වීමට නොහැකි බැවින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසවලට එවැනි අවි පුහුණුව දෙන බැවින් තම අංශයටද එවැනි පුහුණුවක් අවශ්‍ය බව නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වා තමාට නිර්දේශ කළ බවය. එවැනි පුහුණුවක් ‍පොලීසියට තිබිමේ වැරැද්දක් නැති බැවින් එල්.එම්.ජී. (සැහැල්ලු ස්වයංක්‍රීය අවි) පුහුණුවකට තමා නිර්දේශ කළ බවය. කෙසේ නමුදු ගිනි අවි නිකුත් කෙරුණුද එම අවි පුහුණුව දීමට ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් කැමැති වූයේ නැත. ඔහු ‍පොලිස්පතිවරයාට දැනුම්දී තිබුණේ හමුදාවට මැදිහත්වීමට නොහැකි සිවිල් ගැටුම් පාලනය කිරීමට ‍පොලිස් දෙපාර්තමේන්තුවට අයත් විශේෂ කාර්ය බළකායට බලය ඇති බැවින් අලුතෙන් ත්‍රස්ත විමර්ශන අංශයට අවි පුහුණුවක් අනවශ්‍ය බවය. විශේෂ කාර්ය බළකා සේනා විධායකගේ මේ නිර්දේශයට ‍පොලිස්පතිවරයා නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වාගේ දැන ගැනීම පිණිස ‍පොලිස්පතිවරයාගේ අතින්ම සටහන් කර ඔහු වෙත යවා තිබුණි.

මේ අතර ආන්දෝලනයට ලක්වූ එල්.එම්.ජී. ගිනි අවි දෙක ගැන රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය සතියේ ලැබි තිබේ. එම වාර්තාව අනුව මෙම ගිනි අවි දෙකින් මෑතකදී වෙඩි තබා නැත. ඒ අනුව එම අවි දෙක යොදාගෙන වෙඩි තබන්නට කළ බව කියන පුහුණු කතාව බිඳ වැටී තිබේ.
පැය හතරක් පුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු  ‍පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර තිබෙන අතර රාජකාරි අවශ්‍යතාවන් සඳහා ඔහුට යාමට අවශ්‍ය වූ බැවින් එදින ප්‍රශ්න කිරීම අත්හිටුවා තිබුණි. එහි අරුත වන්නේ තව දින දෙක තුනක් ‍පොලිස්පතිවරයාට රහස් ‍පොලීසියට පැමිණීමට සිද්ධවනු ඇති බවය.

මේ අතර ජනපතිවරයා විදෙස් මාධ්‍ය අමතමින් ගිය සතියේ කීවේ තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයේ සරත් ෆොන්සේකා සැකකරුවෙකු බවය. සැකකරුවෙකු යනු ‍පොලීසිය හෝ අධිකරණය විසින් යම්කිසි චෝදනාවකට සැක කරන අයෙකි. එහෙත් ෆොන්සේකා කියන්නේ තමාට අධිකරණයෙන් හෝ ‍පොලීසියෙන් එවැනි චෝදනාවක් එල්ලවී නැති බවය. අපරාධ පරීක්ෂණ    දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා තමාට ඒ බව දැනුම් දුන් බවද ඔහු ප්‍රකාශ කළේය. එවැනි චෝදනාවක් ඇතිනම් එහි ඇත්ත නැත්ත  පරීක්ෂා කර හැකිනම් තමා හිරේ දමන ලෙස ඔහු පාර්ලිමේන්තුවේදී ඉකුත් විසිතුන් වැනිදා අභියෝග කළේය. මෙය තමාගේ මන්ත්‍රී ධුරයටද ප්‍රශ්නයක් බැවින් ‍පොලිස්පතිවරයා කැඳවා විමසන ලෙසද ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

සුභාෂ් නානායක්කාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.